සියල්ලෙහි සුලමුල 49: නවෝත්පාදනය සිද්ධවන්නේ අවශ්‍යතාව නිසාද? වාසනාව නිසාද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

නවෝත්පාදනය සිද්ධවන්නේ අවශ්‍යතාව නිසාද? වාසනාව නිසාද?

නව නිපැයුම්වල මෑණියන් වන්නේ අවශ්‍යතාව බව ප්‍රකට කියමනක්නෙ. නමුත් සමහර වෙලාවට යථාර්ථය ඒ කියමන කනපිට හරවනවා.

1968 වසරේදී ඇමරිකාවේ (දැන් සුප්‍රකට) 3M රසායන සමාගමේ ස්පෙන්සර් සිල්වර් (Spencer Silver) ඇලෙනසුලුබවින් වැඩි මැලියම් වර්ගයක් නිශ්පාදනය කරන්න උත්සහ කළා. දීර්ඝ කාලයක් තිස්සේ මේ සඳහා ඔහු ගත් වෙහෙස බෙහෙවින්ම අසාර්ථක වුණා; ඔහු නිපදවූ  මැලියම් වර්ගය ඇලෙනසුලුබවින් ඉතාමත් අවමයි. නමුත් එහි විශේෂ ගුණාංග රැසක් හඳුනාගන්න සිල්වර් සමත් වුණා. එය වස්තුන් දෙකක් එකට අලවන්න හැකි තරම් ඇලෙනසුලු වුණත්, පැල්ලමක් ඇති නොකරම ඒවා වෙන්කළ හැකි තරමටම දුර්වල වුණා. භාවිතයෙන් එහි ඇලෙනසුලුබව අඩුවුණෙත් නැහැ.

සිල්වර් මෙය හැඳින්වුවේ ‘ගැටලුවක් නොමැතිව   සොයාගත් විසඳුමක්’ හැටියටයි, එලෙස විසදුම හඳුනා ගත් නමුත්  ගැටලුව මොකක්ද කියලා හඳුනාගන්න ඔහු අපොහොසත් වුණා. ඔහු  තමන් සොයා ගත් විසදුම සැමට පෙන්වමින් එය අදාල වෙන්නේ කුමණ ගැටලුවකට ද යන්න සොයාගන්න 3M සමාගමේ සේවය කළ අනිත් සේවකයන්ගෙනුත් උපකාර පැතුවා. 1974 වසරේදී සිල්වර්ගේ වෘත්තීය සගයෙක් වුණු ආතර් ෆ්‍රයි (Arthur Fry) ඔහු සංවිධානය කළ වැඩමුළුවකට සහභාගී වුණා. ෆ්‍රයි පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔහු ගීතිකා පොතේ පිටු ලකුණු කිරීමට යොදාගත් කඩදාසි තීරු නිතරම පිටු අතරින් ගිලිහීම ඔහුට මහා හිරිහැරයක් වුණා. පොතේ පිටුවලට කිසිදු හානියක් නොකරම ඒවා පිටු අතර තාවකාලිකව රඳවාගන්න සිල්වර්ගේ මැලියම් වර්ගය යොදාගන්න පුළුවන් බව ඔහුට තේරුම්ගියා. නැවත නැවතත් භාවිතා කළ හැකි ඇලෙනසුලු කඩදාසි (reusable sticky notes) ගැන සංකල්පය මුලින්ම බිහිවුනේ ඔහොම තමයි.

කොහොල්ලෑ ගාලක්

3M සමාගම 1977දී මේ නව නිශ්පාදනය ‘Press ’n Peel’ නමින් වෙළඳපොළට නිකුත් කළත් එයට පාරිභෝගිකයන් බහුතරයෙන් ලැබුණේ ඇල්මරුණු ප්‍රතිචාරයක්.  නමුත් 1980දී එයම ‘Post-it notes’ නමින් අලුත්ම මුහුණුවරකින් වෙළඳපොළට නිකුත් කළාම ඒවා සීඝ්‍රයෙන් අලෙවි වුණා. ඒ කඩදාසිවල සුවිශේසී වර්ණයට(කහ පැහැයට) හේතුවත් අහම්බයක්: ෆ්‍රයිගේ රසායනාගාරයේ අත්හදාබැලීමකට යොදාගන්න කහපාට කඩදාසි කැබලි ටොන් ගණනක් ගබඩාකර තිබුණා.

Related image

අසාර්ථකත්වයේ ග්‍රහණයෙන් ගැලවී සාර්ථකත්වය ළඟාකරගත් නිශ්පාදනයකට ප්‍රබලම උදාහරණයක් හැටියට ‘Post-it notes’ පිළිගැනෙනවා. නමුත් ඒ එවැනි ඉරණමකට මුහුණදුන් එකම නිපැයුම නම් නෙවෙයි. අහම්බයෙන් සොයාගත් සාර්ථක මැලියම් වර්ග අතරට ‘සුපිරි මැලියම’ ද(superglue) අයත්.  එය නිව්යෝක්හි  රොචෙස්ටර් (Rochester) ප්‍රදේශයේ පිහිටි Eastman-Kodak සමාගමේ රසායන විද්‍යා අංශයේ රසායනවිද්‍යාඥයන් 1942 දී අහම්ඹෙන් සොයා ගත්තක්. ඔවුන් ඇත්තටම වෙහෙසුණේ ගිනි අවියක් නිසි ඉලක්කයට එල්ල කිරීමට උපකාරී වන විනිවිද පෙනෙන උපාංග (gunsights) නිපදවීමට යොදාගතහැකි විනිවිද පෙනෙන ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමටයි. දවසක් ඔවුන් ජලය සමග ස්වයංසිද්ධව ප්‍රතික්‍රියා කරමින් බහු අවියවික  සංයෝගයක් නිපදවන (polymerise) සයනොඇක්‍රිලේට් (cyanoacrylates) කියන රසායන කණ්ඩය අත්හදාබැලුවා. නමුත් රසායනය ගෑවෙන හැම තැනකම  තදින්ම ඇලෙන බව  දැනගත්  ඔවුන් වහාම පර්යේෂණය අත්හිටෙව්වා.

Image result for cyanoacrylates

ඒ වුණාට සයනොඇක්‍රිලේට් සම්බන්ධ කරගෙන සිදු කළ අත් හදාබැලීම් ඔවුන් නතර කළේ නැහැ.  අසාර්ථකත්වයෙන් සාර්ථකත්වය මතු කරගන්න ඒ අප්‍රතිහත ධෛර්ය හේතුවුණා. අපි හෙට(ඉරිදා -05) ඒ ගැන තව කතා කරමු.

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT’S LUCK GOT TO DO WITH IT? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.