සැමට විදු නැන නුවණ – Science Literacy for All

ළමුත් මානසිකව හිංසාවට පත් කිරීම

ළමුත් මානසිකව හිංසාවට පත් කිරීම

ළමුන් කායිකව යම් යම් වදහිංසා ආදියට ලක් කිරීම, ලිංගිකව අපයෝජනය කිරීම ගැන සමාජයේ වැඩි කතාබහක් ඇතත් ළමුන් මානසිකව හිංසාවට පත් කිරීම ගැන සාපේක්ෂව අවධානය යොමු කිරීම අඩුය. කායික සහ ලිංගික හිංසනයන් බොහෝවිට වෙනත් අයකුට හඳුනා ගැනීමට හැකි වන නමුත් මානසික හිංසාවේ ප්‍රතිඵලය එතරම් ප්‍රකටව දිස් නොවනවා විය හකිය. එහෙත් මානසික හිංසාව නිසා ළමයාට ඇතිවන අන්තරාව හෝ අපහසුව බැරෑරුම් කමින් අඩුය, එහෙමත් නැතිනම් ප්‍රශ්නය ඒ තරම් ව්‍යාප්ත එකක් නොවේය යන්න මෙයින් කිසිසේත් ගම්‍ය නොවේ.

මානසික හිංසනය බැරෑරුම්ය.දරුණුය. ඊටත් අමතරව, ළමයා කායිකව සහ හෝ ලිංගිකව හිංසාවට පත් කෙරුණු විට ඒ දෙකම අනිවාර්යෙන්ම ළමයාගේ මානසිකව ද  හිංසාවක් බවට පත්වේ. සලකන්න: 2014 වසරේදී ගෝලීය වශයෙන් ගත් කල වයස අවුරුදු 2-17ටත් අතර ළමුන් බිලියන එකක් කායික, ලිංගික, මානසික හෝ බහුවිධ හිංසනයන්ට ලක් වී ඇති බව වාර්තාවල* දැක්වේ. සියලුම වැඩිහිටියන් අතුරෙන් හතරෙන් එක පංගුවක පිරිසක් තමුන් කුඩා කාලයේ දී හිංසනයට ලක්වූ බව වාර්තා කරති. සෑම වසරකම වයස අවුරුදු 15 ට අඩු ළමුන් 41,000 ඝාතනයට ලක්වෙති. එක්සත් ජනපදය පමණක් ගතහොත්, හිංසනය හෝ නොසලකා හැරීම හේතුවෙන්  සෑම පැය 6කට වරක් ළමයෙක් මියයයි. සුන්දර ළමාවිය ඔවුන්ට භුක්ති විඳීමට නොලැබේ. මේ පසුබිම අපට පෙන්නුම් කරන්නේ අප හැමෝම පාහේ ළමුන්ට බෙහෙවින් ඇලුම් කරන පිරිසක් බව එළිපිට කියා සිටියත් සෑම පරපුරකම, සෑම රටකම වාගේ ළමුන් බොහොමයක්  හිංසාවට, පීඩනයට  ලක්වන බවයි. (*Compassion වෙබ් අඩවිය)

අදාළ රූපය

 ළමා මානසික හිංසාව යනු කුමක්ද?

මුළු ලෝකය පුරා සෑම ජනවාර්ගික කොට්ඨාශයක් අතර සිදු වන්නකි, ළමා මානසික හිංසාව. අවාසනාවකට මෙන් වැඩියෙන්ම ගොදුරු බවට පත් වන්නේ වයස අවුරුදු 4ට අඩු ළමුන්ය. සමහර සමාජයන්හි  අනෙක් ඒවාට වඩා මෙය ප්‍රකටව දැකිය හැක්කේ අතීතයේ සිට ඒවායේ ළමුන් හදා වඩා ගැනීමේ දී අනුගමනය කෙරුණු සාම්ප්‍රදායික ක්‍රමෝපායන් හේතුවෙන් විය හැකිය. ප්‍රීිතිමත් ළමා විය ප්‍රීතිමත් හා ඵලදායි වැඩිහිටි ජීවිතයකට මඟ පාදයි. ළමයි ආදරය ලැබීමට කැමැත්තාහ. ඔවුහු ආරක්ෂාව පතති. ඇගැයීමට ලක් වීමට, තමුන්  අවශ්‍යම කෙනෙකුයි සිතීමට ළමයි ආශා වෙති. ඔවුන්ට නිරතුරුවම අවධානය සැලකිල්ල මෙන්ම හික්මීම ද වුවමනා කෙරේ.

උත්පත්තියේ සිට පටන්ගෙන දණගාන ළදරුවෙකු, නව යෞවනයෙකු වශයෙන් පමණක් නොව ඇතැම් විට ගැටවර වයසට පසුකර ඉන් ඔබ්බට ද මෙම සැලකිල්ල ලබා දිය යුතු වේ. ඇත්තම තත්ත්වය ගතහොත් අප හැදී වැඩී තරුණ වයස ඉක්මවා ගිය ද අපේ පවුල්වල ආදරය සැලකිල්ල හා (ඇතැම් විට) සහාය ද අපට අවශ්‍ය වේ. කෙසේ වෙතත්, දෙමාපිය වැඩිහිටියන් හෝ සත්කාර සපයන්නන් හැමවිටම, හැම දෙයක්ම හරියාකාරව ම ඉටු නොකරන්නට පුළුවන. සමහරවිට ඔවුන් අතින් වැරදි සිදු වේ. එහෙත් ඒ මානසික හිංසනය ලෙස සැලකිය නොහේ. ඉතින් අප ළමා මානසික හිංසනය යන්න අර්ථ දක්වන්නේනම් ඉන් අදහස් කෙරෙන්නේ, ළමයාගේ චිත්තවේගී සෞඛ්‍යයට හා වර්ධනයට අහිතකර ලෙස බලපාන ආකාරයෙන්, සිතාමතා (ඇතැම්විට එලෙස නැතුවත්) එමෙන්ම අනවරතව ළමුන්ට දැඩිව හෙවත් තදින්ම නරක ආකාරයකට සැලකීමයි.

අදාළ රූපය

ළමයා හිංසාවට පත් කරන විට, ළමයා අසතුටෙන් පසු වන විට හෝ ඕලාරිකව සිටින විට  ඒ බව බොහෝ අවස්ථාවල දී හඳුනාගෙන අපට පහසුවෙන් එසේ යයි කිව හැක. එහෙත් මානසික හිංසනය ඇතැම්විට ක්‍රියාවක් වෙනුවට වචන හා ශාරීරික ඉඟි විය හැකියි. කෑගැසීම, අපහාසයට උපහාසයට ලක්කිරීම, කෝපයෙන් මොර ගෑම, බැනවැදීම සහ තර්ජනය කිරීම යන සියල්ලම ළමයගේ සිත් තැවුලට පත්ව ඔහුට හෝ ඇයට තදින් මානසිකව බලපෑ හැකිය. එහෙත් ශාරීරික හිංසනකයක දී හෝ ලිංගික අපයෝජනයක දී මෙන් ප්‍රතිචාර නොදක්වා කරබාගෙන ඉවසා සිටින බවක් ළමයාගෙන් පළවිය හැකිය. මේ නිදසුන් සලකන්න: ‘උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි’ , හෝ ‘උඹ ඔය තරම් මෝඩයෙක් හින්ද තමයි කිසිම දෙයක් හරි හැටි කරගන්න බැරි’ එසේත් නැතිනම් ‘යකෝ…. උඹට කීපාරක් නම් කියලා ඇත්ද?’ හෝ ‘ඇයි බොල මෙහෙම කරන්නේ…. මොළේ කළඳක්වත් තොට නැද්ද?‘ ඇත්ත  වශයෙන්ම මේවා වැඩිහිටියෙකුට හෝ දරා ගැනීමට අපහසු කියමන්ය. ඉතින් මුදු මොලොක් ළමා සිතට කොතරම් නම් පීඩාවක් ද?

ඔබ දන්නවාද?

අදාළ රූපය

වැඩිහිටි දෙදෙනෙකු විශේෂයෙන්ම ගෙදරදොරේ දෙමාපිය සහෝදර සහෝදරයන් සහ/හෝ වෙනත් වැඩිහිටියන් අතර වුවද රණ්ඩු සරුවල්, ආක්‍රෝශය, බැණ දොඩා ගැනීම්, ළමයා දැඩි සේ මානසික පීඩාවට ලක් කරයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද එක්තරා ආකාරයකට ළමා මානසික හිංසනයකි.  ගෘහස්ථ හිංසනයට මැදිවීම ළමයෙකු වශයෙන් ලැබිය හැකි දැඩි මානසික හිංසනයකි. පීඩාවකි. බොහෝවිට මෙවැනි අඩත්තේට්ටම් හෝ අඩදබර අවසානයේ ළමයා මතින් යාමට ඉඩ තිබේ. එහෙම නැතත්, කුඩා දරුවකුට එවැනි සිදුවීමක් දරා ගැනීමට අසීරු වන්නේ දබර කරන දෙදෙනාම තමන්ගේ ආදරය දිනා ගත් අය වීමයි. කෝලාහල කරන විට කුඩා ළමුන් අඬා වැටෙන හෝ දෑස්, දෙකන් වසා ගෙන සිටිනවා ඇතැම් විට ඔබත් දැක ඇත. මෙවැනි අවස්ථාවලදී දකින දේ ප්‍රචණ්ඩකාරී විය. කනට ඇහෙන්නේ අමිහිරි කටුක වදන්ය. මෙය මානසිකව දරුවා කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව නොරහසකි.

 

විවිධ ආකාරයේ ළමා මානසික හිංසා ගැන අපි ලබන සතියේ සොයා බලමු.

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි Prevention tips for child Emotional abuse
 කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: