ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි රෝගකාරක විශබීජ (තාවකාලිකව) පරාජය කළේ කොහොමද?
II කොටස
පෙනිසිලින් බිහිවීමෙන් ඇරඹුණු ප්‍රතිජීවක යුගය තවත් මිලියන සිය ගණනක් ජීවිත ගලවාගන්නට දායක වුණු නමුත් පෙනිසිලින් සොයාගැනීම පිළිබඳ ඇත්ත කතාව නම් අප හිතන තරම් ජයග්‍රාහී එකක් නොවෙයි..
නීරස කතාවක්
ඒ ඇයිද කියනවා නම් ෆ්ලෙමින්ගේ කාලයට පෙර බොහෝ ඉස්සර ඉඳලාම ඵෙනිශිල්ලිඋම් දිලීරයෙහි බැක්ටීරියා නාශක ගුණය හොඳින් දැන සිටි ප්‍රකට කාරණාවක්. ඒ වගේම ඒ ගුණය පිළිබඳව වෙනකිසිවෙකුත් නොකළ මට්ටමින් ඔහු අධ්‍යයනය කළත්, ඔහු අතින් ඒ සියල්ල ගිලිහී නොගිහින් බේරුණේ අනූනවයෙන්. .
ෆ්ලෙමින් 1929දී පළකළ ලිපිය කිසිවෙකුගේ අවධානයට ලක්වුණේ නැහැ. ෆ්ලෙමින් ප්‍රචාරක වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුවත් ඔහු අසන්නන්ගේ සිත් ඇද ගැනීමට අසමත්, දුර්වල කථිකයෙකු වුණු නිසා එයින් කිසිදු ප්‍රබෝධයක් ඇතිවුණේ නැහැ. ඔහු තවදුරටත් පෙනිසිලින් සම්බන්ධ පර්යේෂණවල නිරත වුණත්, පෙනිසිලින් පිළිබඳ පර්යේෂණයට ඔහු ප්‍රමුඛතාව නොදුන් නිසා පර්යේෂණය මුලුමනින්ම පාහේ අසාර්ථක වුණා. ඒ අතරින් එක් පර්යේෂණයකදී මීයන්ගේ රුධිරයට එන්නත් කළ පෙනිසිලින් මිනිත්තු තිහක් ඇතුළත සිරුරෙන් බැහැර වෙද්දී, දීසියක වගා කළ බැක්ටීරියා විනාශ කරන්න පැය හතරක් ගතවුණා. මේ නිසාම පෙනිසිලින් භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල අත්නොවනු ඇතැයි සිතන්නටත් ෆ්ලෙමින් පෙළඹෙන්න ඇති.
Howard Florey and his team
නව සොයාගැනීමක් යනු සියයට එකක් අනුප්‍රාණයේ සහ සියයට අනූ නවයක්ම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවනවායැයි සැලකුවොත්, කීර්තියෙන් වැඩි කොටසක් හිමිවිය යුත්තේ ෆ්ලෝරේගේ කණ්ඩායමටයි. ඔහුගේ කණ්ඩායම ෆ්ලෙමින් නැවැත්වූ තැනින් පර්යේෂණය ඉදිරියට ගෙනගොස් ඖෂධීය ප්‍රතිකාර සඳහා පෙනිසිලින් යොදාගැනීමට අවස්ථාව උදාකිරීමට වෙහෙසුණු ස්වාධීන කණ්ඩායම්වලින් එකක්. එසේ වුවත්, ඔවුන්ගේ පර්යේෂණ සඳහා අවශ්‍ය දිලීර සහිත පෝෂක මාධ්‍ය සැපයීම හැර ෆ්ලෙමින් ඒ කෙරෙහි කිසිදු උනන්දුවක් දැක්වුවේ නැහැ. ඔහු ඒ ගැන සැබවින්ම උනන්දු වුණේ 1942දී ඔවුන්ගේ(ෆ්ලෝරේගේ කණ්ඩායමේ) පර්යේෂණය සාර්ථක වීමෙන් පසුවයි.
සොඳුරු සංග්‍රාමයක්
ෆ්ලෝරේට වුණත් තනිවම මුහුණදීමට සිදුවුණු අභියෝග රැසක් තිබුණා. . ඔහු පර්යේෂණය ඇරඹුවේ 1938දී. ඒ අතරවාරයේ, ඔහු මුදල් අතින් අගහිඟකම් රැසකට මුහුණපෑවා. අවසානයේදී ඔහුගේ කණ්ඩායම පෙනිසිලින් පිරිපහදු කරන්නත්, රෝග මර්දනය සඳහා ඒවා සාර්ථකව යොදාගතහැකි බව සායනිකව තහවුරු කරන්නත් සමත් වුණා. නමුත්, කසල බඳුන්වල සිට පිස්පෝච්චි දක්වා අතට හසුවන මානයේ තිබුණු සියලුම භාජන පෙනිසිලින්වලින් පිරෙව්වත්, මේවා මහා පරිමාණයෙන් නිශ්පාදනය කිරීමේ හැකියාවක් පවතින බව රජයට හෝ පෞද්ගලික අංශයේ සමාගම්වලට ඒත්තු ගන්වන්න ඔවුන්ට හැකිවුණේ නැහැ.
ඔවුන් දුෂ්කරක්‍රියා කරන අතරේ ඔවුන්ට වාසනාවක් ද පෑදුණා. දෙවනි ලෝක යුද්ධය ආරම්භ වුණානේ.. එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ රජයන් මේ ව්‍යාපෘතිය (පෙනිසිලින් නිශ්පාදන) සඳහා නොමසුරුව මූල්‍යමය දායකත්වය ලබාදුන්නා. අවසානයේදී මහා පරිමාණයෙන් පෙනිසිලින් නිශ්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල ඇමරිකාවේදී සූදානම් කෙරුණා.
එහෙනම් ෆ්ලෙමින්ට ඔය තරම් කීර්තියක් හිමිවුණේ කොහොමද? රහස ඔහු ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටීමයි. ශාන්ත මේරි රෝහලට මූල්‍යමය වශයෙන් සහය ලබාදෙන බීවර්බෲක් සාමිවරයා ෆ්ලෙමින්ගේ සොයාගැනීම ගැන ඉහළින්ම ප්‍රචාරය කරමින් ප්‍රචාරණ රැළිය ඇරඹුවා. ශාන්ත මේරි රෝහලේ ෆ්ලෙමින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇල්ම්රොත් රයිට් ටයිම්ස් පුවත්පතේ ලිපියක් පළ කළේත් එහි කීර්තිය ෆලෙමින්ට හිමිවන බවට වගබලාගනිමින්. මෙයින් ලැබෙන ප්‍රචාරය ගැන රයිට් ඉහළින් සැලකුවා: ඒ, බ්‍රිතාන්‍යයේ අනිත් ශික්ෂණ රෝහල් වගේම ශාන්ත මේරි රෝහලත් පවත්වාගෙන ගියේ පුන්‍යායතන මූල්‍යමය අනුග්‍රහයෙන් නිසයි.
එහි කූටප්‍රාප්තිය වුණේ ශාන්ත මේරි රෝහල මූල්‍යමය සහය ඉල්ලා ලියන ලියුමක් ෆ්ලොරේ වෙත යැවීමයි. ඒ ලියුම ආරමභ කරලා තිබුණේ මෙන්න මෙහෙමයි: ”වෛද්‍ය ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ නවතම සොයාගැනීම වන පෙනිසිලින් ගැන ඔබ දැනටමත් දැනුවත් ඇති” යනුවෙන් සඳහන්ව තිබුණා. ෆ්ලොරේ එය රාමු කර නිවසේ බිත්තියක එල්ලා තැබුවා. එක්සත් රාජධානියේ තොරතුරු අමාත්‍යංශයත් ප්‍රචාරණ වාසිය වෙනුවෙන් ෆ්ලෙමින් පෙනිසිලින් නිපදවූවා කියන මිථ්‍යාව සමාජගත කළා.
1945දී ෆ්ලෙමින්, ෆ්ලෝරේ සහ ෆ්ලෝරේගේ ප්‍රධාන සහයකයා වන අර්න්ස්ට් චේන්ට හවුලේ නොබෙල් ත්‍යාගය හිමිවුණත්, වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ ෆ්ලෙමින්ටයි. ත්‍යාගය ලැබුණු වකවානුවේ සිට 1955දී ඔහුගේ මරණය සිදුවන තෙක් ඔහුට තවත් ප්‍රධාන සම්මාන 140ක් උරුම වුණා. අතිශයින්ම අපිළිවෙලින් හෙබි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වී තිබුණු ඔහුගේ විද්‍යාගාරය, ඔහුගේ මරණයෙන් පසුව කෞතුකාගාරයකට හැරවුණා.
ෆ්ලෙමින් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වද්දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ගැන සඳහන් කරමින් ෆ්ලෝරේගේ දායකත්වයටත් නිසි වටිනාකම ලබාදෙන්න උත්සහ කළ බව ඔහුට කරන ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුමයි. නමුත් ෆ්ලෝරේ පුවත්පත් සාකච්ඡා ප්‍රතික්ෂේප කළා වගේම ඔහුගේ කණ්ඩායමටත් මාධ්‍යයට අදහස් දැක්වීම තහනම් කළා. පුවත්පත් වාර්තාකරුවනුත් පිස්පෝච්චි සහ කසලබඳුන් තිබුණේ වුණේ නමුත් විධිමත්ව සිදුකළ ෆ්ලෝරේගේ පර්යේෂණට වඩා ෆ්ලෙමින්ගේ අහඹු සොයාගැනීම පිළිබඳ පුවතට ආකර්ශනය වුණා. ඉතින් පෙනිසිලින් මිත්‍යාව සදා ජීවමාන වුණා.
විප්ලවීය පනහේ දශකය
1960 දශකයේ සිට ඇමරිකාවේ වෙළඳපොළට පැමිණි උපත්පාලන පෙත්ත ලිංගික විප්ලවයට මුලපිරූ බව පොදුවේ පිළිගැනෙනවා. නමුත් මේ විප්ලවයට තවත් ඖෂධයක් ඊට බොහොම කලින් දායක වුණා: ඒ තමයි පෙනිසිලින්. 1939 වසරේදී පමණක් උපදංශය රෝගය (syphilis) වැළඳීමෙන් ඇමරිකානුවන් 20,000කට ආසන්න පිරිසක් මියගියා. ගොනෝරියා (gonorrhea) රෝගයත් ජයට පැතිරුණා. 1950 දශකයේ මැද භාගය වනවිට පෙනිසිලින් මේ රෝග දෙකම මුලුමනින්ම පාහේ ලොවෙන් තුරන් කිරීමට සමත්වුණා. එය තාවකාලික ලිංගික සබඳතා ගැන පැවති මහජන මතය හදිසියෙම වාගේ වෙනසකට ලක්කිරෙමට කදිමට දායක වුණා
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE BEAT THE BUGS (FOR A WHILE)? පරිච්ඡේදය ආශ්‍රයෙනි.