විලක් සහ පොකුණක් අතර වෙනස කුමක් ද? 

Posted by

විලක් සහ පොකුණක් අතර වෙනස කුමක් ද?

කටින් පිට නොකළාට මේ ප්‍රශ්නේ කියවන අය  මෙන්න මෙහෙම හිතෙන් කියනවා ඇති: “ඕකත් අහන්න දෙයක් ද? විලක් කියන්නේ ලොකු පොකුණකටනේ”. ඔව්, ඇත්ත තමයි ඔබ හරි. ඒත් ඉතින් ඔබ හිතා බැලුවා ද ‘විල’ සහ ‘පොකුණ’ යන දෙක වෙන් කරන ප්‍රමාණය දක්වන රේඛාව කුමක් ද කියා? පොකුණ කොයි ප්‍රමාණයකට වඩා ලොකු වුණොත් ද විලක් වෙන්නේ? අපි තවත් ඔය වගේම ප්‍රශ්නයක් ඇහුවොත්, විලක් මුහුදකින් වෙන්කර දක්වන රේඛාව කුමක් ද කියලා?  ඒකට උත්තරය  දන්නවා  කියලා ඔබ හිතනවා ද?

උත්තරය දන්නේ නැතිනම් ඔබ සමහරවිට භූගෝල විද්‍යාව හෝ භූ විද්‍යාව දෙසට යොමුවෙන්න පුළුවන්. මොකද, ඒ ක්ෂේත්‍රවල අය නේ ඕවා දන්නේ, නේද? ඒත් ඉතින් අවසනාවක මහත, ඒ වෘත්තිකයන් අතරේ වුවත්, මෙම ජල කඳන් ගැන සම්මත අර්ථ නිරූපණයක් නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ ‘ජාතික සිතියම් ගතකිරීමේ අංශයේ භූ ලක්ෂණ උපදෙස්’ (National Mapping Division’s Topographic Instructions) භූ ලක්ෂණ හැඩයම් සඳහා පාරිභාෂික නම් යටතේ ‘විලක්’ යන්න අර්ථ දක්වා ඇත්තේ “සාමන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් යුතු, රට අභ්‍යන්තර පවතින ජල කඳක්” හැටියටයි. එම ප්‍රකාශනයෙහිම ‘පොකුණ’ යන්න දක්වන්නේ “කුඩා මිරිදිය විලක්” ලෙසටයි. එහෙම වුණාට ඇමෙරිකාවේම  රජයේ වෙනත් ප්‍රකාශන වල ‘කරදිය දිය කඩිති’ ද විල් හැටියට දක්වා තිබෙනවා.

මෙහෙම බලන විට විල සහ පොකුණ ප්‍රමාණය අනුව වෙන්කර පෙන්වන බෙදුම් රේඛාව දැක්වීමට කිසිවෙකුත් ඉදිරිපත්වෙන්නේ නැහැ. ඇත්තවශයෙන්ම මේ දෙක අතර පැහැදිලිවම දැක්විය හැකි එකම වෙනස වන්නේ විලක් යනු ස්වභාවික පිහිටීමක් වන අතර මනුෂ්‍යයන් විසින් නිර්මාණය කරන ලද්දක් නම් එය පොකුණක් යන්නය. සත්වපාලනයෙහි යෙදෙන ගොවීන් සිය ගොවිපළ සතුන් වෙනුවෙන් දිය සැපයීම පිණිස  මෙවැනි තටාක නැතිනම් පොකුණු තනනවා.  සමහරක් විට තාරාවන්, පාත්තයන් වැනි ජලජ සතුන් ඇතිකිරීම සඳහාත්  මේවා භාවිත වෙනවා. මසුන් බෝ කරන්නන් ද මත්ස්‍ය අභිජනනය වෙනුවෙන්  මේ ආකාර පොකුණු තනනවා.

විලක් සහ පොකුණක් අතර වෙනස තේරුම් ගැනිමට වෙහෙසෙන අයට බොහෝ විට පැන නඟින ප්‍රශ්නයක් තමයි සාගරයත් මුහුදත් අතර වෙනස තෝරා බේරා ගැනීම. සාමාන්‍යයෙන් සාගරයක් කියන්නේ මුහුදකට වඩා විශාල ජල කඳක් බවට පොදු පිළිගැනීමක් තියනවා තමයි. ඒත් ඉතින් මේ ලිපියේ මාතෘකාවට අදාලව මෙන්න මේ අදහසත් සලකා බලන්න: ජේ. ඕ. වීච් (J. O. Veatch) සහ සී. ආර්. හම්ප්‍රීස් (C. R. Humphrys) යන මහාචාර්යවරුන් විසින් ලියන ලද ‘ Water and Water Use Terminology ‘(ජලය සහ ජල භාවිතයේ ශබ්ද මාලාව) යන ග්‍රන්ථයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා: “එක් තැනක කරදිය මහා ජල කඳක් විලක් හැටියට දක්වන්න පුළුවන්, තවත් තැනක් මුහුදක් හැටියටත් දක්වන්න පුළුවනි; සුපිරියර් මහා විල(Lake Superior) ඇතුළු අනෙකුත් ඒවායින් සැදුම් ලත් පංච මහා විල් මිරිදිය ජල කඳන්, ඒත් ඒවා නෛතික අර්ථ දක්වීම් අනුව මුහුදු ය.”

(සලකන්න: අපේ රටේත්  මහා පරක්‍රමබාහු රජු තැනූ අභ්‍යන්තර ජල කඳ වැව හඳුන්වනු ලබන්නේ පරාක්‍රම සමුද්‍රය යනුවෙන්)

මෙහෙම බලාගෙන යන කොට ප්‍රශ්නය තවත් අවුල් වෙනවා මිසක් විසඳෙන පාටක් නැහැ. ඒත් අපි කියන්න උත්සාහ කරන්නේ මේකයි: අපි සමහර වෙලාවට නැති වෙනස්කම් සලකලා එක එක ලේබල් අමුනනවා; තවත් අවස්ථාවල වෙනස් දේවල් වලට  එකම ලේබලය අමුණනවා. වැදගත්ම දේ තමයි සොයලා බලලා, වග විභාග කරලා හරිහැටි වෙනස වටහා ගන්න එක. මේක විලකට, පොකුණකට පමණක් සීමා නොවී ජීවිතයේ අනෙක් දේවලටත් වැදගත් වෙනවා.

DO PENGUINS HAVE KNEES? යන ග්‍රන්ථයේ  What’s the Difference Between a Lake and a Pond? සහ What’s the Difference Between an Ocean and a Sea? යන කොටස් ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.