ස්වාභාවික ලෝකය විස්තර කිරීමෙහිලා පසුගිය වසර 150ක පමණ කාලය තුළ පරිණාමය පිළිබඳ සිද්ධාන්තය දක්වා ඇති සාර්ථකත්වය හා සසඳා බලනවිට, එය කැපී පෙනෙන අයුරින් වැරදි වැටහීමට ලක්ව තිබෙන බවක් ද පෙනේ. ඕස්ට්‍රේලියානු සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වොන් ගෙන් මෙයට කලකට පෙර පැවති රූපවාහිනී සම්මුඛ සාකච්චාවකදී මේ ගැන විමසා සිටි අවස්ථාවේ දී කියා සිටියේ මිනිසුන් වඳුරන්ගෙන් පරිණාමය වුණේ නම් අද සිටින වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය නොවන්නේ මන්දැයි යනුවෙනි. ඇත්ත වශයෙන්ම මේ හුදෙක් ඔහු පමණක් දරන මතයක් නොවේ. සමාජයේ සමහරු මේ ආකාරයට පරිණාමය ගැන විවිධ ප්‍රශ්න නගති. ඉන් බොහොමයක් වැරදි අවබෝධයන් මත පිහිටා ගෙන ය.
එක්සත් රාජධානියේ සිසුන් පරිණාමය ගැන උගෙනුම අරඹන්නේ 6 වැනි ශ්‍රේණියේ සිටය. ඉන් ඔබ්බට ද තවදුරටත් කරුණු කියා දෙනු ලබන අතර පරිණාමය පිළිබඳ සිද්ධාන්තය එරට හොඳින් පිළි ගනු ලැබූවකි. එහෙත්, තරමක් මෑතක එරට පාසලක මුල් ගුරුවරයකු ප්‍රකාශකර සිටියේ පරිණාමය යනු පිළිගත් කාරණාවකට වඩා හුදු සිද්ධාන්තයක් පමණක් බවයි. ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට 2005 දී සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූයේ එරට(එක්සත් රාජධානිය) ජනතාවගෙන් සියයට විස්සක් පරිණාමවාඩය පිළිබඳ හරිහැටි විශ්වාසයක් නැති බව හෝ පිළිනොගන්නා බවයි.
මීට පටහැනිව, සාපේක්ෂතාවාදය(theory of relativity) වැනි කරුණු සම්බන්ධයෙන් වැඩි දෙනෙකු මෙලෙස ප්‍රශ්න නගන්නේ නැත. විදු ලොව පරිණාමවාදය මුළුමනින්ම පිළිගෙන තිබියදී මේ ආකාරයට සාමාන්‍ය ජනතාව සැක සංකා පලකරන්නේ මන්දැයි සොයා බැලීමට අධ්‍යයන සිදු කර ඇත ද පැහැදිලි පිළිතුරක් සපයා ගැනීමට හැකි වී නැත. පරිණාමවාදය පිළිබඳව පොදුවේ හමුවන වැරදි අවබෝධය මෙයට බලපානවා විය හැකියි. ඉන් ප්‍රධාන වැරදි අවබෝධ පහක් අපි මෙහි දක්වමු.
- එය හුදෙක් සිද්ධාන්තයක් පමණකි.
ලොව විද්‍යාඥයන් විසින් පරිණාමවාදය, සාපේක්ෂතාවාදය, ගුරුත්වාකර්ෂණ න්‍යායය, ආදී වශයෙන් පිළිගනු ලැබූ සෙසු සිද්ධාන්ත හා සමාන ආකාරයට පරිණාමවාදය ද පිළිගැනීමට ලක් කරන ලද්දකි. නටුවෙන් ගිලිහෙන ඇපල් ගෙඩියක් වැටෙන්නේ බිමට බවට සැකයක් නොමැත. එමෙන්ම අප පොදුවේ ප්‍රතිජීවක භාවිතය සීමා නොකළ හොත් ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ක්ෂුද්‍රජීවීන් පරිණාමය වීම නොවැළැක්විය හැකිය. අවශ්‍යයෙන්ම ඔප්පු නොකළ උපකල්පන දැක්වීමටද සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ දෙනා න්‍යාය යන්න යොදාගත්තත්, නීති, න්‍යායන් හා පරීක්ෂාවට ලක් කළ උපකල්පන වලට වඩා විදුලොව විද්යාත්මක න්‍යාය නැතිනම් සිද්ධාන්ත, ඉහළින්පිළිගැනීමට ලක්වන්නකි. පරිණාමවාදයට ඇත්තේ එවැනි පිලිගැනීමකි. එය හුදු මතයක් හෝ උපකල්පනයක් පමණක් ලෙස ගැනීම වැරදි අවබෝධය නිසාවෙන් සිදුවන්නකි.
- මිනිසුන් වඳුරන්ගෙන් පැවත එන්නෝය.
නැත. නැත. ඔබේ ආදී මුතුන්මිත්තෝ වඳුරන් නොවූහ. වඳුරන්(monkey) හා වානරයන් (ape) අතරේ අපගේ පොදු පූර්වජයෙකු සිටින බව පරිණාමවාදය අපට කියා දෙයි. අදටත් පවතින විශේෂ අතර ඔවුන් අපගේ සමීපතම නෑදෑයන් ය. ඇත්තටම ගතහොත් මිනිස්සු හා චිම්පන්සි සිය ජාන අනුක්‍රමයන් සියයට අනූවකට වැඩියෙන් හවුලේ භුක්ති විඳිති. එහෙත් මෙයට වසර මිලියන හතකට පමණ පෙර මිහිතලය මත සැරිසැරූ මේ සැමගේ පොදු පූර්වජයා, වඳුරෙකුවත් මිනිසකුවත් නොවන වානර ආකාර සතෙකි. ඒ පූර්වජයාගෙන් පැවත එන විශේෂ කිහිපයක් ඇති අතර එලෙස පැවත එන්නන් අතර ඇතැම් පොදු ලක්ෂණ ඇත. එහෙත් එම ලක්ෂණ සලකා එක් විශේෂයක් අනෙකෙන් පැවත එන්නේ යයි සිතීම නිවැරදි නැත.
- ස්භාවික වරණය(natural selection) අරමුණු සහිතයි.
තමන්ගේ පරිසරයට පරිපූර්ණ ආකාරයෙන් අනුවර්තනය නොවූ ජීව විශේෂ අදටත් ඇත. නිදසුනකට සිය උත්ප්ලාවකතාව(buoyancy පාවෙනසුලු ගතිය) පාලනය කර ගැනීම සඳහා මෝරුන්ට වායු ආශයක්(gas bladder) නැත. ( මෝරුන්ට නැත ද කටු මස්සා සාමාන්‍යයෙන් මෙය උපයෝගී කරගනී). ඒ අනුව සලකා ස්වභාවික වරණය සහිත පරිණාමවාදය සාවද්‍ය යයි නිගමනයකට එළඹිය හැකිද? යන්න සිතා බැලිය යුතුය. ලබාගත හැකි දේ අතරින් වඩාත් කදිම දෙය ස්වාභාවික වරණය මගින් අහඹු ලෙස වාසියට හරවාගන්නා විනා සියලුම සතුන් සුපිරි ජීවීන් බවට පත් කිරීමේ අරමුණක් ඇතිව එය ක්‍රියා කරන්නේ නැත.
නිදසුනක් ගනිමු. ශාකවලට මෙන්ම ප්‍රභාසංස්ලේෂණ හැකියාව මානවයන්ට ද තිබුණේ නම් අපගේ සාගිනි ප්‍රශ්නය පහසුවෙන්ම විසඳා ගත හැකිව තිබුණි. එහෙත්, ප්‍රභාසංස්ලේෂණය සඳහා ජානමය හැකියාව ශාකවලට පරිණාමය වී ඇත ද සතුන්ට උරුම වී නැත. එසේ වුවද පරිපූර්ණ නො වෙතත් වඩාත් හොඳ විකලපය තෝරාගැනීමට(වරණයට) ඇති හැකියාව නිසා බොහෝ විශේෂයන්ට, ඒ වායේ පරිසරයට අනුවර්තනය වී යහතින් කල් ගෙවීමට හැකි වී තිබේ.
- සංකීර්ණ අවයව ඇති වීමට හේතුව පරිණාමයෙන් විස්තර කර නොහැක.
පරිණාම වාදයට එරෙහිව මැවුම් වාදීන් (Creationists) පොදුවේ එල්ලකරන තර්කයක් වන්නේ ඇස වැනි සංකීර්ණ අවයවයක් මවනවා විනා පරිණාමය නොවේය යන්නය. මුල් කාලයේ විසූ මනුෂ්‍යයන්ට තිබුණේ අර්ධ වශයෙන් පරිණාමය වූ ඇසක් නම් ඔවුන් දිවි ගෙවුනේ කෙසේද යන්න ඔවුන් නගන ප්‍රශ්න යයි. පරිණාමය කාලයක් ගතවෙමින්, අනුක්‍රමයෙන් සිදුවන්නක් බව පරිණාමවාදය ම ප්‍රකටව දක්වන කාරණයකි. ඇසෙහි සම්භවය, වෙනත් කාර්ය භාරයක් සහිත අවයවයකට තිබෙන්නට ඇතැයි චාල්ස් ඩාවින් ම දක්වා ඇත. ඒවායෙන් පූර්ණව පෙනීම නොලැබුව ද ස්වභාවික වරණය ආලෝක සංවේදී අවයව තෝරා ගන්නට ඇත. සතුන් අතරේ ආලෝක සංවේදී ආදී අවයව ගැන පර්යේෂන කරන විද්‍යාඥයන් මෙම අදහස් පසුකාලයක සනාථ කර ඇත.
- ආගම හා පරිණාමය නොගැළපෙයි.
පරිණාමය වනාහි ජීවයේ සම්භවය පිළිබඳ සිද්ධාන්තයක් නොවන බව පැහැදිලි කිරීම වැදගත්ය. එය විශේෂයන් කාලයත් සමඟ විපර්යාසයට ලක් වන්නේ කෙසේද යන්න දක්වන සිද්ධාන්තයකි. බොහෝදෙනෙකු අදහස් කරනවාට පටහැනිව පරිණාමය සහ ප්‍රධාන ආගම් අතර ගැටුමක් නැත. කතෝලික ලබ්ධිය හා පරිණාමවාදය අතර නොගැලපීමක් නැතැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ මෑතක නැවත වරක් කියා සිටියහ. යහපත් ආගම් යහපත් විද්‍යාව සමග නිර්මාණශීලීව ක්‍රියා කළ යුතුය යි එංගලන්ත සභාවේ පූජකවරයෙකුවන මැල්කම් බ්‍රවුන් පවසයි.
The Conversation (Global Perspectives) හී පළවූ The five most common misunderstandings about evolution යන ලිපිය ඇසුරෙනි
“මීට පටහැනිව, සාපේක්ෂතාවාදය(theory of relativity) වැනි කරුණු සම්බන්ධයෙන් වැඩි දෙනෙකු මෙලෙස ප්‍රශ්න නගන්නේ නැත. විදු ලොව පරිණාමවාදය මුළුමනින්ම පිළිගෙන තිබියදී මේ ආකාරයට සාමාන්‍ය ජනතාව සැක සංකා පලකරන්නේ මන්දැයි සොයා බැලීමට අධ්‍යයන සිදු කර ඇත ද පැහැදිලි පිළිතුරක් සපයා ගැනීමට හැකි වී නැත.”
අම්මෝ ඒක නම් මාර අභිරහසක් තමා lol 🤣