ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
රෝදය නිපදවන්න ඔය හැටි කල් ගතවුණේ ඇයි? II කොටස
විප්ලවීය ඉතිහාසයක්
යුරෝපයේ ගැල් තැනීමේ තාක්ෂණය වෙනත් ප්‍රදේශයකින් සංක්‍රමණය වුණාද, නැතිනම් ස්වාධීනව ආරම්භ වුණාද කියලා අපට නිගමනය කරන්න බැහැ. නමුත් රෝදය ඈත අතීතයේ සිටම යුරෝපයේ පැවතුණු බවට වෙනත් වර්ගයක සාක්ෂි හමුවනවා. අස්ථි කොටස්වල සහ DNAවල වගේම භාෂාවලත් ඈත අතීතය ගැන සාක්ෂි ශේෂමාත්‍ර අඩංගු වෙනවා. ජීව විද්‍යාඥයන්, ජීවී විශේෂ දෙකක ජාන සහ භෞතික ගති ලක්ෂණ අධ්‍යයනය කිරීමෙන් එම විශේෂයන්ගේ පොදු ආදි මුතුන්මිත්තන් ගැන මත පළකරනවා, තවදුරටත් භාවිතයේ නැති පැරණි භාෂා නැවත හඳුනාගන්නනට, ගොඩනගන්නට, ඒ හා සමානව වාග් විද්‍යාඥයන්ට පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් නාමය කියන තේරුම දෙන ‘name’ බිහිවුණේ ලතින් භාෂාවේ ‘nomen’ යන පදයෙන්. ප්‍රංශ භාෂාවෙන් එම අරුත දෙන ‘nom’ යන පදයත්, ස්පාඤ්ඤ භාෂාවේ ‘nombre’ යන පදයත් බිහිවුණේ මුල් ලතින් පදයෙන්මයි.
නූතන යුරෝපීය භාෂාවල පවුල් ගසක් නිර්මාණය කර අධ්‍යයනය කරද්දී ඒවා අතරින් බහුතරයකටත්, ඇතැම් යුරෝපීය නොවන භාෂාවලටත්, පොදු සම්භවයක් ඇති බව පෙනීයනවා: ඒවා බිහිවුණේ පූර්ව ඉන්දු යුරෝපීය බස (Proto-Indo-European) නමින් හැඳින්වෙන, වර්තමානයේදී භාවිතයේ නැති හෙවත් “මළ භාෂාවක්” ආශ්‍රයෙන්. මෙය බොහෝ විට බටහිර ආසියාවේ බිහිවෙලා සංක්‍රමණික ජන කණ්ඩායම් හරහා යුරෝපයට උරුම වෙන්න ඇති.
වාග්විද්‍යාඥයන් නැවත ගොඩනැගූ මුල් වාංමාලාවේ රෝදයට සම්බන්ධ පද පහක් තිබෙනවා. රෝදය වාව්‍යාර්ථයෙන් හඳුන්වන පද දෙකක්, ඇක්සලය හඳුන්වන පදයක්, කරත්තයට සතුන් බඳින බෝඹු ලීය හඳුන්වන පදයක් සහ ගමනාගමනයට රථවාහන යොදාගැනීම යන අර්ථය දෙන ක්‍රියාපදයක් ඒ අතරට අයත්. රෝදය ගැන ඔය තරමින් කතා බස් කිරීමෙන් පෙනී යන්නේ රෝදයට ජන ජීවිතය තුළ සුවිශේෂී තැනක් හිමිව තිබුණු බවයි.
පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවේ ඉතිහාසය වසර 5,500ක් පමණ ඈත අතීතයට දිවයන නිසා ලුබිලියානා රෝදය නිශ්පාදනය කළ කාලය වන විටත් රෝදය ඇත්තටම පැරණි තාක්ෂණික මෙවලමක්ව පැවති බව හෙළිදරව් වෙනවා. ඊට අමතරව, යුක්‍රේනයේ ගැල් හමුවුණු සොහොන් බිම් ගොඩ නැගූ යම්නායා ජාතිකයන් මේ භාෂාව භාවිතා කළ පිරිසට අයත් වීමෙනුත් ඒ බව වැඩිදුරටත් සනාථ කරනවා.
වසර 4500කට ඉහතදී බටහිර යුරෝපයට පැමිණි යම්නායාවරු, පශ්චාත් ශිලා යුගයේදී සහ තඹ යුගයේදී මහද්වීපය පුරා ප්‍රචලිතවුණු සංස්කෘතික දායාදයන් රැසක් ලොවට උරුම කර දෙමින් බටහිරට ව්‍යාප්ත වුණු බව ජාන විද්යාත්මක සාක්ෂි හඟවනවා. උතුරු මුහුදේ සිට මධ්‍යම රුසියාව තෙක් පැතිරුණු යොත් බැඳි භාණ්ඩ සංස්කෘතිය (Corded Ware culture) ඒ අතරින් එකක්. ඒ නමට හේතු වී ඇත්තේ ඒ සංස්කෘතියටම අනන්‍ය වුණු මැටි බඳුන් කලාවයි.
ගැල් ගත ගමන
යම්නායා ගෝත්‍රිකයන් ගවයින් ඇතිකළ එඬේර පිරිසක්. මීට වසර 5,500කට පමණ පෙර ඔවුන්ගේ ජනාවාස, ඔවුන්ගේත්, ඔවුන් සතු සත්ව ප්‍රජාවගේත් ජල අවශ්‍යතාව පහසුවෙන්ම සපුරාගත හැකි ගංගා නිම්නවලට සීමා වුණා. නමුත් ඔවුන් පසුව යුරෝපය දෙසට සංක්‍රමණය වීම නිසා ඔවුන් ගැල් නිපදවීමේ තාක්ෂණයේ නිපුණත්වයක් අත්පත් කරගත් බව අනුමාන කරන්න පුළුවන්. ගැල් භාවිතයෙන් ඔවුන්ට අහාර සහ ජලය අවශ්‍ය දුරකට ප්‍රවාහනය කරන්න අවස්ථාව සැලසුණා. ඔවුන් පසුකාලීනව විශාල භූමි ප්‍රදේශයක් අත්පත් කරගන්නට පටන්ගත් බවට පුරා විද්‍යාව සාක්ෂි සපයනවා.
රෝදය කෙටි කාලයක් තුළ ප්‍රචලිත වුණා. වසර 4500කට එහා අතීතයේදී සැහැල්ලු, වේගවත්, රෝද දෙකේ කරත්ත බිහිවෙලා කෙටි කාලයක් තුළ දීම යුධමය කටයුතු සඳහා යොදාගැනුණා. රෝදය ජල රෝදය, දැති රෝද සහ නූල් කටින යන්ත්‍ර වැනි සාමකාමී භාවිතයට බර නිශ්පාදන රැසක් බිහිවීමටත් මග පෑදුවා. රෝදය බිහිවෙන්න කලක් ගත වුණත් රෝදය සොයාගැනීමෙන් පසුව තාක්ෂණික ශිෂ්ටාචාරය ඉදිරියට ඇදුණේ අධිවේගයෙන්.
සත්තුන්ට රෝද නැත්තේ ඇයි?
එහාමෙහා යාමේ(ගමනාගමන) ගැටලුවට පරිණාමයෙන් ලබා දීපු විසඳුම් විවිධාකාරයි: කුරුල්ලෝ පියාසර කරනවා, දැල්ලන් ජෙට් ප්‍රචාලනය (jet propulsion) යොදාගන්නවා, හූනන් බිත්ති දිගේ යනවා. මැක්කන්ට ‘දුනු මගින් ක්‍රියාකරන’ කකුල් තිබෙනවා. නමුත් කිසිම සතෙකුට පරිණාමයේදී රෝද උරුම වෙලා නැහැ. ඇයි ඒ? පරිණාමය ක්‍රියාත්මක වන්නේ අදියරෙන් අදියරටයි: එයට අනාගතය දැකීමේ හැකියාවක් නැහැ. පියාසර කිරීම හෝ ජෙට් ප්‍රචාලනය දක්වා තැබූ හැම පියවරක්ම පෙර තිබුණු තත්ත්වයට වඩා වාසිදායක වුණා. නමුත් රෝදයක් දක්වා පරිණාමය වීමේ ක්‍රියාවලියේ එවැනි අනුක්‍රමණික වාසිදායක අදියරක් උදා වන්නේ නැහැ. රුධිර නාල සහ ස්නායුවලට සම්බන්ධ වන අතරම ස්වාධීනව භ්‍රමණය වන අවයවයක් නිර්මාණය කිරීමට ක්‍රමයක් නැති බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැනේ?
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DID IT TAKE SO LONG TO INVENT THE WHEEL? පරිච්ඡේදය ආශ්‍රයෙනි.