ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි වායු තරංග ඔස්සේ කතාබහ ඇරඹුවේ කවදාද?
යුගයට වඩා ඉදිරියෙන්
ටෙස්ලා සහ රදර්ෆර්ඩ් දෙපළට වෙනත් හේතු නිසා ඉතිහාසය තුළ පිළිගැනීමක් හිමිවුණත් මාකෝනිගේ අනිත් ප්‍රතිවාදීන් ගැන මතකය නම් මුලුමනින්ම වාගේ යටපත් වුණා. ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයකු වන ඔලිවර් ලොජ් (Oliver Lodge) ඒ අතරින් කෙනෙක්. ඔහු, මාකෝනිව අභිභවා යන්නට වැඩිම් ඉඩ කඩක් තිබූ කෙනෙක් කියන්න පුළුවන්. 1894 අගෝස්තු මාසයේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ක්ලැරෙන්ඩන් රසායනාගාරයේ (Clarendon Laboratory) සිට එතැනට මීටර් හැටක දුරින් තිබෙන ඔක්ස්ෆර්ඩ් කෞතුකාගාරය වෙත මෝස් සංඥා ක්‍රමය යොදාගෙන, රැහැන් රහිතව, සංඥාවක් යවන්න ලොජ් සමත් වුණා. ඔහුගේ උපකරණත් මාකෝනිගේ උපකරණවලට බෙහෙවින්ම සමාන වුණත්, ඉතාලි ජාතිකයා(මාකෝනි) නම් ප්‍රකාශ කළේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවයි.
ලොජ් තමාගේම නිහතමානී භාවයේ ගොදුරක් වුණු බව කියන්න පුළුවන්: ඔහු මේ නිර්මාණය හැඳින්වුවේ ගුවන්විදුලි සන්නිවේදනයේ අතිශයින්ම ළදරු අවස්ථාවක් හැටියටයි. ඒ නිසා ඔහු 1897 වෙනතුරුම ඒ අදහස වෙනුවෙන් පේටන්ට් බපලපත්‍රයක් ලබාගන්න උත්සහ කළේ නැහැ. එහෙත්, ඒ වන විට මාකෝනි එය බුද්ධිමය දේපලක් වශයෙන් අත්පත් කරගෙන හමාරයි.
කෙසේනමුත් ඒ අතරින් වඩාත් එදිරිවාදී ස්වරූපයේ අභියෝගය එල්ලවුණේ මාකෝනිගේ මරණයෙන් වසර අටකටත් පසුවයි.1945 මැයි පස්වෙනිදා මොස්කව් නුවර බොල්ෂෝයි සම්මන්ත්‍රණ ශාලාවට රැස්වුණු සම්භාවනීය අමුත්තන් පිරිසක් ඉදිරියේ එදා පටන් එම දිනය ‘ගුවන්විදුලි දිනය’ ලෙස නම් කෙරෙන බව නිවේදනය කෙරුණා. ඒ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර අසල නාවික ඉංජිනේරු විද්‍යාලයේ සේවය කළ රුසියානු ජාතික භෞතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් පොපොව්(Aleksandr Popov) ට ගෞරවයක් වශයෙනුයි. එදින බොල්ෂෝයි සම්මන්ත්‍රණ ශාලාවට රැස්වුණු සම්භාවනීය පිරිසට දැනුම් දෙනු ලැබුවේ, ඊට වසර පනහකට පෙර පැවැත්වුණු රුසියානු භෞතික-රසායන විද්‍ය සංගමයේ (Russian Physico-Chemical Society) රැස්වීමකදී ඉතිහාසයේ මුල්ම වරට රැහැන් රහිතව සන්නිවේදනය සාර්ථකව සිදු කරන්න පොපොව් සමත් වුණු බවයි.
Igor O. Shegolev, Minister of Telecommunications and Mass Communication of the Russian Federation (left), and ITU Secretary-General Hamadoun I. Touré signed an agreement on naming an ITU conference room in Popov’s honour
ප්‍රචාරණ යාන්ත්‍රණය
1925දී සෝවියට් ජාතික විද්‍යාඥ වික්ටර් ගැබෙල් (Victor Gabel) ඒ සිද්ධිය ගැන Wireless World නම් විද්‍යා සඟරාවේ පළකළ විස්තරයකට අනුව පොපොව් මොස් සංඥා ක්‍රමය යොදාගෙන ‘හෙන්රිෂ් හර්ට්ස්’ (Heinrich Hertz) කියන වචන දෙක රැහැන් රහිතව සම්ප්‍රේෂණය කරන්න සමත් වෙලා තිබෙනවා. මේ සිදුවීම මාකෝනි පේටන්ට් බලපත්‍රය ලබාගත් වකවානුවට වඩා පැරණි නිසා ගුවන්විදුලිය මුල්මවරට නිපදවූ තැනැත්තා හැටියට නිල වශයෙන් පිළිගත යුත්තේ පොපොව්වයි.
එහෙත්, එසේ විය යුත්තේ ඒ සිද්ධිය සත්‍යක් නම් විතරයි. එවැනි සිද්ධියක් වාර්තා කළේ ගැබෙල් පමණයි; සඟරාවේ සංස්කාරකවරයාත් ඒ ගැන සැක පලකළත්, අවසානයේදී ලිපිය පළ කළා. පොපොව් නම් මාකෝනිගේ කීර්තිය උදුරාගන්න උත්සහ කළේවත්, ඔහුව ප්‍රතිවාදියෙකු ලෙස සැලකුවේවත් නැහැ. ඒ දෙදෙනා 1902දී මුණගැසී හොඳ මිතුරන් බවට පත්වුණා.
කොහොමනමුත් සෝවියට් දේශයේ ආක්‍රමණශීලී හැසිරීම පොපොව්ගේ නිහතමානී භාවය ඉක්මවා යන තරම්- මාකෝනි ඉතාලියේ ෆැසිස්වාදී පක්ෂයේ සාමාජිකයකු වීමත් ඊට ප්‍රබලව බලපාන්න ඇති. 1925දී Wireless World සඟරාවේ ලිපිය පල වූ මොහොතේ සිටම සෝවියට් ජනරජයේ ප්‍රචාරණ යාන්ත්‍රණය කඩිනමින් ක්‍රියාත්මක වුණා. ඒ යුගයේදී සෝවියට් දේශය විද්‍යාව හා තාක්ෂණයේ ප්‍රගතිය අතින් බටහිර රටවලට සාපේක්ෂව පසුබෑමකට ලක්ව සිටින බව ජනතාවගෙන් සඟවන්න සෝවියට් නායක ස්ටාලින්ට අවශ්‍ය වුණා. පොපොව්ට ගුවන්විදුලිය බිහිකිරීමේ ගෞරවය හිමිකර දුන්නා වගේම රුසියානු විද්‍යාඥයන් ටෙලිවිෂන් යන්ත්‍ර සහ ගුවන් යානා පවා නිපදවූ බව ප්‍රචාරය කෙරුණා. මේ ප්‍රචාරණ ක්‍රියාවලිය සාර්ථක වුණ බවක් පෙණී යනවා: 1963දී පළවුණු Fundamentals of Radio(ගුවන්විදුලියේ මූලධර්ම) නැමති රුසියානු අත්පොතේ මාකෝනි ගැන කිසිදු සඳහනක් නැති වීමෙන් ඒ බව තහවුරු වෙනවා.
ගෞරවයේ නියම උරුමක්කාරයා කවුරු වුණත්, රැහැන් රහිත සන්නිවේදනය නූතන ලෝකය බිහිකිරීමට සුවිශේෂී දායකත්වයක් සැපයූ බව අවිවාදයෙන් පිළිගත යුතුයි. 1928 වන විට ටෙලිවිෂන් විකාශනය ඇරඹිලා. දෙවනි ලෝක යුද්ධයේ ජයග්‍රහණයට රේඩාර් තාක්ෂණය උපකාරී වුණා. වර්තමානයේ ජනප්‍රියම තාක්ෂණික උපාංගය වන බුහුටි(ස්මාට්) ජංගම දුරකථනයත් බිහිවුණේ ද්වි මාර්ග රේඩියෝවක් (two-way radio) හැටියටයි.
අපිව ඇහෙනවද?
මාකෝනි මෝස් සංඥා ක්‍රමය සම්ප්‍රේෂණය කරන්න යොදාගත් තාක්ෂණය මහා පරිමාණ වෙළඳ ප්‍රචාරණය සඳහා සාර්ථකව යොදාගන්න පුළුවන් බව ව්‍යාපාරිකයන්ට අවබෝධ වෙන්න වැඩි කලක් ගතවුණේ නැහැ. 1920 නොවැම්බර් දෙවැනිදා පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නැගෙනහිර පිට්ස්බර්ග් (Pittsburgh) පිහිටා තිබුණු KDKA හෙවත් ලොව මුල්ම වානිජ ගුවන්විදුලි නාලිකාව විකාශනය ඇරඹුවා. එදින පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පස්සේ එම නාලිකාව ශ්‍රාවක ප්‍රතිචාර අපේක්ෂාවෙන් මෙන්න මෙහෙම ආයාචනයක් කළා: “අපේ විකාශයට සවන්දෙන කෙනෙක් අපි සමග සම්බන්ධ වේවි කියලා අපි අපේක්ෂා කරනවා. මොකද අපේ විකාශය මොනතරම් දුරකට ඇහෙනවාද කියලා දැනගන්න අපි බලා ඉන්නේ නොඉවසිල්ලෙන්.”
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START TALKING OVER THE
AIRWAVES? පරිච්ඡේදය ආශ්‍රයෙනි.