සැමට විදු නැන නුවණ – Science Literacy for All

අප ප්ලාස්ටික් භාවිතයෙන් බැහර වියයුතු ද?

අප ප්ලාස්ටික් භාවිතයෙන් බැහරවිය යුතු ද?

සමහර අංශවලින් ගත් විට ප්ලාස්ටික් ඇත්තටම පරිසරයට හිතකර විය හැකියි.

බෝතලයකින් බීම බොන්න ප්ලාස්ටික් බට වෙනුවට කඩදාසි වලින් හදපු බටයකින් බීවාට ප්ලාස්ටික් නිසා පැන නගින ප්‍රශ්නය විසඳීමට ඉන් ලැබෙන්නේ නොදැනෙන තරමේ පිහිටක්. පරිසර හිතකාමී රෙදි බෑගය, දහස් වාරයක් නැවත නැවත භාවිත කරන්නේ නැතිනම් සම්ප්‍රදායානුකූලව ප්ලාස්ටික් බෑග් වලට වඩා පරිසරයට හානිකර විය හැකියි. “ජෛවහායනීය” ප්ලාස්ටික්(“Biodegradable” plastic)  ඉටුකරන්නේ අප බලාපොරොත්තු වන කාර්යය ම නොවේ. වෙන වචනවලින් කියතොත්  ප්ලාස්ටික් සහ පරිසරය ගැන අපට තිබෙන අදහස් බොහොමයක් ගැටලුකාරීයි. එහෙයින් එය, ගෝලීය උණුසුම් වීමට එරෙහි සටනේ දී අවහිරයක් බවට පත්වීමට පුළුවන.

polylactic acid -PLA

උක්, ඉරිඟු ඇතුළු පිෂ්ටමය ශාකවලින් ලබාගන්නා පොලියස්ටරයක් වන පොලිලැක්ටික් අම්ලය(polylactic acid -PLA) වැනි ‍ද්‍රව්‍යවලින් සෑදූ ජෛවහායනීය බඳුන් ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සැලකීම ගැන සොයා බලමු. මෙතැනදී වපුරන මිථ්‍යාව වනුයේ මෙවන් බදුන් ආරක්ෂා සහිතව වනබිමට හෝ සාගරයට විසි කළ හැකිය යන්නයි. ක්ෂුද්‍ර ජීවීන් මේවා බිඳ දැමීමෙන් පසුව එම අමුද්‍රව්‍ය, කුඩා මල් හැටියට නැතිනම් මුහුදු අශ්වයන් හැටියට ඉන්ද්‍රජාලික බලයකින් මෙන් නව ජීවයක් අත්පත් කර ගන්නේය යනුවෙන් එම මතයෙන් කියැවිණ.

ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජෛව හායනය පිළිබඳ තාක්ෂණික ප්‍රමිතීන් බොහොමයක් කාර්මික කොම්පෝස්ට් සෑදීමේ ප්‍රමිතීන්ට සම්බන්ධය: කොම්පෝස්ට් සාදන බඳුනකට ප්ලාස්ටික් බෑග හෝ බෝතල් දමා පසුව ඊට කිසියම් ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් එක්කර උෂ්ණත්වය ‍සෙල්සියස් අංශක 50 ත් 60 ත් අතර තබන්න. දින 180 ක් ඇතුලත මෙලෙස දැමූ ද්‍රව්‍ය වලින් සියයට අනූවක් කාබන් ඩයොක්සයිඩ් වශයෙන් මුදා හැරෙන්නේ නම් එම ද්‍රව්‍ය ජෛවහායනීය හෝ ‘කොම්පෝස්ට් බවට පත් කළ හැකි‘ යයි සලකනු ලැබේ. වෙනත් ලෙසකින් දක්වන්නේ නම් ජෛව හායනීය ද්‍රව්‍ය යනු ඒවාගේ ආයු කාලය අවසානයේ ඕනෑකමින්ම වායුගෝලයට කාබන් එක් කිරීම පිණිස සැලසුම් කරන ලද ද්‍රව්‍යයයි.

ඊටත් වඩා කාරණාවක් ඇත. ජෛවහායනීය ප්ලාස්ටික්වලට  කොම්පෝස්ට් සාදන තැනක් වෙනුවට ඔක්සිජන් තොර කළ, පිරවූ ඉඩමක ඒවායේ අවසාන කාලය ගෙවන්නට වුවහොත් ඒවා නිර්වායු වියෝජනය (anaerobic decomposition) හේතුවෙන් මීතේන් බවට හැරවෙයි. මීතේන් වායුව ගෝලීය උණුසුමට, කාබන් ඩයොක්සයිඩ් වලට වඩා 34 සිට 86 දක්වා ගුණයකින් දායක වෙයි. තවද, ජෛව හායනීය ප්ලාස්ටික් සාගරයට දැමූ විට ඒවා ප්‍රමාණවත් තරමට හායනයට පත් නොවුවහොත් කුඩා කොටස්වලට සිදිබිදි සාගරික ජීවීන්ට හානි කරයි.

ගෝලීය වශයෙන් ප්ලාස්ටික් නිෂ්පාදනය කෙරෙන ප්‍රමාණය අප පුදුමයට පත් කරවන සුළුය. වාර්ෂික නිෂ්පාදනය  ටොන් මිලියන 380 ක් පමණ වේ. මෙම ප්‍රමානය සම්පූර්ණයෙන්ම පාහේ නිපදවෙන්නේ පොසිල ආශ්‍රිත අමු ද්‍රව්‍යයෙනි. එහෙයින්, එක් දහස් නවසිය අසූ ගණන්වල ජනප්‍රිය වූ අදහසක් වන ප්ලාස්ටික් සැකසීමට ලක් කිරීමෙන්, පරිසරය තුල සැඟවී යන පරිදී නැවත ආරක්ෂිතව එක් කළ හැකිය යන මතයේ එල්ලී සිටීමට පාරිභෝගිකයන් කැමැත්ත දැක්වීම තේරුම් ගත් හැක. එහෙත් යථාර්ථය ඊට වෙනස්ය. කොයි කවදා, කවර ආකාරයෙන්  හෝ නිපදවූව ද ප්ලාස්ටික් සියල්ලෙන්  සියයට හැටක් ගොඩකළ ඉඩම් වල හෝ කුණු කසල ලෙස ගොඩ ගැසේ.

හැබැයි ඔය කාරණාව දේශගුණ විද්‍යාඥයන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත් විට  හොඳ දෙයක් වන්නට ද හැකියි. ගොඩබිම හා සාගරික පරිසර පද්ධති තුළට මේසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම අපරාධයක් බව සැබැවි. එහෙත් ප්ලාස්ටික් සඳහා අපේ ඇති ඉල්ලුම (අවශ්‍යතාව) ඉක්මනින් පහව යන්නක් නොවේ. නිදසුනකට මෝටර් රථ සහ අහස් යානාවල ඇතැම් කොටස් තැනීමේ දී වඩා බර ද්‍රව්‍ය වෙනුවට ප්ලාස්ටික් යොදාගැනීමෙන් ඉන්ධන ඉතිරියක් ඇති වේ. එපමනක් නොව ප්ලාස්ටික් කෘතිම කාබන් කිදාවක්(sink) ලෙස ක්‍රියා කිරීමට ද පුළුවන. අප මහපොළොවෙන් කාබන් පොසිල ඉන්ධන ලබා ගන්නේ නම් එය මෝටර් රථයක දහන කුටීරයෙන් අවසන් වනවාට වඩා වසර 400ක් පවතින ප්ලාස්ටික් බෝතලයක් බවට හැරවීම සාපේක්ෂව වඩා හොඳ විකල්පයයි.

ඉතින් අපට මේ මිහිතලය රැක ගැනීමට අවශ්‍ය නම් ජෛවී හායනයත්වය (biodegradability) කෙරෙහිම රඳාපවතින්නේ නැතිව ඒ වෙනුවට ජෛවී පාදක(bio- based) ප්ලාස්ටික් කෙරෙහි යොමුවීම වාසිදායක බව ලියුම්කරු වේඩ් රූෂ් (Wade Roush) විශ්වාස කරයි. අපේ වායුගෝලයේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් (CO2) සීනි, පිෂ්ඨය සහ සෙලියුලෝස් බවට පරිවර්තනය කිරීම  පිණිස ශාක ප්‍රභාසංස්ලේෂණය යොදා ගනී. මේ තුනම(සීනි, පිෂ්ඨය සහ සෙලියුලෝස්) ප්ලාස්ටික් තැනීම පිණිස පිරිසැකසුම් කළ හැකි වේ. polylactic acid (PLA) ඉන් එකකි. එහෙත් එය සැළසුම් කර ඇත්තේ කොම්පෝස්ට් තැනීමටය. එවිට එය වැඩිම වුනොත් කාබන් උදාසීන බවට පත්වෙයි. ක්ෂේත්‍රයේ වඩාත් සිත් අලවන සුලු ව්‍යාපෘතීන් අවධානය යොමු කරන්නේ පොලිඑතිලීන් ටෙරස්තලේට් (polyethylene terephthalate) වැනි ජෛව හායනය නොවන ප්ලාස්ටික් කෙරෙහිය. සියයට සියයක්ම ශාක ව්‍යුත්පන්න(ශාකවලින් ලබාගන්නා) ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් භාවිතා කිරීමට කොකාකෝලා මෙන්ම පෙප්සි කෝලා ද බලාපොරොත්තු වේ. (කොකාකෝලා දැනටමත් 30% ශාක පාදක(plant-based) බෝතල් භාවිත කරයි).

ශාක ව්‍යුත්පන්න බෝතල්

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය සංසදය (United Nations Intergovernmental Panel on Climate Change) පෙන්වාදෙන පරිදි පූර්ව කාර්මික විප්ලව මට්ටමට වඩා සෙන්ට්‍රිගේට් අංශක 1.5 කට ගෝලීය උණුසුම් වීම සීමා කිරීමට නම් ප්‍රශස්ත වශයෙන් 2050 වන විට අපේ වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් සිය දහස් ගණනක් ඉවත් කර ගතයුතු වේ. 2020 පටන්ගෙන ලෝකය සම්පූර්ණයෙන්ම ජෛව හායනය නොවන ජෛවී ප්ලාස්ටික් වලට පරිවර්තනය වුවහොත් ඉදිරි වසර 30 තුළ ඉවත් කරන කාබන් ප්‍රමාණය ගිගා ටොන් 10 ඉක්මවනු ඇත.. එය එවිට කදිම ආරම්භයක්  නොවන්නේ ද? ඉතින්, ප්ලාස්ටික් ගැන සලකා බලන විට නම්‍යශීලීව සිතා බැලීමට දැන් කාලය එළැඹ ඇත.

 

Scientific American(December, 2019) හී පළවූ Learning to Love Plastic යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: