සර්වසම නිඹුල්ලුන්ගේ ඇඟිළි සළකුණුත් සර්වසම ද? DNAත් සර්වසම ද?
සර්වසම හෙවත් අනන්‍ය නිඹුල්ලු හට ගන්නේ සංසේචිත ඩිම්බයක් දෙකට බෙදී එකිනෙකින් වෙන්වූ කලල දෙකක් ම ප්‍රසූතිය දක්වා මව් කුස රැඳී සිටීමෙනි. මෙහිදී අනන්‍ය නිඹුල්ලු බිහිවීම සම්බන්ධයෙන් වැදගත් වන කාරණය වන්නේ ඩිම්බයේ වෙන්වීම සංසේචනයෙන් පසුව සිදුවීමයි. මේ නිඹුල්ලු හට ගන්නේ එකම ශුක්‍රාණුවෙන් සහ ඩිම්බයෙනි — එහෙයින් ඔවුන් සතුව ඇත්තේ එකම DNAය, සර්වසම ප්‍රවේණි සැකැස්මය.
DNA නිශ්චිතවම සම වෙන හෙයින් අනන්‍ය නිඹුල්ලු සැමවිටම එකම ලිංගිකතවයකින්(same sex), එකම පාට ඇස්වලින් සහ එකම රුධිර කාණ්ඩයකින් යුක්තය.
අනෙක් අතට, බෑ(භ්‍රතෘ) හෙවත් සහෝදර නිඹුල්ලු(‘fraternal twins’) හටගන්නේ වෙන වෙනම ඩිම්බ දෙකක් වෙනස් ශුක්‍රාණු දෙකක් මගින් සංසේචනය කරනු ලැබීමෙන්ය. ඔවුන්ගේDNA වල සමානකමක් දක්වන්නේ එකම දෙමාපියන්ගේ වෙනත් සිබියන්(siblings = සහෝදර, සහොදරියන්) දෙදෙනෙකු හෙවත් යුවලක DNA සමවන තරමටය. බෑ නිඹුල්ලු අනිවාර්යයෙන්ම එකම් පෙනුමෙන් යුක්ත විය යුතු නැති අතර වෙන වෙන ලිංගිකත්වයකටත් (එකම නොව විරුද්ධ ලිංගයටත්), රුධිර කණ්ඩායම් දෙකකටත් අයත් වන්නට ඉඩ ඇත.
කෙසේවෙතත්, අනන්‍ය නිඹුල්ලුන්ගේ DNA එක සමාන වුව ද ඔවුන් කාබන් පිටපත් නොවන්නේය. දෙමාපිය ඥාතීන් ආදීන්ට සහ යාළු මිත්‍රාදීන්ට වැඩි වෙහෙසක් නැතුව එක් සර්වසම නිඹුලෙක් අනෙක් නිඹුලා ගෙන් වෙන්කොට හඳුනා ගත හැකිය. ඔවුන්ගේ පෞරුෂයන් දැඩිව වෙනස් වීමට පුළුවන. ඔවුන්ගේ ඇඟිලි සළකුණු ද වෙනස් වේ. මේ වෙනස්කම් වලට බලපාන්නේ ප්‍රවේණිය නොවේ නම් වෙන කුමක් ද? සර්වසම නිඹුල්ලන්ගේ ඔවුන්ගේ ඇඟිලි සළකුණු සර්වසම නොවන්නේ ඇයි?
ගර්භය තුළ වැඩෙන කලලයක වටපිටාව, ඇඟිලි සළකුණ නිර්ණය කිරීමේ දී යම් කාර්ය භාරයක් ඉටුකරයි. මේ නිසා තමයි ප්‍රවේණි විද්‍යාඥයන් ‘ප්‍රවේණි දර්ශයන්”(genotypes) සහ ‘රූපනුදර්ශයන්'(phenotypes) අතර පැහදිලි වෙනසක් දකින්නේ.
‘ප්‍රවේණි දර්ශයන්’ යනු පුද්ගලයෙකු සහජයෙන් උරුම කරගන්නා DNA ජාන කට්ටලයයි. රූපනුදර්ශයන් යනු පරිසරයට DNA නිරාවරණය වූවාට පසුව පුද්ගලයෙකු හැඩ ගස්වන ගතිලක්ෂණයි. අනන්‍ය නිඹුල්ලු සතුව සැමවිටම එකම ප්‍රවේණි දර්ශය පවතින අතර එහෙත් ඔවුන්ගේ රූපනුදර්ශයන් වෙනස්වන්නේ ගර්භය තුළ ඒවායේ අත්දැකීම අපසරණය වන හෙයිනි.
ලූසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නීතිය, විද්‍යාව සහ මහජන සෞඛ්‍යය වැඩසටහනේ අධ්‍යක්ෂ එඩ්වඩ් රිචඩ්ස් මෙලෙස සඳහන් කරයි: “ඇඟිලි සලකුණු ගැන බලනවිට, ඇඟිලි සලකුණු වර්ගීකරණය සඳහා යොදාගන්නා පොදු රටාවන්හි ගත් ලක්ෂණ තීන්දු කරන්නේ ජානයි. ඇඟිලි තුඩුවල සම විශේෂණය කරන විට(differentiate) මෙම පොදු ලක්ෂණ ප්‍රකට කරයි. කෙසේවෙතත්, මතුපිට සෛලයක් ලෙස එය (පිළිසිඳ ගැනීමෙන් සති අටකට වැඩියෙන් ගතවූ) භ්‍රෑණයාගේ සහ ගර්භාශයේ අනෙකුත් කොටස් හා සමගද ගෑවෙයි. තවද, ඝර්භාශයට සාපේක්ෂව ඒවායේ ස්ථානය භ්‍රෑණයා ම සෙලවෙද්දී සහ මවගේ ඈත් මෑත්වීම් වලට ප්‍රතිචාර වශයෙන් ද භ්‍රෑණ ශරීරය වෙනස්වෙයි. මෙලෙස, ඇඟිලි තුඩුවල වර්ධනය වන්නාවූ සෛලවල මේ ක්ෂුද්‍ර පරිසරය අස්ථාවර පවතින අතර සැමවිටම තමයි එක් අතකින් තවත් අතකට මෙන්ම ඇඟිල්ලෙන් ඇඟිල්ලට මද වශයෙන් වෙනස් වෙයි. මේ ක්ෂුද්‍ර පරිසරය තමයි ඇඟිලි සලකුණෙහි ව්‍යුහය සියුම් විස්තර තීරණය කරන්නේ. ඇඟිලි අතර ක්ෂුද්‍ර පරිසරයෙහි වෙනස්කම් සුලු සහ සියුම් වන අතර ඒවායේ බලපෑම් විභේදනය වන්නා වූ සෛල මගින් විස්තාරණයවේ. මෙමගින්. නිඹුල්ලුන්ගේ ඇඟිලි සලකුණු විශේෂණය කිරීමට මග පාදන මහේක්ෂ(macroscopic) වෙනස්කම් නිපදවනු ලැබේ.”
මවගේ පෝෂණය, ගර්භය තුළ ස්ථානගතවීම, ඒ ඒ අයගේ රුධිර පීඩනය වැනි විසම බලපෑම් යන සියල්ල අනන්‍ය නිඹුල්ලුන්ගේ අසම ඇඟිලි සලකුණුවලට මග පාදයි.
සියලු උපත් අතරින් සියයට 2ක් පමණ නිඹුල්ලුය. අනන්‍ය නිඹුල්ලුවන්නේ මෙයිනුත් තුනෙන් එකක් පමනකි. එහෙත් නිඹුල්ලුන්ගේ ඇඟිලි සලකුණු හිම මල් මෙනි — බැලූ බැල්මට එකසමානය. එහෙත් අන්වීක්ෂණයක් යටතේ තැබූවිට වෙනස්කම් දිස්වන්නට පටන් ගනී.
Do elephants jump? යන ග්‍රන්ථයෙහි Do Identical Twins Have Identical Fingerprints? Identical DNA? කොටස ඇසුරෙනි