ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි ලෝකය වනසන්න පටන්ගත්තේ කෙලෙස ද?
ලියෝ සිලාඩ්ට (LEO SZILARD) ඒ අදහස පහළවුණේ ලන්ඩන් නගරයේ රසල් චතුරස්‍රය (RUSSELL SQUARE) ළඟ පාරක් පනින්න සූදානමින් ඉන්න අතරතුරේ. ඒ 1933 වසරේ සැප්තැම්බර් 12 වෙනිදා. එයින් අවුරුදු දොළහක් ගෙවෙන්න ටික කළකට මත්තෙන් ඇමරිකාව හිරෝෂිමාවට එල්ලකළ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 135,000කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.
සිලාඩ්ගේ අදහස සැබෑවක් වූ ඒ බියකරු සිදුවීම දක්වා ගමන් මග වැටී තිබුණේ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ඉතිහාසයේ සුවිශේෂීම යුගයන් හරහායි. අසාමාන්‍ය චරිත කිහිපයක් මේ නාටකයේදී මුණගැසෙනවා. ඒ අතරින් බහුතරයක් ෆැසිස්ට්වාදීන්ගේ ක්‍රියාකලාපය නිසා සරණාගතයන් බවට පත්වුණු, බෝම්බ නිපදවීම ඔවුන්ගේ හෘද සාක්ෂ්‍යයට පටහැනි වුණත්, ඔවුන්නාසිවාදී ජර්මනිය මුලින්ම ඒ පියවර තැබුවොත් ඇතිවන අවදානම වලක්වාගන්න කටයුතුකළ අයයි.
අප කලින් සඳහන් කළ සිලාඩ් ද, ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත්වීමෙන් මාස දෙකක් ගෙවීයද්දී ජර්මනියෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වුණු හංගේරියානු සම්භවයක් ඇති යුදෙව් ජාතිකයෙක්. ඔහු සංක්‍රමණය වුණේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව අතින් එවකට ඉදිරියෙන්ම සිටි රටකටයි. ජේම්ස් චැඩ්වික් (James Chadwick) නියුට්‍රෝනය සොයාගත්තේ ඒ ආසන්නයෙදී. ඊට වැඩි කලකට මත්තෙන් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයන් පිරිසක් “පරමාණුවක් පැළීමට” සමත්වුණා. ඔවුන් ප්‍රෝටෝන(protons) සමග විවර්ෂණය කිරීම මගින් ලිතියම් න්‍යෂ්ටියක් (lithium nucleus) බිඳහෙළමින් බර සහ ශක්තිය අතර සබඳතාවක් ඇති බවට (E = ම්ශ්2) අයින්ස්ටයින් ගෙන ආ මතය සනාථ කළා.
සිලාඩ්ගේ ජයග්‍රාහී මොහොත උදාවුණේ නව මං විවර කළ මේ පර්යේෂණයේ ප්‍රතිඵල මතයි. නියුට්‍රෝන (neutrons) මගින් විවර්ෂණය වීමෙන් තවත් නියුට්‍රෝන දෙකක් හෝ වැඩි ගණනක් විමෝචනය කළ හැකි පරමාණුවක් ඇත්නම් එම මූලවයේ ස්කන්ධයක් මගින් ස්වයංසිද්ධ දාම ප්‍රතික්‍රියාවක්(self-sustaining chain reaction) හරහා විශාල ශක්ති ප්‍රමාණයක් විමෝචනය කරනු ලබන්නේ යයි ඔහු තර්ක කළා.
සිලාඩ් එම මතය ඉදිරිපත් කළත් ඒ තරම් සාර්ථකව ඉදිරියට ගමන් කළේ නැහැ. සංකල්පය යථාර්ථයක් වුණේ 1938 වසරේදී- උත්ප්‍රාසාත්මකම සිදුවීම වන්නේ ඒ පර්යේෂණය සිදුවුණේ නට්සීන්ගේ අගනුවර වුණු බර්ලින් නුවරදී වීමයි. ඒ ඔටෝ හාන් (Otto Hahn) සහ ෆ්‍රිට්ස් ස්ට්‍රැස්මාන් (Fritz Strassmann) යුරේනියම් (uranium) පරමාණු නියුට්‍රෝන මගින් විවර්ෂණයට ලක්කිරීමෙන් අනතුරුවයි. පර්යේෂණයෙන් පසුව ඉතිරිවුණු සුනබුන් ඔවුන් විශ්ලේෂණය කරද්දී ඒ අතරින් යුරේනියම්වලට සාපේක්ෂව පරමාණුක ස්කන්ධයෙන් අවම අගයක් ගන්නා මූලද්‍රව්‍යයක් වන බේරියම් (barium) ස්වල්පයක් හමුවීම නිසා මවිතයට පත්වුණා.
දාම ප්‍රතික්‍රියාව
වාසනාවට හාන් සහ ස්ට්‍රැස්මාන් දෙපළ ක්‍රියාකළේ නට්සි රෙජීමයට එරෙහිවයි. හාන් ඔහු සමග කලක් එක්ව පර්යේෂණවල නිරතව සිට, 1938දී නට්සීන් වියානාව අත්පත්කරගැනීමත් සමග ස්වීඩනයට පලාගිය ඕස්ට්‍රියානු ජාතික විද්‍යාඥවරියක වූ ලීස් මේටිනර් (Lise Meitner) ලිපියක් යැව්වා. මේටිනර් යුරේනියම් පරමාණුවේ න්‍යෂ්ටිය (uranium nucleus) දළ වශයෙන් සමාන කොටස් දෙකකට බෙදී වෙන් වෙන බව පැහැදිලි කරමින් පිළිතුරක් එව්වා. ඇය එම ක්‍රියාවලිය හඳුන්වන්න යොදාගත්තේ විඛණ්ඩනය (‘fission’) නමින්.
ප්‍රහේලිකාවේ ඉතිරි කොටස විසදන්න මුල්වෙන්නේ ඉතාලි ජාතික භෞතිකවිද්‍යාඥයෙක්. ඔහුගේ දායකත්වය සහ ලෝකය විනාශකිරීමේ විභවය සහිත බෝම්බ නිපදවීම දක්වා ගමන ගැන හෙට(12 ඉරිදා) තවදුරටත් කතා කරමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE BECOME THE DESTROYER OF WORLDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.