ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
මුල්ම වතාවට X කිරණ ඇහින් දැක්කේ කවුද?
විල්හෙල්ම් රොන්ජන් (WILHELM RÖNTGEN) වගේ ලැජ්ජාශීලී, මැදහත් පුද්ගලයෙකුට 1895 වසරේ ශීත ඍතුව ඔළුව අවුල්කරවන කාලයක් වන්නට ඇති. ඒ කාලය උදාවෙද්දී ඔහු කල්පනා කළේ තමන්ගේ සිහිය විකල් වෙන්නට යනවා තියලයි. එහෙමවුනත්. එය අවසන් වෙද්දී ඔහු ලොව වඩාත්ම ප්‍රකට විද්‍යාඥයා බවට පත්වී හමාරයි.
වසර 11 තිස්සේ ජර්මනියේ වර්ස්බර්ග් (Würzburg) නගරයේ පිහිටි ප්‍රාදේශීය විශ්ව විද්‍යාලයක සේවය කළ රොන්ජන්ව ඔහුගේ සගයන් දැක්කේ කැපවීමෙන් වැඩකරන, භෞතිකවිද්‍යාඥයෙකු හැටියට මිස විශිෂ්ටයකු හැටියට නම් නොවෙයි. ඔහු කොහෙත්ම ප්‍රසිද්ධිය හඹා ගියේ නැහැ. නමුත් අනපේක්ෂිත විදියට ජනප්‍රියත්වය බලහත්කාරයෙන්ම ඔහුව හඹා ආවේ 1895 වසරේ නොවැම්බර් මාසයේ හැන්දෑවක ඔහු ඔහුගේ රසායනාගාරයේදී දුටු අසාමාන්‍ය, අද්භූත ආලෝකයක් නිසයි.
අද්භූත ආලෝකයක්
මේ සිද්ධිය සිදුවුණේ කෘක්ගේ නලය (Crookes tube) නමින් හඳුන්වනු ලබන උපාංගයක් යොදාගනිමින් රොන්ජන් පර්යේෂණයක යෙදෙන අතරතුරේදි. එය පරණ තාලයේ රූපවාහිනී තිර නිපදවීමට යොදාගත් කැතෝඩ් කිරණ නාළවල (cathode ray tubes) පැරණි ආකෘතියක්.
කෘක්ගේ නලය දෙපසින් ඉලෙක්ට්‍රෝඩ දෙකක් සවිකරලා ඇතුළත අර්ධ වශයෙන් රික්තයක් නිර්මාණය කරපු වීදුරු කුටීරයක්. ඉලෙක්ට්‍රෝඩවලට අධික වෝල්ටීයතාවයක විදුලි ධාරාවක් සැපයුවාම ඍණ ඉලෙක්ට්‍රෝඩයට ප්‍රතිවිරුද්ධ දිශාවේ වීදුරුවෙන් ආලෝකයක් විහිදෙනවා.එසේ සිදුවන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ විදයුත් ශක්තිය උකහාගත් ඉලෙක්ට්‍රෝන ගමන් වේගය ත්වරණය කරමින් (කැතෝඩ් කිරණ ධාරාවක් ලෙස) වීදුරුවේ ඇති පරමාණු සමග ඝට්ටනය වීම නිසා බව අපි දන්නවා.
නමුත් රොන්ජන් දුටු ආලෝක ධාරාව හටගත්තේ නලය ආසන්නයෙන් නම් නොවෙයි. එය දිස්වුණේ ඔහුගේ රසායනාගාරය කෙළවරේ, මීටර කිහිපයක් ඈතින් තිබුණු, ප්‍රදීප්ත ද්‍රව්‍යයක් (fluorescent material) ආලේප කරපු කාඩ්බෝඩ් පුවරුවකින්. ඒ තරම් දුරක් ගමන් කරන්න කැතෝඩ් කිරණවලට හැකියාවක් නැහැ. රොන්ජන් පර්යේෂණය ආරම්භ කළා. ඔහු රික්ත නලය (vacuum tube) ඉදිරියෙන් කළු කාඩ්බෝඩ් පුවරුවක් තබා ආලෝකය අවහිර කළත් තිරයේ දීප්තිය අතුරුදහන් වුණේ නැහැ.
ඔහු සති ගණනක් තිස්සේ රසායනාගාරයෙන් බැහැරව නොයා වෙහෙසුණේ ඒ ආලෝකය ඇතිවුනේ කොහොමද කියලා සොයාගන්නයි.
“මම මගේ කාර්යය ගැන කාටවත් හෙළිකළේ නැහැ,” ඔහු පසු කාලයක ලියා තිබුණා. “මම මගේ බිරිඳට පවා දැනුම්දුන්නේ මගේ පර්යේෂණය ගැන සමාජය දැනගත්තොත් ඔවුන් ‘ඔන්න රොන්ජන්ට පිස්සු හැදිලා’ කියා කියනු ඇති බව පමණයි”.
නමුත් නත්තල් සමය උදාවෙද්දී තමා උමතුවෙන් පසුවන්නෙකු නොවන බව ඔහු තහවුරු කරගත්තා. ඒ, නලයෙන් හටගන්නේ මින් පෙර හඳුනා නොගත් විකිරණයක් කියල දනගැනීමෙන්. ඒ මොනවාද කියලා හරියටම හඳුනානොගත් නිසා රොන්ජන් ඒවා X කිරණ ලෙස නමින් නම් කළා. (අනියත දෙයක්, පුද්ගලයෙක්, වස්තුවක් හෝ ස්ථානයක් දක්වන්න අපි X යන්න යොදනවානේ. රොන්ජන් වමත් පවා Mr.X ලෙස පසුව හඳුන්වනු ලැබුවා)
මුල්ම වතාවට X කිරණ ඇහින් දැක්කේ කවුද කියන එක ගැන නම් දැන් අදහසක් තියනවානේ? ඒත් X කිරණ කතාව එතැනින් ඉවර නැහැ. අපි හෙට(29 ඉරිදා) මුලු කතාවම කියවමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO HAD THE FIRST X-RAY VISION? පරිච්ඡේදය ආශ්‍රයෙනි.