ඔබ කවුද?
අප අවදිව සිටින විට එය තිබෙන බව අපට දැනේ. එමෙන්ම අප නින්දට ගිය විට බාගදා අපේ සිහිනවල යළි පෙනීයනට පරිදි වෙන්ටැති අපෙන් බැහැර වී යයි. එය, අපට අයිති, අප විසින් පාලනය කරනු ලබන සහ ඒ තුළින් අප ලෝකය සංජානනය කරන ශරීරයක් තුළ අප නැංගුරම්ලා සිටින්නේය යන හැඟීමයි. එය අපගේ මුල්ම මතකයන් වල සිට මේ මෙතන මේ දැන් හරහා කල්පිත අනාගතයක් කරා කාලය හරහා ඇදී යන පෞද්ගලික අනන්‍යතාව පිළිබඳ හැඟීමයි. එය මේ සියල්ල සංගත සමස්තයක් ලෙස බැඳ තැබූවකි. ඒ තමයි තමා (self) යන්න පිළිබඳ අපගේ හැඟීම.
තාම පිළිබඳ මේ සහජඥානය වෑයමකින් කළ යුතු නොවන එමෙන්ම මූලික, මානව අත්දැකීමකි. ‘තමා‘ පිළිබඳ ස්වභාවය ගැන සිතමින් මනුෂ්‍යයන් වෙහෙසෙන්නේ සහස්‍ර ගණනාවක් සිටමය. එය යථාර්ථයක්ද නැතිනම් මායාවක්ද? ඉතින්, එය යථාර්ථයක් නම් එය කුමක්ද? අප එය සොයාගන්නේ කොයිබින්ද? විවිධ වූ දාර්ශනික සම්ප්‍රදායන් එකිනෙකට අත්‍යන්තයෙන් වෙනස් නිගමනවලට එළඹ සිටී. එක අන්තයක, ‘තමා‘ යන්න නොමැති බෞද්ධ සංකල්පයයි. ඊට අනුව ඔබ හුදෙක් සිතිවිලි හා සංවේදන වල අස්ථිර එකතුවකි. අනෙක් අන්තයේ ඇත්තේ, මොළය සමග අන්තර් ක්‍රියා කරන සහ මොලය පාලනය කරන විසංයුක්ත වූ ක්ෂේත්‍රයක් හැටියට ‘තමා‘ පවතින්නේ යන අදහසයි. අනෙක් ඒවා කෙසේ වෙතත් නූතන විද්‍යාව බුද්ධාගම කෙරෙහි නැඹුරු වෙමින් පවතී. අප ගැන අපට තිබෙන හැඟීම ස්වයංභූ ශක්තියෙන් හෙබි ස්ථිතියක් නොව මොළයේ පොදු කාර්ය ක්‍රියාදාමයන් හරහා ඉස්මතු වන්නකි.
ශාරීරික හා මනෝවිද්‍යාත්මක සාධක
අප කවුද යන්න පිළිබඳව අපගේ අදහස පදනම්ව ඇත්තේ ඇතැම් මූලික රැහැන් පට මතය. ඉන් එකක් තමයි අපට ශාරීරිකව තමන් කමක් ඇත යන්න — අප ශරීරය තුළ වාසය කරන මේ තමන්කම තමයි අපගේ පුද්ගල නිහ්ශ්‍රිත අවබෝධයේ වාසස්ථානය. අපට කැඩපතක් හෝ ඡායාරූපයක් තුළින් අපවම හඳුනාගත හැකිය. දෙවෙනි රැහැන් පටවන්නේ අපගේ මනෝවිද්‍යාත්මක තමන්කමයි. මෙය සමන්විත වන්නේ අපගේ පෞද්ගලික ගති ලක්ෂණවලින්, අපගේ මතකයන්ගෙන් සහ ලෝකය පිළිබඳ අපගේ සුවිශේෂී පර්යාලෝකයෙනි. මේ රැහැන් එකට යා කරනු ලබන්නේ මැදිහත්වීම පිළිබඳ අපගේ හැඟීම එනම් අපේ ක්‍රියාකාරකම් පිළිබඳ අපගේ අවබෝධය මගිනුයි. මෙය ශාරීරික ‘තමා’ ගේ ක්‍රියාකාරකම් මනෝවිද්‍යාත්මක ‘තමා’ ගේ ක්‍රියාකාරකම් තමන් වෙත ආරෝපණය කරන්නේ අප කරන්නා වූ දේවල් පිළිබඳව මොළය පාලනයකින් සිටින බව දක්වමිනි. ස්නායු විද්‍යාඥයන්ට දැන් මේ රැහැන් පදනම් කරගෙන ඇති ඇතැම් ක්‍රියාකාරකම් නිශ්චිත කොට දක්වන්නට හැකියාව ලැබී ඇත. නිදසුනක් ලෙස තමා පිළිබඳ භෞතික හැඟීම මොළයෙහි ශංඛක පාර්ශ්වික බාහිකයේ හි (temporo-parietal cortex) කේන්ද්‍රගත වී ඇති බවක් පෙනේ. එය, ප්‍රතිමූර්තිමත් කිරීම පිළිබඳ හැඟීමක්, යම්කිසි සුවිශේෂී ශරීරයක යම් සුවිශේෂී තැනක ස්ථානගතව ඇත යන හැඟීමක් නිර්මාණය කරනු පිණිස ඔබගේ සංවේදන මගින් ලබාගන්නා තොරතුරු සමෝධානයකරයි.
කෙසේ වෙතත් වඩාත් පුළුල් චිත්‍රය දෙස බලන විට තමා යන්න ඉස්මත්තට ඒමට මොළයෙහි සුවිශේෂී තැනක් නැත. ඇත්තටම, තමා පිළිබඳ හැඟීමක් ඇතිවීම පිණිස අවශ්‍ය දේවල් වල ලයිස්තුවක් සකස් කරනා විට ඊට සම්බන්ධ නැති මොළයේ කිසිම කලාපයක් නොතිබෙන්නට පුළුවන. තමන් පිළිබඳ හැගීමක් ඇත්තටම මොලයේ කොටස් ගණනාවක් එකට වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතු වන්නක් බව පෙනී යයි.
සර්වත්‍රයි – අඥාතයි
එක් ආකෘතියක් දක්වන අන්දමට ‘තමා‘ යන්න ‘කැදැලිගත අනුක්‍රමාධිපත්‍යයකි’(‘nested hierarchy’). මින් දැක්වෙන්නේ තමා යන ඉහළ කාර්ය භාරයන් – නිදසුනක් ලෙස ආත්ම සංඥතාව(self-consciousness) රඳා පවතින්නේ අපගේ පරිසරය පිළිබඳව මූලික අවබෝධයක් වැනි පහල කාර්යභාරයන් මතය. එහෙයින් පරිණාමය වශයෙන් වඩාත්ම අලුත් මොළයේ කොටස වන මස්තිෂ්ක බාහිකයේ(cerebral cortex) ඉහළ කර්තව්‍යයන් සඳහා අපගේ උරග වංශික මොලයේ (‘reptilian brain’) වඩාත් ප්‍රකෘතිමය, සහජාසයානු ගත සහ චෛතසික කර්තව්‍යයන් අවශ්‍යවේ. පෙනී යන පරිදි නම්, තමා යන්න මොළය තුළ සෑම තැනකම තිබේ; නැතිනම් කොහෙත්ම නැත.
වඩා සියුම්ව සොයා බලන්නේ නම් තමන් යන්න ගැන තිබෙන අපගේ සාමාන්‍ය දැනුමෙන් මතුවන විශ්වාසය බොහොමයක් තේරුම් යන්නට පටන් ගනී.එක් මූලික විශ්වාසයක් වන්නේ අප වෙනස් නොවන්නේය, අප අවිච්චින්නය යන්නයි. මෙයින් කියවෙන්නේ අප සැමදා එක ලෙස ඉන්නවා යන්න නොව අද සිටින ‘මා’ මෙයට දශකයකට පෙර සිටි පුද්ගලයාමය, එමෙන්ම අනාගතයේදී ද එම පුද්ගලයාමය යන්නය. එහෙත් අපේ ජීවිත කාලය තුල අප අපගේ විශ්වාසයන්. ආකල්ප සහ මනෝභාවයන් වශයෙන් කොපමණ නම් විපර්යාසයන්ට ලක්වෙනවා ද? එක දවසක මහත් සේ කෝපාවිෂ්ඨව සිටින අප ඊළඟ දවසේ සන්තුෂ්ටියෙන්, ශාන්තියෙන් ගත කිරීමට පුළුවන. එහෙත් මේ අවස්ථා දෙකම අත්විඳින්නේ එකම ‘තමා’ය.
ඇත්ත වශයෙන්ම අපව විග්‍රහ කරන දේවල් ලෙස අප සිතන බොහෝ දේ — සිංහල බස කතා කරන්නෙකු ය, චොකලට් කන්න ආශා කරන්නෙකුය, උද්‍යෝගිමත් ගතියෙන් හෝ දැනුවත් බවින් පවා යුතුය — ආදී බොහෝ දේ පවා වෙනස් වීමට හැකි තත්ත්වයන්ය. එසේ වුවද ඒවා ඉවත් වීම (නිදසුන:චොක්ලට් කන්න දැන් කැමති නෑ) අපගේ ස්වභාවයෙහි මූලික හරය කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. එසේ නම් මේ සා නොවැදගත් ‘තමා‘ යන්න සඳහා අපේ ජීවිතයේ කේන්ද්‍රීය තත්ත්වයක් ලබාදෙන්නේ මන්දැයි යන්න පැහැදිලි නැති බවට පත්වේ.
ස්වයංභාවයෙහි අක්‍රමතා
කෙලෙසිය නොහැකි යයි අප අදහස් කරන මේ ස්ථිතිය, එසේ නොවන බව මානසික රෝගාබාධ පෙන්වා දෙයි. නිදසුනක් ලෙස ගතහොත් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙළෙන අය ඇතැම් විට වෙන කවුරුන් හෝ වෙන යමක් මගින් තම මොළයට අත්දැකීම් සහ සිතුවිලි පටවන්නේය(ඇතුල් කරන්නේය) යන මායාව දරති. ඇතැම් අර්ථයකින් මෙය ස්වයංභාවයේ අක්‍රමිකතාවයකි. මන්ද, මෙවැනි අය දේවල් සිදුකළද ඒවා තමන් සිදු කරන බවක් ඒ අයට හැඟී යන්නේ නැති හෙයිනි.
ළමයින් වශයෙන් වර්ධනය වෙමින්, වැඩිහිටියන් බවට පත්වෙමින් සහ මහලු වියට එළඹෙමින් යනුවෙන් අප, අප ගැනම පරෙස්සෙමින් ස්වයංචරිත පදනම් කරගත් මතක බැංකුවක් තුළින් ගොඩනගා ගන්නා ආඛ්‍යානය පවා දෝෂයන්ට නැඹුරුය. අතීතයෙන් යම් උපඛ්‍යානයක් හෙවත් සිද්ධියක් නැවත අප මතක්කරනා හැම වාරයක්ම පාසා අපට විස්තර වෙනස් ආකාරයකට මතක සිටින නිසාවෙන් අපවම වෙනස් කර ගන්නා බව අධ්‍යයන පෙන්නුම් කරයි.
ඉතින්, නියතතාව හා ස්ථාවරතාව පෙන්නුම් කළේ වී නමුත් නිරන්තරයෙන් ‘තමා’ යන්න විපර්යාසයට ලක්වේ. මීට වෙනස් ආකාරයක් යයි අප සිතන්නට ඇති එකම හේතුව අපේ ඇස්වලට වැලි ගැසීම, මොළය විසින් කදිමට සිදුකරනු ලැබීමයි. එහෙයින් තමා යනුවෙන් දෙයක් නැතැයි කියා සිටීමට පවා ඇතැම් චින්තකයෝ පෙළඹෙති. ‘තමා‘ යන්න හුදු මායාවකි.