සත්‍යය යනුවෙන් යමක් පවතීද?
සංකීර්ණ ලෝකයක් තුළින් සරලතාව මතුකර ගැනීම මාර්ගයෙන් විද්‍යාව පිළිබඳ ප්ලේටෝනික පරමාදර්ශය(Platonic ideal of science) අප සත්‍යය වෙත අප කැඳවාගෙන යන්නේය යයි අප පිළිගන්නේ නම් ඇත්තටම කුරිරු යථාර්ථය වන්නේ එම පරමාදර්ශය බොහෝ විට සමත් වන්නේ පවතින පටලැවිල්ලට තව තවත් පටලැවිලි එකතු කිරීමට සහ ගොඩ ඒමක් නැති අඳුරු ආගාධයකට අපව තල්ලු කිරීමට පමණකි.
හැබැයි ඉතින් මෙය විද්‍යාවේ දෝෂයක් හෝ වරදක් නොවේ. ලෝකය සංකීර්ණය. සමකාලීන විද්‍යා හා තාක්ෂණ අතරේ දැකිය හැකි අසීරු සංකල්ප මේ සංකීර්ණතාව ගැන යම් අවබෝධයක් ගෙන එයි.(මේ අසීරු සංකල්ප අතරේ කිහිපයක් ලෙස ක්වොන්ටොම් අවිනිශ්චිතතාව (QUANTUM UNCERTAINTY), පරිණාමය, තොරතුරු(INFORMATION), මමායනය(THE SELF), විශේෂයන්(SPECIES), මහා පිපිරුම් අපූර්වතාව(THE BIG BANG), පෞද්ගලිකත්වය, බුද්ධිය, නෂ්ටප්‍රාප්තිය, පරාර්ථකාමිත්වය, බුද්ධිය, බැහැරි ජීවය, ස්වභාවයට සංසන්දනාත්මකව හදාවඩා ගැනීම, අඥාත ශක්තිය ආදිය දැක්විය හක). සරලතාව කෙරෙහි වැඩි යොමු කිරීමක් සිදු කිරීමට මෙන්ම විශ්වව්‍යාපී වලංගුතාවයකින් හෙබි මූලික ප්‍රකාශ ලෙස ලඝු කිරීමට වැඩිම නැඹුරුතාවක් දක්වන භෞතික විද්‍යාව පවා පොදු අවබෝධය හෙවත් තේරුම් ගැනීම අභිබවා යන අදහස් සීඝ්‍රයෙන් හඳුන්වා දෙයි.
“සැබෑ අවුල ඇති වන්නේ අප ජීවිතයේ සංකීර්ණතා සහ එහිම දිගුවක් ලෙස අප ගැනමත් අවබෝධ කරගැනීමට උත්සාහකර බැලීමේදීය”
කෙසේවෙතත්, අඩුම තරමින් ගතහොත් එම අසීරු සංකල්ප අපගේ අවබෝධයට අභියෝගයන් පමණකි — විද්යාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති අන්තරීක්ෂ අභිරහස්ය. මේවා පිළිබඳ තව තවත් විද්‍යාත්මක ගවේෂණ සිදු කිරීමෙන් අපට තව තවත් ප්‍රතිවේදයන්, අන්තර්දෘෂ්ටීන් අත්පත් කර ගත හැක. එහෙත් සැබෑ අවුල ඇති වන්නේ අප ජීවිතයේ සංකීර්ණතා සහ එහිම දිගුවක් ලෙස අප ගැනමත් අවබෝධ කරගැනීමට උත්සාහකර බැලීමේදීය.
සජීවී ලෝකය පිළිබඳ බොහොමයක් කාරණා අවබෝධ කර ගැනීමේ ලා පරිණාමය සරල එහෙත් බලගතු රාමුවක් සපයා දෙයි. එහෙත්, එහි සරලභාවය තුළම එය ව්‍යාජ අර්ථදැක්වීම්වලට, වැරදි නිරූපණයන්ට ලක්වීමේ නැඹුරුතාවක් දක්වයි. මේ අතර අපේ අවබෝධයට ආධාර පිණිස ඒ පරිණාමය මත අප ගොඩනගන සංකල්පවල — විශේෂ (species), බුද්ධිය, ‘තමා’ යන්න(the self) හෙවත් මාමායනය ස්වභාව ධර්මයේ ශක්තිය සමග සංසන්දනාත්මකව හදාවඩා ගැනීමේ බලය ආදී සංකල්පවල — දැඩි දෝෂ ගැබ්ව ඇති බව හෙළිවෙයි.
“සත්‍යයට ළංවීමට ගන්නා නිරන්තර උත්සාහය හැරුණු විට විද්‍යාත්මක සත්‍යය යනුවෙන් දෙයක් නොමැත”
නූතන විද්‍යාත්මක ගවේෂණයේ ප්‍රථම රැල්ල මත සිටගෙන ඉමැනුවෙල් කාන්ට් දාර්ශනිකයා අදහසක් ඉදිරිපත් කළේය: එනම්, පවතින ආකාරයට පවතින ලෝකයක් ඇත, එමෙන්ම අප වෙතම අප එය නියෝජනයෙන් දක්වන ලෝකයක් ද ඇතත් ඒ දෙක අතර පොදු දේ බොහොමයක් ඇතැයි අප අවශ්‍යයෙන්ම උපකල්පනය කළ යුතු නැත යන්නය. මෙයින් අදහස් කෙරෙන්නේ ලෝකය වර්ගීකරණය සඳහා වන හිතකර ප්‍රයත්න නතර කළ යුතුය යන්න නොවේ. එහෙත් ලෝකය වර්ගීකරණය සඳහා අප දරන එවැනි ප්‍රයත්නවලට ප්‍රතිරෝධය දැක්වීමට ඉඩ ඇතැයි යන්න අවබෝධ කරගත යුතුය යන්න පමණකි.
විද්‍යාත්මක සත්‍යය යන්න ගමු. විද්‍යාත්මක සංකල්ප බලගතුය; එහෙත් එසේ බලගතු වන්නේ ඒවා ප්‍රශ්න කිරීමට, පිරිපහදුකිරීමට සහ අවශ්‍ය නම් ඒවා බැහැර කර දැමීමට අප තුළ ඇති අඛණ්ඩ ආශාව බලගතු වන තරමටය.
New Scientist International(14-12-2019) හී පළවූ The truth isn’t out there යන ලිපිය ඇසුරෙනි