චන්ද්‍රයා අඟහරු සහ ඔබ්බට….. 2020 අභ්‍යවකාශ තරණය

Posted by

චන්ද්‍රයා අඟහරු සහ ඔබ්බට….. 2020 අභ්‍යවකාශ තරණය

අභ්‍යවකාශ තරණය සඳහා 1960 දශකයේ දැක්වූ අන්දමේ උද්යෝගයක් උනන්දුවක් යළි දැල් වී තිබෙණු ගෝලීය වශයෙන් දකින්නට පුළුවන්. මේ වසරේ දියත් කිරීමට නියමිත අභ්‍යවකාශ චාරිකා පිළිබඳවයි මේ සටහන.

1960 ගණන් වල එකල සෝවියට් දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැති තරගකාරීත්වය අභ්‍යවකාශය දක්වා පැතිර ගිය බව කිසිවෙකුටත් රහසක් නොවේ. එක පිට එක අභ්‍යවකාශ මෙහෙයුම් ගැන එකල අසන්නට ලැබිණි. ඒත් එකල මේ තරගයට එක්ව සිටියේ එම රටවල් දෙක පමණයි. එදා මෙදාතුර ඊට තවත් රටවල් එක්ව ඇති අතර 2020 වසර 1960 දශකය සිහි කරන තරමට අභ්‍යවකාශකරණ සැලසුම් කර ඇති බව වාර්තා වේ. මේවා විවිධ අරමුණු සහ විවිධ ස්වරූප ගැනීමත් විශේෂත්වයක්. ඔන්න දැන් මානව වර්ගයා යළිත් වරක් ජව සම්පන්නව අභ්‍යවකාශ තරණයට පිවිසිලා. වැඩි අවධානය යළිත් චන්ද්‍රයා වෙතටයි.

ඉලක්කය චන්ද්‍රයා

මෙයට දශක කිහිපයකට පෙර සෝවියට් දේශය හා ඇමරිකාව ගිය මඟ යමින් පෘථිවිය වෙත සඳෙහි පස් ආපසු ගෙන්වා ගැනීමට සමත් තුන් වන රට බවට පත්වීමට මේ වසරේදී චීනය උත්සාහ දරනු ඇත. 2020 අග චීනයේ හයිනෑන්හි, වෙන්චෑංග් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් චෑංග් 5(Chang 5) රොබෝ මෙහෙයුම දියත් කිරීමට නියමිතයි. චිනයේ චන්ද්‍ර දේවතාවියගේ නමින් නම්කර ඇති මෙම ව්‍යාපෘතියෙහි පරමාර්ථය චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් දෙකක් පමණ සඳෙන් එකතු කරගෙන ආපසු පෘථිවිය වෙත ළඟා වීමයි.  චන්ද්‍රයා වටා කක්ෂගතව තිබෙන යානයක සිට සඳ මතට යැවෙන ගොඩබැස්වීමේ රොබෝ යානා මගින් ලබාගන්නා සඳ පස් කැප්සියුලයක බහා ආපසු පෘථිවිය වෙත එවනු ඇත. චීනයේ මෙවර උත්සාහය 1976 දී සෝවියට් දේශයේ ලූනා 24(Luna 24) මගින්  චන්ද්‍ර පාෂාණ ලබා ගත්තාට වඩා බෙහෙවින් සංකීර්ණ ක්‍රියා දාමයකි.   නුදුරු අනාගතයේ දීම සඳ මතට මිනිසකු ගොඩ බැස්වීම සඳහා දැරිමට නියමිත මෙහෙයුමක පෙරහුරුවක් ලෙස මෙම සංකීර්ණ ක්‍රියාදාමය අත්හදා බලනවා විය හැකි යැයි බොහෝ දෙනා විශ්වාස කරති.

හැබැයි ඉතින් ඇමරිකාවේ විද්‍යාඥයන් ද එරට මිනිසුන් රහිත අර්ටෙමිස් (Artemis) වැඩසටහන් පරීක්ෂණ චාරිකාව කොටසක් ලෙස චන්ද්‍රයා වෙත මෙහෙයුමක් සැලසුම් කර තිබේ. ඒත් ඒ ලබන වසරේ අගයි. තව කල් තිබෙන නිසා ඒ ගැන තව තව විස්තර අපට දැනගන්න පුළුවන් වේවි. මේ මුල් මෙහෙයුම මිනිසුන් රහිත එකක්වුවත් මේ මෙහෙයුම් අවසානය ඉලක්කය 2024 වනවිට “ප්‍රථම වතාවට ස්ත්‍රියත් සහ ඊළඟ පුරුෂයාත්” සඳ මතුපිට ගොඩ ගැස්වීමයි.

තරඟයට ඉදිරිපත්වන තවත් රටක් තමයි අසල්වැසි ඉන්දියාව. අසාර්ථක වූ චන්ද්‍රයාන්2 මෙහෙයුමෙන් අපේක්ෂා කළ අරමුණ — එනම් සඳ මතට සෙමින් යානය ගොඩබැස්වීම — ඉටු කරගනු වස් මේ වසරේ සැප්තැම්බරයේ දී චන්ද්‍රයාන් 3 මෙහෙයුම දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වේ.

Chandrayaan 3

අහා…. අඟහරු!

සූර්යයාගේ සිට බැලුවොත් හතරවැනියට පිහිටි පාෂාණමය ‍ග්‍රහලෝකය වන රතු ග්‍රහයා– අඟහරු කවදටත් මේ ලෝකවාසීන්ගේ සැලකිල්ල යොමු වුන තැනක්. සාමාන්‍ය මිනිසුන් පමණක් නොවෙයි, සාහිත්‍යකරුවන්ගේ, විද්‍යා ප්‍රබන්ධ කරුවන්ගේ ඒ වගේම විද්‍යාඥයන්ගේ පවා අවධානය ඇද ගැනීමට සමත් වූ තැනක්. රතු ග්‍රහයා ගැන අභ්‍යවකාශ ගවේෂකයන්ගේ සැලකිල්ල ගැන නම් අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සැමට 2020 සුවිශේෂීතයි. ග්‍රහ පිහිටීම (අඟහරු සහ පෘථිවිය)  ගතහොත් මේ වසරේ ජූලි සහ අගෝස්තු මුල යානාවක් අඟහරුවෙත යැවීමට යෝග්‍යතම කාලය ලෙසයි සැලකෙන්නේ. 2020 දී නාසා ආයතනය සිදු කිරීමට නියමිත සිය අඟහරු  රෝවර් යානා මෙහෙයුමට මේ ග්‍රහ යෝගය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි. අඟහරු යනු කලක් ජලය ගලා ගිය, ජීවය හටගැනීමට ඉඩ තිබුණු තැනක් යන්න ගැන සාක්ෂි සොයා ගැනීමට මෙම වැඩසටහන තුළින් නාසා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ආදිකාලීන ක්ෂුද්‍ර ජීවි, ජීවය ගැන ද මෙමගින් සොයා බැලේ.

දශකයක් තිස්සේ ක්‍රියාත්මකවන,  බෙහෙවින් බලාපොරොත්තු තබා සිටින අඟහරු ගවේෂණ වැඩසටහනක ආරම්භය ද අඟහරු 2020(Mars 2020) මෙහෙයුම මගින් සනිටුහන් කරනු ලැබේ. වැඩසටහනෙහි අරමුණු වලට යෝග්‍යතම පාෂාණ තෝරා ඒවා විදීමෙන් පසුව එම සාම්පල ලෝහ නළවල බහා සීල් තැබීමෙන් අනතුරුව අඟහරු ග්‍රහයා මතුපිට නියමිත ස්ථානවල තැබේ. ඒවා පසුව 2030 වර්ෂයේදී පමණ අනාගත යුරෝපා එක්සත් ජනපද මෙහෙයුම් මගින් ආපසු පෘථිවිය වෙත ගෙන එනු ඇත. අනතුරුව මෙලෙස ගෙන එන ග්‍රෑම් 500ක් පමණ ලොවපුරා රසායනාගාරවල පරීක්ෂාව සඳහා යොමු කෙරෙන අතර එමඟින් අඟහරු ග්‍රහයා පිළිබඳ අපේ දැනුම පරිවර්තනයකට ලක් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙයට අමතරව යුරෝපය ද මේ වසරේදී රොබෝ රොවෙර් යානයක් අඟහරු වෙත යැවීමට නියමිතය. රුසියානු ප්‍රෝටෝන  රොකට්ටුවක් උපයෝගී කරගෙන, ජූලි අග හෝ අගෝස්තු මුල සාපේක්ෂව කුඩා රොබෝ යානයක් අභ්‍යාවකාශ ගත කෙරෙනු ඇත.  මෙම රෝවර් යානය මගින්  අගහරු මතුපිට මීටර දෙකක් පමණ ඇතුලට විද ද්‍රව්‍ය ලබා ගන්නා අතර එම ද්‍රව්‍ය මගින් අඟහරු ග්‍රහයාගේ අතීතය සහ වර්තමානය පිළිබඳ තොරතුරු පවා හෙළි කරගත හැකි වෙතැයි අපේක්ෂාවයි.

මේ වසරේ අඟහරුවෙත  යන රටවල ලැයිස්තුව තාම අහවර නැත. මේ වසරේ ජූලි හෝ අගෝස්තු වල අඟහරුවෙත ගවේෂණ යානාවක් යැවීමේ අරමුණින් චීනය දැනටමත් එරට පාළු ප්‍රදේශයක පරීක්ෂණ පටන් ගෙන ඇත. හුවොක්ෂින්ග් 1 (Huoxing-1) යනුවෙන් නම් කර ඇති මෙය අඟහරු වටා කක්ෂගතව භ්‍රමණය වන යානාවක සිට අඟහරු මතුපිටට ගොඩබස්වන රෝවර් යානය කින් සමන්විතයි. මෙයට කලින් චීනය රුසියාව හා එක්ව මෙවැනි වෑයමක් 2012 ජනවාරියේ දැරූ නමුත් එය අසාර්ථක විය.

2020 අභ්‍යවකාශ තරණයට එක්වන  තවත් එක් රටක් එක්සත් අරාබි එමිර් රාජ්‍යය. මේ වසරේදී එම රටෙහි ප්‍රථම ගැඹුරු අභ්‍යවකාශ ගවේශනය – අඟහරු අපේක්ෂා මෙහෙයුම (Hope Mars Mission) දියත් කිරීමට නියමිතයි. කොලරාඩෝ සරසවිය සහ ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව සිදු කරන මෙම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ රතු ග්‍රහයා තදබල දේශගුණ විපර්යාසයන්ට කෙලෙස ලක් වී ද යන්න ගැන අවබෝධයක් ලබා ගැනීමටයි.

ග්‍රහක ගවේෂණ

2016 වසරේ දී නාසා ආයතනය දියත් කළ Osiris-Rex යානය දැන්  බෙනූ (Bennu) යනුවෙන් නම් කෙරුණු, විශ්කම්භය මීටර් 520ක් පමණවූ, ගෝලයක හැඩයට ළංවන කුඩා ග්‍රහකය වටා කක්ෂගතව ඇත. මෙම ගිම්හානයේදී රොබෝ හස්තයක් යොදාගනිමින් මෙම කාබන් ගහන ග්‍රහකයේ සාම්පල ලබා ගැනීමට නියමිතයි. ඒවා 2023 වන විට පෘථිවිය වෙත ලැබීමට ද නියමිතයි.

හැබැයි ග්‍රහකයක කොටස් මේ වසරේ දීම (වසර අගදී) පෘථිවියට ලැබීමට නියමිත බවත් වාර්තා වෙයි. ඒ ජපානයේ හයාබුසා 2 (Hayabusa2) මෙහෙයුම මගින්. 2018 ජූලියේදී මේ ගවේෂණ යානය රයිගු (Ryugu) නම් ග්‍රහකය  හමු වූ අතර වසර එකහමාරක් ගවේෂණය කොට සාම්පල රැගෙන දැන් පෘථිවිය වෙත එමින් තිබේ. එසේ වූවොත් Osiris-Rex පරදා මෙම මෙහෙයුම ග්‍රාහක සාම්පල පෘථිවිය වෙත ගෙන ඒමේ තරගය ජයග්‍රහනය කරනු ඇත.

මෙයට අමතරව 2020 වසර තුළ වාණිජ මට්ටමේ අභ්‍යවකාශ චාරිකා ගණනාවක්ම ආරම්භ කිරීමට ද නියමිතයි.

The Guardian (Science) හී පළ වූ The moon, Mars and beyond… the space race in 2020 යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.