සියල්ලෙහි සුලමුල 46: අපි QWERTY යතුරු පුවරුව ළඟ නැවතුණේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අපි QWERTY යතුරු පුවරුව ළඟ නැවතුණේ ඇයි?

තාක්ෂණය දියුණු වෙද්දී ඉංග්‍රීසි භාෂාවට නිරන්තරයෙන්ම අලුත් වචන එක්කාසු වෙනවා. “ටෙලිවිෂන්” (TELEVISION),හූවර්” (HOOVER) සහ “අයි පොඩ්”  (IPOD) ඒ අතරින් කිහිපයක් විතරයි. නමුත් “ QWERTY ” කියන වචනයේ ආරම්භය ඒ අතරිනුත් සුවිශේෂයි.

බිලියන ගණන් ජනතාව දිනපතාම භාවිතයට ගන්නා, ලෝකයේ සුලබම තාක්ෂණික මෙවලමක් වුණත් අපි පරිගණක යතුරු පුවරු ගැන අමුතුවෙන් හිතන්නේම නැති තරම්. ඒත්  එය සාමාන්‍ය, අපේ ඇහැට හුරු උපාංගයක් වුණත්, එතන මොකද්දෝ නුහුරු ගතියකුත් තියනවා නේදඅකුරු ඔය පිළිවෙලට සකස් කරලා තියෙන්නෙ ඇයි?

ලෝකයා සහ QWERTY යතුරු පුවරුවත් අතර පවතින ආදරයත් වෛරයත් මුසුවුණු සම්බන්ධය ඇරඹුණේ 1866 වසරේ, මිල්වෞකි (Milwaukee) නගරයේ පිහිටා තිබුණු පුංචි පැඩපොළකදී. ක්‍රිස්ටෝපර් ලේතම් ශෝල්ස් (Christopher Latham Sholes) කියන පොත් ප්‍රකාශකයා තමන්ට ධනවතෙක් වෙන්න මගපාදන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරන්න මුල පිරුවා: ඒ  පොත්වල පිටු අංක ස්වයංක්‍රීයව යොදන යන්ත්‍රයක්.

කාලෝස් ග්ලිඩන් (Carlos Glidden) කියන හිතවත් නව නිපැයම්කරුවාත් ශෝල්ස්ට එකතු වුණා. 1867 ජූලි මාසයේදී Scientific American සඟරාවේ යතුරුලියන යන්ත්‍රයක් (typewriting machine) ගැන පළවුණු කෙටි ලිපියක් ඔහුට කියවන්න ලැබීමෙන් ඔවුන්ගේ මුල් සැලසුම වූ පිටු අංක ස්වයංක්‍රීයව යොදන යන්ත්‍රයක් වෙනුවට “මිනිසුන්ගේ හිතට එන අදහස් ලිවීමට වඩා දෙගුණයක් වේගයෙන් සටහන් කරන්න මිනිසාට අවස්ථාව ලබාදෙන යන්ත්‍රයක්” නිපදවීම දක්වා වෙනස් වුණා.

අදාළ රූපය

පියානෝවක්ද? යතුරුලියනයක්ද?

තවත් වසරක් ගෙවී යද්දී ඒ දෙදෙනා පේටන්ට් බලපත්‍ර තුනක හිමිකරුවන් වෙලා. නමුත් ඔවුන්ගේ නිර්මාණය නම් බැලූ බැල්මටම යතුරුලියනයක් හැටියට අඳුනාගන්න අසීරු බවයි පෙණුනේ. හැම අකුරකටම සුදු හෝ කලු යොදාගෙන සකස් කළ එය යතුරු පුවරුවකට වඩා සමාන වුණේ පියානෝවකටයි.

යන්ත්‍රයෙන් සටහන් කරන අකුරු එක ගොඩේ මුද්‍රණය වීමත්, අකුරු පේළී ඇද වීමත් නිරන්තරයෙන් සිදු වුණත්, ශෝල්ස් එය යොදාගනිමින් ආයෝජකයන්ට ලිපි යැව්වා. ඒ අතරින් ජේම්ස් ඩෙන්ස්මෝර් කියන පුද්ගලයා යන්ත්‍රය දකින්නත් කලින් පේටන්ට් බලපත්‍රයේ කොටස්වලින් සියයට විසි පහක්ම මිලදී ගත්තා. එහෙම නමුත් තමන්  ආයෝජනය කළ නිශ්පාදනය ඇස් දෙකෙන්ම දැකගන්නට මිල්වෞකි වෙත ගිය අවස්ථාවේ නම් ඔහු ඒයින් නොසතුටට පත්වෙලා එය “කසිකබල්, වැඩකට නැති දෙයක්” බව කියා සිටියා. නමුත් මේ නිර්මාණය බිහිකිරීමට මුල් වූ අදහස ගැන ඩෙන්ස්මෝර් තවදුරටත් විශ්වාසය තැබුවා. ඔහු නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කරන්නත් ශෝල්ස්ව පෙළඹෙව්වා.

ඉන් පසුව සිදු වුණු දේ තරමක් අපැහැදිලියි. 1872 වසරේදී ශෝල්ස් තවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කළා. ඒ වන විට පියානෝ ආකෘතියේ යතුරු පුවරුව රවුම් බොත්තම් පුවරුවක් දක්වා විකාශය වී තිබුණත් බොත්තම්වලින් දැක්වෙන අක්ෂර මොනවාදැයි පැහැදිලිව දක්වා තිබුණේ නැහැ.

ඊට කාලයකට පස්සේ QWERTY යතුරුපුවරුවට බෙහෙවින්ම සමාන යතුරුපුවරුවක් හිටිහැටියේම කරලියට පැමිණියා. 1872 අගෝස්තු මාසයේදී Scientific American සඟරාව ශෝල්ස්ගේ යතුරුලියනය යනුවෙන් සටහනක් සහ යතුරු පේළි හතරකින් සමන්විත යතුරු පුවරුවත්, දෙවනි පේළිය QWE.TY අක්ෂරවලින් ආරම්භවෙන බවත්, දැක්වෙන රූපසටහනක් ඇතුළත් වර්ණනාත්මක ලිපියක් පළ කරා.

QWERTY  එළිදකියි

‘ඊ. රෙමින්ටන් සහ සහෝදරයෝ’ කියන්නේ  (නිව් යෝක් නගරය පාදක කරගෙන)  තුවක්කු නිශ්පාදනය කරන සමාගමක් ලෙස ආරම්භවුවක්.  පසුකාලීනව එම සමාගම  ගෘහ උපකරණ  නිශ්පාදනයටත් අතගැසූවා.  ඩෙන්ස්මෝර් ඔය සමාගමේ ඉංජිනේරුවන් ඉදිරිපිට යතුරුලියනයේ ක්‍රියාකරවා පෙන්වීමෙන් පසුව එම සමාගම යන්ත්‍රය නිපදවීමේ කාර්යය බාරගන්න ගිවිසුමක් අත්සන් කළා. (ඔවුන් සුළු වෙනස්කම් සහිත යතුරු පුවරු මූලාකෘතියක් නිශ්පාදනය කළා: ඒ QWERTUIOPY ආකෘතිය.

 

කොහොමවුණත්,  ශෝල්ස් එයින් සෑහීමකට පත් නොවුණු බවත්, Y අක්ෂරය T සහ U මැදින් පිහිටන ලෙස එය නැවත සකස් කරන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන් වෙනවා. රෙමින්ටන් සමාගම ඊට එකඟ වුණු නිසා මුල්ම වතාවට වර්තමාන QWERTY යතුරු පුවරුව බිහිවුණා. 1874දී රෙමින්ටන් සමාගම ඔවුන්ගේ නොම්මර එකේ යතුරුලියනය වෙළඳපොළට හඳුන්වාදීමෙන් පසුව කෙටි කාලයක් තුළ ලෝකයේ මුල්ම වරට වෙළඳපොළ ජයගත් අකුරු ලියන යන්ත්‍රය බවට පත්වුණා.

අදාළ රූපය

QWERTY යතුරු පුවරුව බොහොම ඉක්මණට ජනප්‍රිය වුණත් ඔය යතුරු පුවරුවේ අකුරු ඔය විදිහට සකස් කරන්න අදහස ආවේ කොයිබින් ද? ඒ ගැන ඔබට කුතුහලයක් ඇතිවෙනවා නම් ඒ ගැනත්, QWERTY යතුරු පුවරුව ගැනත් තව විස්තර හෙට 15 ඉරිදා ලිපියේ ඉතිරි කොටසින් කියවන්න.

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY ARE WE STUCK WITH THE QWERTY KEYBOARD?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.