සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශීතකරණයක, අධිශීතකරණ කොටසට ලයිට් එකක් නැත්තේ ඇයි?

ශීතකරණයක අධිශීතකරණ කොටසට ලයිට් එකක් නැත්තේ ඇයි?

රැයකදී සීතල වතුර ටිකක් බොන්න හරි වෙනත් කෑමට යමක් ගන්න හරි ශීතකරනය අරින කොටම විදුලි බල්බයක් පත්තු වන නිසා කලුවරේ අතපත ගාන්නේ නැතුව එහෙමත් නැතිනම් විදුලි පන්දමක එළිය යොමු කරන්නේ නැතුව ඒ කාර්යය සාර්ථකව කරගන්න අපට පුළුවනි. ඒ අර දොර ඇරෙන කොට පත්තුවෙන බල්බයේ ආධාරයෙන්. ඒත් අපට රාත්‍රියකදී  අයිස්  කියුබ් (කැට) ටිකක් හෝ රාත්‍රියට පිසින මාළු හෝ මස් උවමනා වුණා යයි කියමුකො. එතකොට ශීතකරණයේ දොර ඇරියට අපිට ඕන කරන දේවල් තියෙන්නේ අධිශීතකරණ(freezer) කොටසෙනේ. හැබැයි, අධිශීතකරණ දොර ඇරියත්,  නැතත් ඒ කොටසට ආලෝකය එන්න විදුලි බල්බයක් නැහැ. (අප බොහෝ දෙනකුට මේ කාරණාව ඒ කියන්නේ අධිශීතකරණ කොටසේ ආලෝකය නැති බව මතක් වෙන්නේ මෙන්න මෙහෙම කවුරුහරි ඒ ගැන මතක් කිරීමක් කළොත් පමණයි නේද? අනික අධි මිළ ශීතකරණවල අධිශීතකරණ කොටසෙත් සමාන්‍යයෙන් ආලෝකය සපයා තිබෙනවා). අධිශිතකරන කොටසින් අපිට ඕන අයිස්කැට, මාළු මස්, අයිස්ක්‍රීම් වේවා කළුවරේ  ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය පැත්තක තියලා මෙහෙම ප්‍රශ්නයක් අහමු. ශීතකරණයක අධිශීතකරණ කොටසට බල්බයක් නැත්තේ ඇයි? අද අපේ ලිපියේ මාතෘකාවත් එයමයි. ඇතැම් අය කියන්න පුළුවන් විදුලි බල්බයක් ඇතුවා හෝ නැතුවා වුණාට මෙතෙක් කල් අධිශීතකරණ කොටසින් රෑට යමක් තෝරා  ගන්න එක ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. ඒත් අපි අහන ප්‍රශ්නය ඒක නෙමෙයි. ගෙදර දොරේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ශීතකරණයක අධිශීතකරණ කොටසට ලයිට් එකක් නැත්තේ ඇයි?

සමහරකුට එකවරම හිතට නැගෙන පිළිතුර වෙන්න පුළුවන් ශීතකරණය තිබෙන තැන(සමාන්‍යයෙන් කුස්සියේ හෝ පැන්ට්‍රියේ) ඇති ආලෝකය අධිශීතකරණයේ ඇති දේවල් බලාගන්න ප්‍රමාණවත් කියලා. මොකද අධිශීතකරණ කොටසේ තියෙන්නේ ශීතකරණයේ උඩම කොටසනේ. තවත් අය කියන්න පුළුවන් අධිශීතකරණයකට වැඩියෙන් සීතල ඕන නිසා විදුලි බුබුලක් සවි කරලා නැහැ කියලා. එහෙත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධිශීතකරණයට බල්බයක් සවිකොට ඇත්නම් එය අධි ශීතකරණය තුළ රස්නය වැඩි වන තරමට කාලවේලාවක් කිසිවෙකුත් එහි දොර ඇරගෙන නොසිටින හෙයින් ඒ මතය පිළිගත නොහැකි බවයි.

තාපනය, ශීතනය සහ වායුසමිකරණ ඉංජිනේරුවන්ගේ ඇමෙරිකානු සංගමයේ(American Society of Heating, Refrigeration, and Air-Conditioning Engineers)  තාක්ෂණ කමිටුවේ හිටපු සභාපති උපදේශක ඉංජිනේරු ජේ. බෙන්ජමින් හොර්වේ පෙන්වා දෙන්නේ මේ හුදෙක් වියදම සහ වටිනාකම පිළිබඳ පාරිභෝගික හැඟීමට සම්බන්ධ ප්‍රශ්නයක් බවයි. “සෑම ශීතකරණයක පාහේ අධිශීතකරණ කොටස තියෙන්නේ උඩ. ඉතිං එළවළු ආදිය තිබෙන පහළ කොටසට වඩා ඉහළ අධිශීතකරණ කොටස කුස්සියේ ඇති ආලෝකයෙන් ආලෝකමත් වෙනවා. අනෙක ශීතකරණයේ පහළ කොටස අරින හතර වාරයකට වරක් තමයි අධි ශීතකරණයේ දොර අරින්නේ කියලා සොයාගෙන තියෙනවා. ඉතින් නිතර භාවිතා නොකරන එකකට වැඩියෙන් වියදම් නොකර පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන භාණ්ඩයක් සැපයීමට ශීතකරණ නිෂ්පාදකයන් උනන්දු වෙනවා”.

LG Refrigerators GL-I292RPZL 1

කෙසේ වෙතත් දැන් දැන් අධිශීතකරණ කොටසේත් ආලෝකය ලබා දෙන බවක් පෙනෙනවා. ඒ වගේම අධිශීතකරණ කොටස දැන් දැන් ප්‍රමාණයෙන්ද විශාල කර තිබෙනවා. මෙය ඉහළ මිල ගණන් ගෙවීමට හැකි පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන නිෂ්පාදකයන් ඉදිරිපත් කර ඇති වෙනස්කම් දෙකක් ලෙස පෙනී යනවා. අදහස් විමසන ලද විශේෂඥයන් සෑම දෙනාගේම මතය වන්නේ අධිශීතකරණ කොටසට ආලෝකය සපයා නැත්තේ වියදම අඩු කිරිම පිණිස ගත් පියවරක් බවයි.

inside a fridge සඳහා පින්තුර ප්‍රතිඵල

ජාතික උපකරණ කොටස් සපයන්නන්ගේ සංගමයේ(National Appliance Parts Suppliers Association) ඩික් ස්ටිල්විල් පෙන්වා දෙන්නේ තමන් මිලදී ගන්නා ශීතකරණයේ  කුමන කොටස්  තිබිය යුතුද තීරණය කරන්නේ පාරිභෝගිකයන් කියලයි. මොකද මිල තීරණය වෙන්නේ ඒ අමතර අංග එක් කරන විදියටනේ. ශීතකරණය තුල බල්බයක් සවි කරනවා කියන්නේ සුළු වැඩක් වගේ පෙනුනට දොරට සවි කරන ස්විච  හෝ වයර් සහ ඒ සඳහා වැය කරන ශ්‍රමය මිලට එකතු වෙන්න ඕන බව ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. මෝටර් රථවල මෙන්ම ශීතකරණ වල ද සුළු සුළු අංග එකතු කිරීමෙන් ඒවාට යන වියදමට වඩා වැඩි ගණනක් එකතු කර අලෙවි කිරීමට ශීතකරණ නිෂ්පාදකයන්ට ද අවස්ථාව හිමිවෙනවා.

එහෙත් අමතර අංග එකතු කිරීමේදී ශීතකරණයේ මොඩල අතර වෙනස්කම් ඇති කිරීමෙන් නිෂ්පාදන වියදම ඉහළ යන බව අමානාහි උසස් ශීතකරණ ඉංජිනේරු කළමනාකරු රොබි ඇන්ඩර්සන් පෙන්වා දෙනවා. ඒ නිසා නිෂ්පාදන සැලසුම් කරුවන් සොයා බලන්න තමන්ගේ තරගකාරී නිෂ්පාදකයන් ශීතකරණ නිෂ්පාදනයේ දී කුමන අංග පාරිභෝගිකයාට ඉදිරිපත් කරනවාද යන්නයි. කොහොමටත් පාරිභෝගිකයන් අවධානය යොමු කරන වෙනත් ප්‍රමුඛ අංග තිබෙන නිසා ශීතකරණයේ ඇතුළත ආලෝකය තිබීම් හෝ නොතිබීම් ශීතකරණයක් මිලදී ගන්නකොට තීරණාත්මක සාධකයක් නොවන බවයි ඔහුගේ අදහස. ඒත් ඉතින් ජෙනරල් ඉලෙට්‍රිකල්ස්(General Electricals) වගේ ක්ෂේත්‍රයේයේ දැවැන්තයන් සිය මැදි මිල හෝ අඩුමිල ශීතකරණයකට ආලෝකය යෙදුවොත් අඩුමිලකට ශිතකරණ අලෙවි කරන  නිෂ්පාදකයන්ට එය නොසලකා සිටිය නොහැකි අභියෝගයක් වෙන්න පුළුවන්.

ජපන් ජාතික ඉංජිනේරුවකු වන නරියාකි කැනෝ(Nariaki Kano) විසින් හඳුන්වා දෙනු ලැබූ කැනෝ විශ්ලේෂණය යොදා පාරිභෝගික භාණ්ඩයකට ඇති සැබෑ ආකර්ෂණය සොයාගන්න පුළුවන්. නිදසුනක් ලෙස මෝටර් රථයක ඉන්ධන පිරිමැස්ම එංජින් ධාරිතාව වැනි ප්‍රධාන කරුණු එම රිය මිලට ගැනීමේදී පාරිභෝගිකයා සලකා බැලුවත් (නිදසුනක් ලෙස) එහි dashboard (මුහුණත) පෙනුම බාගදා එම පාරිභෝගිකයාගේ අවසන් තීරණය සඳහා වැදගත් වෙන බව හෙළි වෙන්න පුළුවන්. හුදු ලයිට් බල්බ් එකක් සවිකර තිබූ පලියට අතිරේකව $50 ක් ගෙවන්න පාරිභෝගිකයකු කැමැති නොවෙන්න පුළුවන්. ඒත් තරගකාරී වෙළෙඳ පොළේ දී එය පාරිභෝගිකයාගේ සිත්ගන්නා අංගයක් වෙන්න පුළුවනි. මේ අන්දමට බලන විට අධිශීතකරණ කොටසට විදුලි බල්බයක් සවි කිරීම හුදු  වියදම් ප්‍රශ්නයක් මිස විද්‍යාත්මක හේතුවක් නොවන බවයි පෙනී යන්නේ.

 

Do Elephants Jump?  ග්‍රන්ථයේ  Why Is There No Light in the Freezer Compartment? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: