ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
මුල්ම වතාවට උඩුගුවනේ පියාසර කළ මිනිසා කවුද? II කොටස
කිරිල්ලියක සේ ඉගිලී එන්නට …
සිය ජයග්‍රහණයට සුවිශේෂී අයුරින් බලපෑම් කළ තවත් පුරෝගාමී චරිත දෙකක් ගැන රයිට් සහෝදරයෝ සඳහන් කළා. ජර්මානු ජාතික ලිලියන්තාල් එම චරිත දෙකෙන් එක චරිතයක්. අනිත් පුද්ගලයා වුණේ ඇමරිකානු ජාතික අජටාකාශගාමියෙකු වූ සැමුවෙල් ලැන්ග්ලි (Samuel Langley). ඔහු 1896දී වාෂ්ප බලයෙන් ක්‍රියාකරන කුඩා එන්ජිමකින් ක්‍රියාත්මක වන ගුවන් යානයක ආකෘතියක් නිර්මාණය කිරීමට සමත් වුණා. එය ඉන්ධන දහනය වී අවසන් වීමට පෙර කිලෝමීටරයක පමණ දුරක් ධාවනය වුණා. නමුත් සාමාන්‍ය ප්‍රමාණයේ වාෂ්ප එන්ජින් බරින් වැඩි නිසා ගුවන් නියමුවෙක් පදවන ගුවන් යානයක් නිර්මාණය කරන්න ලැන්ග්ලි කිසිදාක සමත් වුණේ නැහැ. පසුකාලීන ගුවන් යානා කාර්මිකයන් ඒ අභියෝගය ජයගත්තේ පෙට්‍රල් භාවිතයෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තර දහන එන්ජිම(internal combustion engine.) මෝටර් රථ කර්මාන්තය තුළ ජනප්‍රිය වීමත් සමගයි.
1903 වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ලැන්ග්ලි වාෂ්ප එන්ජිම අතහැරලා වොෂින්ටනය හරහා ගලා යන පොටෝමැක් ගංගාවේ නවතා තිබුණු බෝට්ටු නිවසක වහලය මුදුණේ සිට පෙට්‍රල්වලින් ක්‍රියාත්මක වෙන ගුවන්යානයක් ගුවන්ගත කරන්න උත්සහ කළා. නමුත් ඔහුගේ ප්‍රයත්නයන් සියල්ලම ශෝචනීය ලෙස අසාර්ථක වුණේ යානය ගුවන්ගත වීමෙන් පසුව එය හසුරවාගැනීම ගැන ඔහු ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම නිසයි. ඊට නොබෝ කලකින් රයිට් සහෝදරයන්ගේ පෙට්‍රල් දහනය කරන එන්ජිමක් සහිත ගුවන්යානය ගුවන්ගත වුණා. රයිට් සහෝදරයො නම් ලැන්ගලිගෙන් නොලැබුණු අවධානයක් ගුවන්යානය හැසිරවීම සම්බන්ධයෙන් යොමු කළා. එසේ කිරිමට හකිවුණේ, ඔවුන් අන් අයගේ අත්දැකීම් තුළිනුත්, ඒ වගේම කුරුල්ලන් ගැන අධ්‍යයනයෙනුත් බොහෝ දේ ඉගෙන ගත්ත නිසයි.
රයිට් සහෝදරයන් සිදුකළ වැඩිදියුණු කිරීම් අතරින් සාර්ථකම සොයාගැනීම වුණේ ගුවන්යානයේ පිරිවටනය හෙවත් පෙරලිල්ල, යානයේ බඳ (fuselage) හරහා මධ්‍ය අක්ෂය ආශ්‍රිතව ඇතිවන චලිතය පාලනය කිරීමට සමත් වීමයි. ලිලියන්තාල්ගේ අතිශයින් දෝෂ සහගත ග්ලියිඩරය හැසිරවීමේදී තම ශරීරයේ බර පැත්තෙන් පැත්තට යොමුකරවමින් සමබරතාවය රැකගන්න නියමුවාට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවුණත්, රයිට් සහෝදරයෝ නියමුවාට හැසිරවිය හැකි පරිදි තටු නිර්මාණය කිරීම මගින් මාරුවෙන් මාරුවට යානයේ එක් දිශාවකට වැඩි එසවීමක් ඇතිකිරීමට සමත් වුණා.
සඳ වෙත පියඹන්න
මෙය ඉතා වැදගත් පියවරක් වෙන්නේ යානය කඩා වැටී බරපතල අනතුරක් සිදු නොවන ලෙස යානය හසුරවා ගැනීම බරපතල අභියෝගයක් වුණු නිසයි. ඊට අමතරව මෙම යානයේ ඉදිරිපසින් යානයේ තුඩ ඉහළ පහළ යෑම (පිට්චින්ග්) පාලනය කරන ආරෝහකයක් (elevator) ඉදිරිපසිනුත්, යානය පැත්තෙන් පැත්තට ගමන් කිරීම (yawing) පාලනය කරන සුක්කානමක් පසුපසිනුත්, සවිකර තිබුණා. මේ උපාංග රයිට්ලාගේ ගුවන් යානයේ මානයන් තුනටම අදාල චලනයන් නිසි ආකාරයෙන් පාලනය කරගැනීමට උපකාරී වුණා. මෙය අතිශයින් වැදගත් සාධකයක් වුණත් මීට පෙර ගුවන්යානා පිළිබඳව පර්යේෂණ කළ කිසිවෙක් ඊට නිසි අවධානයක් යොමු කර තිබුණේ නැහැ.
ඔර්විල් රයිට් ගේ කෙටි පියාසැරිය අදටත් තාක්ෂණික ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. ඒ ඓතිහාසික ගමනින් යාම්තම් වසර 66ක් ගෙවී යද්දී නාසා (NASA) ආයතනය මිනිස්සුන්ව සඳ මතට ගෙන යවන්නත් සමත් වුණා. ඒ කාලය වන විට මගීන්, ලෝකයේ එහා කෙළවරට යන්න ගුවන් සේවා භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට හැරිලා. වර්තමානයේදී ගමනාගමනයට ගුවන් යානා යොදාගැනීම මොන තරම් සාමාන්‍ය, මොනතරම වෙහෙසකර, මොන තරම් අලංකාරයෙන් තොර, දෙයක් බවට පෙරළිලා තිබෙනවාද කියනවා නම් අපේ මුත්න්මිත්තන් ඒ අභියෝගය ජය ගන්න මොන තරම් වෙහෙසුණාද යන්න පහසුවෙන් අමතකවන සුළුයි. අඩු වියදම් ගුවන් සේවයක, තුන්වන පන්තියේ ගමන් කරනවා කියලා ඒ කාලේ කීවා නම් ඒකත් හැබැයි ඉතින් ඒ කාලේ ඇත්තන්ට අදහාගන්න බැරි ආශ්චර්යජනක කතාවක් වෙන්න තිබුණා..
සුළඟෙ පාවී…
මිනිස්සු ඉගිල්ලෙන්න හීන මැව්වේ අදක ඊයෙක නොවෙයි. ඉතින් ඒ හීනය 1783 ඔක්තෝම්බර් මාසයේදී. සැබෑ වුණත් මුල්ම වරට අහසට නැග්ගේ කවුද කියලා නිශ්චිතවම කියන්න බැහැ- ඒ JacquesÉtienne Montgolfier හෝ ඔහුගේ හවුල්කරුවා වූ Pilâtre de Rozier විය හැකියි. ඒ දෙදෙනාගෙන් කවුරුන් හෝ පැරීසිය ආසන්නයේදී වායු බැලුමක කූඩයට ගොඩ වෙලා ගුවන්ගත වුණා.
එය සුවිශේෂී ජයග්‍රහණයක් වුණත් යම් බලාපොරොත්තු සුන් වීමකුත් ඊට මුසුවී තිබුණා. මිනිසා හැමවිටම සිහින දැක්කේ කුරුල්ලන් වගේ පියාසර කරන්නයි. වායු බැලුමක- එන්ජිමක් නැති, වාතයට වඩා සැහැල්ලු යානයක- පාවෙන එක ඒ හැටි දෙයක් නෙවෙයි. ඊට මාසයකට පසුව de Rozier පැරිස් නගරයට ඉහළින් මිනිත්තු විසි පහක් දිගේලි නොකළ බැලුමක ගුවනේ පාවෙමින් ඉතිහාසයේ මුල්ම වරට ගුවන් චාරිකාවක නිරත වුණා. 1785දී ඔහු ගුවන් ගමන් ඉතිහාසයේ තවත් වාර්තාවක් පිහිටෙව්වා: ප්‍රංශයේ උතුරුදිග කැලේ (Calais) ගංතොට ආසන්නයේදී ඔහුගේ බැලුම පිපිරී කඩා වැටීම නිසා ඔහු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ පළවෙනි පුද්ගලයා ලෙසත් ඉතිහාසගත වුණා.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO WAS THE FIRST PERSON TO FLY? පරිච්ඡේදය ආශ්‍රයෙනි.