සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 50: අපි ලෝකය වනසන්න පටන්ගත්තේ කෙලෙස ද? II කොටස

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

අදාළ රූපය

අපි ලෝකය වනසන්න පටන්ගත්තේ කෙලෙස ද? II කොටස

දාම ප්‍රතික්‍රියාව

වාසනාවට හාන් සහ ස්ට්‍රැස්මාන් දෙපළ ක්‍රියාකළේ නාසි රෙජීමයට එරෙහිවයි. හාන් ඔහු සමග කලක් එක්ව පර්යේෂණවල නිරත වී 1938දී නාසින් වියානාව (Vienna) අත්පත්කරගැනීමත් සමග ස්වීඩනයට පලාගිය ඕස්ට්‍රියානු ජාතික විද්‍යාඥවරියක වූ  ලීස් ම්ටිනර්ට (Lise Meitner) ලිපියක් යැව්වා. මේටිනර් යුරේනියම් පරමාණුවේ න්‍යෂ්ටිය (Nucleus) දල වශයෙන් සමාන කොටස් දෙකකට බෙදී වෙන් වෙන බව පැහැදිලි කරමින් පිළිතුරක් එව්වා. ඇය එම ක්‍රියාවලිය හඳුන්වන්න යොදාගත්තේ විකණ්ඩනය (fission) නමින්.

මේ ප්‍රහේලිකාවේ ඊළඟ කොටස හමුවුණේ ෆැසිසිට්වාදයේ ග්‍රහණයෙන් මිදී නිව් යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටි ඉතාලි ජාතික භෞතික විද්‍යඥයකු වන එන්රිකෝ ෆර්මි (Enrico Fermi) යුරේනියම් විඛණ්ඩනයෙන් දාම ප්‍රතික්‍රියාවට අවශ්‍ය ද්විතීක නියුට්‍රෝන නිකුත් වන බව සොයාගැනීමෙන් අනතුරුවයි. කෙටි කලකින්ම සිලාඩ් නිව් යෝක් නගරයට පැමිණ ෆර්මි හා හවුල් වුණා. යුරේනියම් කිලෝග්‍රෑමයකින්  TNT මෙට්‍රික් ටොන් 20,000කින් නිකුත් කරන තරම් ශක්තිය නිකුත් කළ හැකි බව ඔවුන් ගණන් බැලුවා. අනාගතයේ න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදනමක් ඇති බව සිලාඩ් කල්තියාම දුටුවා. “ලෝකය ඒ අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණපා සිටින බවට මගේ හිතේ නම් කිසිදු සැකයක් තිබුණේ නැහැ,” ඔහු පසු කාලයකදී අතීතය සිහිපත් කරමින් පැවසුවා.

ඔහුට සැකයක් නොතිබුණාට,  ඒ ගැන සැක පළ කළ අයත් ඕනෑ තරම් සිටියා.  ඩෙන්මාක් ජාතික භෞතික විද්‍යඥයෙකු වූ නීල්ස් බෝ (Niels Bohr) (ඔහු ඒ වකවානුවේදී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයන් රැසකට කොපන්හේගන් නගරය (Cඔපෙන්හගෙන්) හරහා පළා යන්න උපකාර කළ අයෙක්) 1939දී  ඒ මතය අධෛර්‍යමත් කළා. ස්වාභාවික යුරේනියම්වලින් සියයට 99.3කම අඩංගු යුරේනියම් -238 සමස්ථානික පරමාණුවලට (isotope) නියුට්‍රෝන නිකුත් කිරීමේ හැකියාව නොමැති බවත්, අපේක්ෂිත ආකාරයෙන් බිඳී යන්නේ යුරේනියම් -235 පරමාණු පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

නමුත් දාම ප්‍රතික්‍රියාව ප්‍රායෝගිකව කළ හැකි බව සිලාඩ් විශ්වාස කළා වගේම නට්සිවාදීනුත් ඒ බව දන්නවා ඇතැයි බියකින් පසුවුණා. ඔහු ඔහුගේ මිතුරු හංගේරියානු සංක්‍රමණිකයන් වූ එයුජින් විග්නර් (Eugene Wigner) සහ එඩ්වඩ් ටෙලර් දෙපළගේ මතය විමසුවා. මේ අවදානම ගැන ජනපති රූස්වෙල්ට්ට  දැනුම් දෙන්න සුදුසුම පුද්ගලයා අයින්ස්ටයින් බව ඔවුන් සියලුදෙනාම පිළිගත්තා. යුද්ධය යුරෝපයෙන් ඇවිලෙද්දීම අයින්ස්ටයින්ගේ සුප්‍රකට ලිපිය ජනපතිට ලැබුණත් එයින් ප්‍රතිඵලයක් අත්නොවූ තරම්.

1940දී මේ සමස්ත ක්‍රියාවලියම විශාල වෙනසකට භාජනය වුණේ එක්සත් රාජධානියේ සේවය කරපු විද්‍යාඥයන් දෙදෙනෙක් බෝගේ මතය සාවද්‍ය බව ඔප්පු කර පෙන්වා ඇති බවට ආරංචි පැතිර යාමත් සමගයි. රුඩොල්ෆ් පියර්ල්ස්(Rudolf Peierls) සහ ඔට්ටෝ ෆ්‍රිෂ් (Otto Frisch) කියන විද්‍යාඥයන් යුරේනියම් -235 මහා පරිමාණයෙන් නිපදවන ආකාරයත්, ඒවා යොදාගෙන දැවැන්ත බෝම්බයක් නිපදවන ක්‍රමයත්, එවැන්නකින් ඇතිවිය හැකි දරුණු ප්‍රතිඵල  ගැනත් අවබෝධයක් ලබාගෙන සිටියා. බෝගේ උපකාර ඇතිව පළා ආ විද්‍යාඥයන් දෙපළක් වූ පියර්ල්ස් සහ ෆ්‍රිෂ්, නට්සින් එවැනි බෝම්බයක් අත්පත් කරගත්තොත් ඇතිවිය හැකි විනාශය ගැන දැඩි බියකින් පසුවුණා. ඒ වසරේම මාර්තු දාසයේදී ඔවුන් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය රජය වෙත ලිපියක් යැව්වා. ඔවුන්ගේ “විකිරණශීලී සුපිරි බෝම්බය පිළිබඳ සංදේශයක්” (Memorandum on the Properties of a Radioactive “Super-Bomb”)අයින්ස්ටයින් රූස්වෙල්ට් වෙත ලියූ ලිපියට වඩා ඉක්මන් ප්‍රතිඵල ගෙන ආවා. ‘Tube Alloys’ කියන අනවර්ත නාමයෙන් හැඳින්වුණු බ්‍රිතාන්‍යයේ බෝම්බ ව්‍යාපෘතිය ආරම්භ වුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි.

අදාළ රූපය

මේ ලිපිය නිසා ඇමරිකානු රජයත් ඉක්මන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. 1940 වසරේ අප්‍රියෙල් මාසයේදී ඇමරිකානු රජය පසුකාලීනව මැන්හැටන් ව්යාපෘතිය (Manhattan Project) බවට පත්වුණු න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියේ නායකත්වයට ජේෂ්‍යඨ භෞතික විද්යාඥ ආතර් කොම්ප්ටන්ව  පත්කළා. තැන තැන විසිරී සිටි, දාම ප්‍රතික්‍රියා පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායම් චිකාගෝවලදී එක වහලක් යටට රැස්කිරීම ඔහුගේ මුල්ම පියවරවල් අතරින් එකක්.

ඒ වසරේ ගිම්හානයේදී පර්යේෂණ කණ්ඩායම දාම ප්‍රතික්‍රියාව  යථාර්ථයක් බවට පත් කිරීමට අදාල පර්යේෂණ මාලාවක් ඇරඹුවා. 1941 වසරේ දෙසැම්බර් මාසයේදී පර්ල් වරායට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වුණා. එයින් වසරකට පසුව මැන්හැටන් ව්යාපෘතියට සම්බන්ධ පර්යේෂණ කණ්ඩායම චිකාගෝ විශ්ව විද්යාලයේ පාපන්දු ක්‍රීඩාංගනයේ ස්ක්වොෂ් ක්රීඩාපිටියේ ආසන මණ්ඩපයේ ගොඩගැසූ ග්රැෆයිට් (ග්‍රඵිටෙ) සහ යුරේනියම් ගොඩක් යොදාගෙන දාම ප්‍රතික්‍රියාවට මුලපුරන්න උත්සහ කළා. 1942 වසරේ දෙසැම්බර් මස දෙවනදා වූ බදාදා දවසේ ඔවුනගේ උත්සහය සාර්ථක වුණා.

manhatton project Wednesday, 2 December 1942, සඳහා පින්තුර ප්‍රතිඵල

අඳුරු දවසක්

මේ ජයග්‍රහණය උද්දාමයකින් සැමරුණේ නම් නැහැ.  ප්‍රතික්‍රියාව සාර්ථක බව සනාථවීමත් සමග සිලාඩ් ෆර්මිට අතට අත දී කියාසිටියේ ‘අද දිනය මිනිස් ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස ඉතිහාසගතවනු ඇති’ බවයි.

ඊළඟ වසර හතරේදී ඇමරිකාව, එක්සත් රාජධානිය සහ කැනඩාව මැන්හැටන් ව්‍යාපෘතිය වෙනුවෙන් මහා පරිමාණයෙන් වියහියදම් කළා. Tube Alloys ව්‍යාපෘතිය ද තව කෙටි කලක් ක්‍රියාත්මක වුණත් එය කෙටි කලකින්ම ඇමරිකානු ව්‍යාපෘතියේ කොටසක් වී යටපත්ව ගියා.

1945 ජූලි මස 16වෙනිදා ඇමරිකාව ලොව මුල්ම පරමාණු බෝම්බය නිව් මෙක්සිකෝ කාන්තාරයට මුදාහැරියා. ඒ පර්යේෂණය න්‍යෂ්ටික බලශක්තිය අවිආයුධ සඳහා යොදාගත හැකි බව තහවුරු කළ අවසාන සාක්ෂිය නිසා රොබට් ඕපන්හෙයිමර්ට (Robert Oppenheimer) භගවත් ගීතාවේ සඳහන් වුණු වගන්තියක් සිහිපත් වුණා: “මම මාරයාද, ලොව විනාශ කරන්නාද වෙමි”.

ජපානයට එල්ලවූ ප්‍රහාරය ලොව පුරා රටවල් අතර ආයුධ පිළිබඳ  තරගයකට මුලපිරුවා. 1945දීම ඇමරිකාව විඛණ්ඩනය(fission) වෙනුවට විලයනය (fusion) ඔස්සේ ක්‍රියාත්මක වන විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බ නිෂ්පාදනය කළා. 1949දී සෝවියට් රජයත් ඔවුන්ගේ බෝම්බ අත්හදාබැලුවා. ලෝකයේ වත්මන් න්‍යෂ්ටික බෝම්බ ප්‍රමාණය 27,000ක්.

හුඹස් බියක් බිහි කළ විනාශකාරී බෝම්බ

අදාළ රූපය

මැන්හැටන් ව්‍යාපෘතිය දියත් වුණේ නට්සීන් බෝම්බ සෑදීමේ තරගයෙන් ජය ලබයි කියන බිය මත පදනම්වයි. නමුත් එය කිසිදාක සිදුනොවන්නක් බව බව අපි දැන් දනිමු. 1945දී ජර්මනිය යටත් වීමෙන් පසුව එරටේ ඉදිරියෙන්ම සිටි පරමාණුක භෞතික විද්‍යාඥයන් 10 දෙනෙක්ව කේම්බ්‍රිජ් ආසන්නයේ පිහිටි බංගලාවක රඳවාගත්තා. නිවසේ කුටිවල රහස් ඔත්තු සපයා ගැනීමට යොදා ගන්නා උපාංග සවිකොට තිබුණා. ඒවායින් හෙළිදරව් වුණේ ජර්මානුවන් පරමාණු බෝම්බයක් නිපදවීමේ හැකියාව අතින් අහළකවත් නොසිටි බව සහ එය කළ හැක්කක් බව ඔවුන් තුළ විශ්වාසයක්වත් නොතිබුණු බවයි.

 

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE BECOME THE DESTROYER OF WORLDS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: