අපට හොරා අපේ චිත්තය කරන දේවල්
ඔබ කැමති වුණත් නැතත් ඔබේ ජීවිතය පාලනය කරනු ලබන්නේ ඔබට දමනය කළ නොහැකි සිතුවිලි මගිනි. සවිඥානික මැදිහත්වීමක අවශ්‍යතාවයකින් තොරව කටයුතු තෝරා බේරා ගැනීමේ අද්භූත හැකියාවක් අපේ මොළවලට ඇත. ඔබ තද නින්දකට වැටී සිටියදී පවා මොළයට අවට ලෝකය තේරුම් ගැනීමේ හැකියාව ඇත. එපමණක් නොව මොළය ඔබගේ අනාගතය පවා සැලසුම් කරයි. ඔන්න හිතන්න උදේ පාන්දර හයට ඔබට නැගිටීමට අවශ්‍යයි කියලා.(මේ සඳහා අප බොහෝ දෙනෙකු කරන්නෙ ඔරලෝසුවක ආධාරය පැතීමයි). නින්දට යාමට පෙර හය පාරක් කොට්ටයේ ඔලුව හැප්පීමෙන් තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර ඝටිකාවේ සීනු සංඥාව (කට වචනයෙන් ‘එලාමය’) උදේ හයට වැදීමට සැලසීමට පුළුවන් බවට දිව්රා කියා සිටින සමහර පුද්ගලයෝ ඉන්නවා. මේක මහ පිස්සුවක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඇතැම් පර්යේෂණ හඟවන්නේ මෙය සැබෑවක් විය හැකි බවයි.
ඒ කියන්නේ අප නිදියන අතරතුර අපේ අවිඥානය වේලාව ගැන සැලකිල්ලෙන් ඉන්නා බවයි. මේ සම්බන්ධයෙන් පැවැත්වූ සම්පරීක්ෂණ වලදී පෙනීගොස් ඇත්තේ පාන්දර හයට නැගිට්ටවන බව දැන්වූ (දැන්වූ පරිදිම හයට කූද්දනු ලැබූ) පුද්ගලයන්ගේ ආතති හෝමෝන(stress hormones) ඉහළ යාමක් පෙන්නුම් කෙරුණු බවයි. පාන්දර 4.30 සිට දිගටම අවදියෙන් සිටීමට අපට උදව් කරන්නේ එම හෝමෝනයි. කලින් දැනුම් දීමකින් තොරව අනපේක්ෂිත ආකාරයෙන් නැගිටවනු ලැබූ පුද්ගලයන්ගේ හෝමෝන ක්රියාකාරීත්වයෙහි එවැනි හදිසි නැගීමක් දක්නට නොලැබුණි. මෙයින් හැඟී යන්නේ පැය ගණන් ගෙවී යද්දී අවිඥාන චිත්තය කාලය ගැන සැලකිල්ලෙන් සිටිනවා පමණක් නොව අවදිවීමේ ක්‍රියාදාමවල ක්ෂණික ඇරඹීමත් ඇතිකිරීමට හැකිවන පරිදි ජීව විද්‍යාත්මක ඝටිකාවක සීනුව වදින වේලාව තැබිමක් සිදු කරන බවයි. බාගදා කොට්ටයෙහි ඔලුව හැප්පීමද එබඳු සීනු ඇඟවීමට උපකාරී වනවා විය හැකියි.
අනෙකුත් පර්යේෂණ හඟවන්නේ නිදා චක්‍රයේ මුල් අවධියේ පමණක් කෙරුණත්, අප නිදියන අතරතුරදී භාෂාව තේරුම් ගැනීමට් මෙන්ම පිරිසැකසීමට අපට හැකියාව තිබෙන බවයි. සමහර වචනමගින් — නිදසුනකට අපේ නම — අනෙක් ඒවාට වඩා අපව අවදි කිරීමට පහසුවනු ලබන්නේ ඇයි දැයි මෙයින් සමහර විට පැහැදිලි කරගත හැකියි. පරිණාමය පැත්තෙන් ගත් විට ද මෙය අර්ථවත් පැහැදිලි කිරීමකි. අප ආපදාවකට පත්වීමේ අනතුර වඩාත් වැඩි අප නිදා සිටින විටදීය. ඉතින් නින්දෙ පසුවෙමින් ඉවක් බවක් නැතිව සිටිනවාට වඩා අතිශයින්ම අවශ්‍ය වුවහොත් පමණක් අප අවදි කිරීමේ අටියෙන් අපේ මොලය පොරොත්තු මාදිලියට(standby mode) පිවිස සිටිනවා විය හැකියි.
සංවේදන දොරටුවට යටින් ඇති ගණිතය
කෙසේවෙතත්, අවිඥානය අප වෙනුවෙන් පිරිසැකසුම් කිරීම බාරගැනීම උදෙසා අප නිදියගෙන සිටීය යුතුම නැත. කියවීම සහ මූලික ගණිතය වැනි සංකීර්ණ තර්කන වික්‍රම සවිඥානික දැනුවත් බවක් නොමැතිව පවා සිදුකිරීමට පුළුවන. සම්පරීක්ෂණ වලට සහභාගී කරවන්නන්ගේ අවිඥානික ගණිත කුසලතා පරික්ෂා කරනු වස් සවිඥානිකව විසඳීමට නොහැකි තරම් වේගයකින් ගණිත ගැටළු ක්ෂණිකව තිරයක් මත පතිත කෙරිණ. පසුව ඔවුන්ට එම ගැටලු ම සවිඤ්ඤානිකව විසඳීමට ලබාදුන් අතර එවැනි පෙරහුරුවක් නොමැති අයට වඩා ඔවුන්ට කැපී පෙනෙන ඉක්මනකින් පිළිතුරු සැපයීමට හැකිවිය. ඊට(මොළයට) පිරිසැකසුම් කළ නොහැකි ප්‍රමාණයට වඩා බොහෝ සේ තොරතුරු මොළය ලබාගන්නා සෑම මොහොතකම පෙනී යන ආකාරයට අවිඥානයට කළ නොහැකි පිරිසැකසුම් වර්ගයක් ඇත්තේ ම නැත. මේ සියල්ලෙහි අර්ථයක් දැකීම පිණිස මොළය නිරතුරුව පුරෝකථනයක් සිදුකරන්නේ ඇතුලට එන දත්ත, (දනටමත්) ගබඩා කර තිබෙන තොරතුරු හා සංසන්දනය කරමිනි. මොළය ක්‍රියාත්මක කරවනු පිණිස හුදෙක් අනාගතය අනුරූපණය කිරීමම ප්රමාණවත්ය. පුද්ගලයන් ශබ්දයක් වචනයක් හෝ අනුරූපයක් මතු වේවි යැයි මිනිසුන් බලාපොරොත්තු වන විට මොළය, අදාළ සංවේදන ප්‍රදේශයෙහි පූර්ව අපේක්ෂිත සංඥාවන් ජනනය කරයි.
අපගේ සංවේදනයන්ට ඉදිරියෙන් සිටීම
මෙලෙස සංවේදන එක පියවරක් ඉදිරියෙන් සිටීමට ඇති හැකියාව කථනය තේරුම් ගැනීම පිණිස අපට උපකාරී වීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එක ඉන්ද්‍රියක් දැනුවත් කිරීමට තවත් ඉන්ද්‍රියක් යොදාගැනීමට මොළයට හැකි බව අධ්‍යයන පෙන්නුම් කර ඇත. කථාවක, තේරුම් ගැනීමට නොහැකි තරමට ම පාහේ තත්ත්වය පහළ මට්ටමකට වැටුණු පටිගත කිරීමකට සවන් දෙද්දී ඔබට කලින් එම කතාවේ උප සිරස්තල කියවා තිබුනානම් වචන වඩාත් පැහැදිලිව ඇසේ. මොලයේ සංවේදක කොටස් ඔබ සවන් දුන් කතාව, ඔබ පුරෝකතනය කළ කථාව හා සසඳයි.
මොලයේ පූර්ණ කථන හැකියාව වෙනත් අයගේ චර්යාවන් පුරෝකථනය කිරීමට පවා යොදාගත හැකිය. කිසිවකු තත්පර දෙකක් කතා කරනු දැකීමෙන් එම පුද්ගලයාගේ හැකියාව, ආත්මවිශ්වාසය සහ අවංක බව සහ එම අයගේ ලිංගිකත්වය(sexuality), දේශපාලන නැමියාව සහ එම අය සතු මුදල් ගැන පවා අදහසක් ඇතිකර ගත හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. අප එය සිදු කරන්නේ කෙසේද යන්න කිසිවෙක් නොදනී. එහෙත් එය අවිඥානිකව දෙනු ලබන හා අවිඥානිකව ලබාගන්නා සමස්ත ශරීර සංඥාවක් සේ පෙනී යන අතර බොරුවට අනුකරණය කිරීම ද අසීරුය.
ශරීරයේ ගති නිරීක්ෂණය
අවිඥානයේ වඩාත්ම අවතක්සේරු කෙරුණු නිපුණතාව වන්නේ සමහරවිට අවකාශය තුළ අපේ ශරීරය ඇති තැන සහ නිශ්චිත වේලාවක දී එය කුමක් කරයි ද යන්න ගැන දිගටම නිරීක්ෂණය කරමින් සිටීමට ඊට ඇති හැකියාව විය හැකියි. ස්වප්රතිග්රහණය (proprioception) යනුවෙන් දැක්වෙන මෙම හැකියාව මොළයේ සහ සිරුර අතර නිරතුරුව සිදු කරන සංවාදයක ප්‍රතිඵලයක් වන අතර තමා(self) පිළිබඳ අපගේ අවබෝධයේ ප්‍රධාන තැනුම් ඒකක යන්ගෙන් එකකි. ස්නායු හා මාංශ පේශී වලින් ශරීරය ඇතුළතින් මෙන්ම ශරීරයට පිටතින් සිදුවන්නේ කුමක්දැයි සොයා ගනු ලබන සංවේදන වලින් මොළයට ලැබෙන විවිධ ඉන්ද්රියමය යෙදවුම්වල හේතූන් මොළය මගින් පුරෝකථනය කරනු ලැබීමෙහි ප්‍රතිඵලයක් ලෙස ද කල්පනා කරනු ලැබේ.