සාගර උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ඉහළ යයි

Posted by

සාගර උෂ්ණත්වය වාර්තාගත මට්ටමකට ඉහළ යයි

පෘථිවි ග්‍රහයාගේ සාගර, මානව ඉතිහාසය වාර්තා කර තැබීම ආරම්භ කිරීමෙන් පසුව, එදා මෙදා තුර ඉහළම උෂ්ණත්වයට පත්ව ඇතැයි ද සාගර උෂ්ණත්ව ඉහළ යමින් පවතිනවා පමනක් නොව ඒවා වැඩිවන වේගයකින් උණුසුම් වෙන බව ද නව විශ්ලේෂණයකින් හෙළිවෙයි. 2019  සාගර උෂ්ණත්වය, 1981ත් 2010ත් අතර උෂ්ණත්ව සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.075ක් වැඩි යයි අන්තර්ජාතික පර්යේෂක කණ්ඩායමක් විසින් Advances in Atmospheric Sciences සඟරාවට ජනවාරි 13 වාර්තා කර තිබුණි.

මෙයින් කියැවෙන්නේ මානවයන් වන අපි අපේ වායුගෝලයට එකතු කරන හරිතාගාර වායු සියල්ලම පාහේ අවශෝෂණය කරන සාගරය, එහි උෂ්ණත්ව සාමාන්‍යයට වඩා ජූල් සෙක්ටිලියන (1ට පසුව බින්දු 21 කින් කියැවෙන සංඛ්‍යාව) 228ක්(228,000,000,000,000,000,000,000) උෂ්ණත්වයක් දරා ගැනීමට සිදුව ඇති බවයි. මීට සාපේක්ෂව බැලුවොත්, හිරෝෂිමාවට පරමාණු බෝම්බය හෙලීමෙන් මුදා හැරුණු ශක්තිය ජූල් 63,000,000,000,000 ක් පමණ වේ.

“පසුගිය වසර 25 තුළ  ලෝකයේ සාගර තුළට අප එක් කර ඇති උෂ්ණය හිරෝෂිමා බෝම්බ බිලියන 3.6 පිපිරීමෙන් ඇතිවන උෂ්ණත්වයට සම කරන්න පුළුවනි” යයි අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ලීජිං චෙන්ග් ප්‍රකාශනයක් නිකුත් කරමින් සඳහන් කරයි. හෙතෙම, චීන විද්‍යා ඇකඩමියේ(Chinese Academy of Sciences)  වායුගෝලීය භෞතිකවිද්‍යා ආයතනයේ(Institute of Atmospheric Physics) දේශගුණ සහ පාරිසාරික විද්‍යා ජාත්‍යාන්තර මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්යවරයෙකි. “මෙලෙස සාගර උණුසුම්වීමට මිනිස් ක්‍රියාකාරකම්වලින් තාපය කොටුකරගන්නා වායු විමෝචනයවීම හැරුණුකොට වෙනත් සාධාරණ හේතු දැකිය නොහැකිය” යි චෙන්ග් වැඩිදුරටත් සඳහන් කරයි.

සාගරයන්හි උෂ්ණත්ව විපර්යාසයන් විශ්ලේෂණය සඳහා  චෙන්ග් ඇතුළු කණ්ඩායම ලබාගත හැකි දත්ත සියල්ලම සැලකිල්ලට භාජනය කළහ. ලෝක සාගරික දත්ත ගබඩාව (World Ocean Database)  සහ ජාතික සාගරික හා වායුගෝලිය පරිපාලනය(National Oceanic and Atmospheric Administration) මගින් පළ කරනු ලබන දත්ත ද ඒ අතර විය. ඒවා සපයා ගනු ලැබ ඇත්තේ සාගර ජලයේ මතුපිටත් මීටර 2000ක ගැඹුරක් අතරිනි. අනතුරුව කණ්ඩායම  දත්ත සංසන්දනාත්මකව සලකා බැලූහ.  ඒ,  1987 සහ 2019 අතර කාලය තුළදී ලබාගත් දත්ත, 1955 සිට 1986 දක්වා කාලය තුළ ලබගත දත්ත සමගය.  එහිදී පෙනී ගියේ, වර්තමාන කාල ඡේදය තුළ (ඊට පෙර  කාල සීමාව හා සසඳන විට) මෑතක සාගර 450% වඩා ප්‍රමාණයකින් උණුසුම් වී ඇති බවයි. උෂ්ණත්ව මැන වාර්තා කිරීම මුලින්ම ආරම්භවූ 1950 ගණන්වල සිට සාගර මේ තාක් වැඩියෙන්ම උණුසුම්ව පැවතියේ පසුගිය අවුරුදු දහය තුළය.

වායුගෝලයෙන් අතිරේක තාපය වැඩි ප්‍රමාණයක් සාගර මගින්  අවශෝෂණය කරනු ලබන හෙයින් ඒවා, දේශගුණ විපර්යාසයෙහි බලපෑම  දක්වන මනා කැඩපතක් විය හැකිය යි පර්යේෂකයෝ පෙන්වාදෙති. ගෝලීය උණුසුම්වීමේ බලපෑම් දැනටමත් දැනෙන්නට පටන් ගෙන ඇත. ඒ, දරුණු කාලගුණික තත්ත්වයන්, ඉහළ යන මුහුදු මට්ටම් සහ සාගරවාසී සතුන්ට සිදුවෙන හානිය ආදී වශයෙනි.

දේශගුන විපර්යාසයේ බලපෑම් ආපසු හැරවීමට මිනිස් අපට හැකිවුණත් අතිරේක තාපයෙන් සියයට 90ක් අවශෝෂණය කරන සාගරයන්ට යළිත් තිබුණු තත්ත්වයට පැමිණීමට,  සියයට 4ක් පමණක් තාපය අවශෝෂණය කරන භූමිය සහ වායුගෝලයට වඩා වැඩි කලක් ගතවන බව අධ්‍යයන වාර්තාවේ සඳහන්ය.

“ගෝලීය උණුසුම්වීමේ බලපෑම වායුගෝලයට සහ ගොඩබිමට සටහන්වන්නේ සුළු වශයෙන් වුනත් එය 2019 දී ඇමසානයේ, කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යසනකාරී ලැව්ගිනිව්ලට මග පෑදුවා වගේම 2020 දීත් ඒවා ඉදිරියට යාවි” යයි චෙන්ග් අනතුරු හඟවයි.

“ගෝලීය උණුසුම්වීම යථාර්ථයක්. එපමනක් නොවෙයි එය එන්න එන්නම නරක අතට හැරෙනවා” යයි වාර්තාවේ සම කතෘ මහාචාර්ය ජෝන් ඒබ්‍රහම් කියා සිටියි, “අපි දකින්නේ පාවෙන අයිස් කුට්ටියේ මුදුන විතරයි. ඉදිරියට ඔයිට වඩා දරුණු දේවල් ඇතිවෙන්න පුළුවනි”

 

 

Live Science හි පළවූ Ocean Temperatures Have Reached a Record-Breaking High යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.