ආත්මය: ඔබ, ඔබ බවට පත්වන්නේ කුමක් නිසාවෙන් ද? II කොටස

Posted by

ඔබ ඔබ වන්නේ කෙසේද? II කොටස

මනෝවිද්‍යාඥ ජේම්ස් විලියම් 1887 කියා සිටියේ වයස අවුරුදු 30 වෙද්දී එය (පෞරුෂය යනු අප කවුද යන්නේම  අත්‍යන්ත කොටසක් මෙන්ම නොවෙනස්වන කොටසක් යන්න) සිමෙන්තියෙන් බැන්දා සේ තහවුරු වන බවයි. ඔහු ඉදිරිපත් කළ අදහස දැඩි පිළිගැනීමට ලක් විය.  එහෙත් ඇත්තටම සිදුවන්නේ මෙයද?

ළමා වියේ චිත්ත ස්වභාවය (temperament=මනඃ ප්‍රකෘතිය)

පුද්ගලතාව හෙවත් පෞරුෂය අර්ධ වශයෙන් ජානමය බවට සැකයක් නොමැත. මෙතැනදී ඒ හා සමාන ස්ථිරතාවකින්  කීමට නොහැකි වන්නේ කොපමණකට නම් අපගේ ජන වගකිව යුතු ද කොපමණකට නම් ඇතිදැඩිවීමේදී අත්පත් කරගන්නා දේ(සම්භෘතිය = nurture) වගකිව යුතු ද යන්නයි. පෞරුෂවය කියා දෙයක් අලුත උපන් බිලිදුන්ට නොමැත. එසේ වුවද ඔවුනට ද හැසිරීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ආවේණික ගති ලක්ෂණ දක්වන ක්‍රම නැතිනම් විධි ඇත. මනෝ විද්‍යාඥන් ඒවා හඳුන්වන්නේ චිත්ත ස්වභාවය (මනඃ ප්‍රකෘතිය) යනුවෙනි. පසුබෑම හමුවේ අත්නාහරින ගුණයද (ප්‍රස්ථිතිය= persistence) සහ ප්‍රතික්‍රියාකාරීත්වය (‘reactivity’) මෙයට ඇතුලත්ය. බෙහෙවින් ප්‍රතිකියක බිළිඳුන් ලැජ්ජාශීලි වන අතර අළුතින් උදාවන අවස්ථාවන් මග හරිති. චිත්ත ස්වභාවය බොහෝ විට සලකනු ලබන්නේ පෞරුෂවයේ ජීව විද්‍යාත්මක පදනම හැටියටයි. එහෙත් මෙය ජාන නිසා සිදුවන්නේ ද නැතිනම් හැදී වැඩෙන පරිසරයේ බලපෑමෙන් සිදුවන්නේද යන්න හරිහැටි වෙන්කොට නිර්ණය කිරීම අසීරුය. මන්ද කීවොත් මෙම සාධක දෙකම උත්පත්තියටත් පෙර සිට පවා පෞරුෂය කෙරෙහි බලපෑම් ඇති කරණු පිණිස අන්තර් ක්‍රියා කරන හෙයිනි. ගර්භනී අවස්ථාවේ පීඩනයට පත්වන මව්වරුන්ට දාව උපදින දරුවන් කාංසා සහගත ළමයි බවට පත්වීමට වඩාත් ඉඩකඩ ඇත යන්නට සාක්ෂි පවතී

අදාළ රූපය

ළමා වියේ අත්දැකීම් ද අපේ පෞරුෂයන් හැඩගස්වයි. සමාජශීලී සහ උත්සාහවන්ත යන ගති ලක්ෂණ සහිත ළමුන් ඇසුරේ වැඩෙන සෙසු දරුවෝ ද වඩාත් සමාජශීලී සහ උත්සාහවන්ත වීමට නැඹුරු වෙති. දෙමව්පියන්ගේ චර්යාවන් ද බලපෑම් ඇති කරයි. දෙමාපියන් ප්‍රතික්‍රියක(reactive) හෙවත් ප්‍රතික්‍රියා පෙන්වන දරුවන්ට සමාජශීලී වීමට සහ වඩාත් නිර්භීත වීමට දිරි ගන්වන්නේ නම් ඔවුන් වයසින් වැඩෙද්දී නුවමනා ලජ්ජාශීලීත්වය හෝ බියගුළු බව අඩුවේ. පසු කලෙක ‘මහා පහ’ (Big Five) ගති ලක්ෂණ ඇගයීම් වලදී ලබා ගන්නා ලකුණු සෑමවිටම පුරෝකථනය කිරීමට මනඃප්‍රකෘතියට හෙවත් චිත්ත ස්වභාවයට නොහැකි වන්නේ මන්දැයි පැහැදිලි කරගැනීමට මෙය උපකාරී විය හැකිය. නිදසුනක් දක්වන්නේ නම් නිතර සිනහමුසු බිළිඳුන් වයසින් වැඩෙත්ම නොවැරදීම නැතිනම් අවශ්‍යයෙන්ම බහිර්වර්තකයන්(extroverts) හෙවත් සමාජශීලී පුද්ගලයන් බවට පත් වන්නේ නැත.  තවද, දැඩි සේ ප්‍රතික්‍රියක බිළිඳුන් අතුරෙන් වයස 15 වන විට අතිශය ලැජ්ජාශීලි, කුලෑටි හෝ විපරම් ගති සහිත අයවළුන් බවට පත්වන්නේ සියයට විසිපහක් (25% ක්) පමණකි.

වැඩිහිටි භාවයට පත් වෙද්දී මහා පහ ගති ලක්ෂණ අතුරෙන් එක් එක් ගති ලක්ෂණවල විචලනයන් අතුරෙන් සියයට හතළිහකට(40%ට) පමණ ජාන වගකියන බවක් පෙනී යයි. එසේ වන්නෙ, තනි තනි පුද්ගලයන් මට්ටමෙන් නොව පොදුවේ සමස්ත ජනගහනය මට්ටමෙන් ය. එහෙත්, ජාන සහ පරිසරය එකිනෙකෙන්  ස්වාධීනව පෞරුෂත්වය කෙරෙහි බලපෑමට ක්‍රියා කරන්නේ යැයි සැලකීම නොහොබි. ඒවා කිසිදිනක එසේ වන්නේ නැත. මහා පහ ගති ලක්ෂණ අතුරෙන් එකක් හෝ සමග පැහැදිලි සම්බන්ධයක් ඇතැයි යනුවෙන් කිසිම ජානයක් හඳුනාගනු ලැබ නැත. වෙනත් වචනවලින් කියතොත් අපගේ පෞරුෂයන් හැඩ ගැස්වීමේ ලා ජාන සහ පරිසරය සංකීර්ණ ආකාරවලින් අන්තර් ක්‍රියා කරයි.

එහෙත් අප 30 වැනි වියට පා තබන විට මේ ක්‍රියාදාමය නවතින බවට සාක්ෂි කෝ? ඇත්තටම සාක්ෂි කිසිවක් නොමැත. මෙම අදහස පිළිබඳ මුලින් ඇතිවූ ආකර්ෂණය මනෝවිද්‍යාඥයන් අතරින් ගිලිහී යාමෙන් පසුව ඊට පටහැනිවන දේ බොහෝමයක් සෙවීමට ඔවුහු පටන්ගත්හ.

පෞරුෂය පරාරෝපනය වීම

සුහුඹුලන් (වැඩිහිටියන්) දීර්ඝ කාලයක් තිස්සේ විමසුමට ලක් කිරීමේ අධ්‍යනවලින් ප්‍රධාන අභියෝගය එල්ල වේ. වයසට යාමත් සමග පෞරුෂය පරරූපණයවන බව (morph ස්වරූපය වෙනස් වන බව) මෙම අධ්‍යයන හෙළි කරයි. නිදසුනකට, අප වයසටයත්ම අප වඩාත් කැපීපෙනෙන  ආකාරයකට ප්‍රියමනාප බවින්, එමෙන්ම වඩාත් හෘදසාක්ෂියට අනුකූල බවින් සහ චිත්තවේගීව වඩාත් ස්ථාවර බවෙන් යුතු වීමට පත්වේ. වයස අවුරුදු 20 සිට 80 දක්වා පුද්ගලයන් හාරදහසක් පමණ දෙනා  සම්බන්ධ කරගෙන සිදු කළ අධ්‍යයනයකදී පෙනී ගියේ පෞරුෂය අඩුවෙන්ම ස්ථාවර බවක් දක්වන්නේ තරුණ වැඩිහිටි අවධියේ(young adulthood) සහ වයස අවුරුදු හැට පැන්න විට බවයි. පෞරුෂය කෙරෙහි පරිසරය බලපාන්නේ නම් මෙය තේරුම් බේරුම් කර ගත හැකිය. මන්ද, පුද්ගලයින් සිය ජීවිතයේ කැපී පෙනෙන විපර්යාසයන් අත්විඳින්නේ තරුණ සහ වයස්ගත වැඩිහිටි අවධිවලදී නිසාවෙනි.

ජීවිත කාලයක් තුළ පරිසර සාධක වලට අපේ ගති ස්වභාවයන් වෙනස් කළ හැකි ප්‍රමාණය පුදුමාකාරය. පුද්ගලයකුගේ වයස අවුරුදු 14 දී, සහ නැවත එම පුද්ගලයාම වයස අවුරුදු හැත්තෑහතේ දී පරීක්ෂණවලට ලක් කර ලබාගත් ප්‍රතිඵල සංසන්දනය කිරීමේදී තනි තනි පෞරුෂයන් ස්ථාවරව පැවතීම පිළිබඳ කිසිම සාක්ෂියක් සොයා ගැනීමට අපොහොසත් විය. පෞරුෂය කොපමණ නම් සුවිකාර්ය ද (වාත්තු කළ හැකිද) — විශේෂයෙන්ම වැඩිහිටි වියේදී කොපමණ නම් සුවිකාර්ය ද යන්න ගැන මනෝවිද්‍යාඥයන් දිගින් දිගටම වාද විවාද වල යෙදෙන නමුත් පෞරුෂය වෙනස් වීමට හැකි බවත් එසේ වෙනස් වන බවත් යන්න ගැන සැකයක් නොමැත.

අන්තර්ජාලයේ සැරිසරන අතර මාර්ගගතව  ‘ලයික්”  දාන්නේ බලගෙනයි. ඒ ඇයිද කියලා කියවලා බලන්න

 

පෞරුෂය එළිදරව්වීම්

අදාළ රූපය

ඔබ අන්තර්ජාලයේ සැරිසරන අතර මාර්ගගතව කැමැත්ත (like) ප්‍රකාශ කිරීමේදී(කටවහරෙහි ඇති අන්දමට කියනවා නම් ‘ලයික්’ දැමීමේ දී’) ප්‍රවේශම් වන්න. ඔබේ ස්වභාවය (ආත්මය) පිලිබඳව කුඩා කවුළුවක් එමගින් විවෘත කෙරේ. මුහුණු පොත (FB) සමාජ මාධ්‍ය අඩවියේ පුද්ගලයන්  ‘like’ යෙදූ දේ පමණක් පදනම් කරගනිමිනි 2015 දී පරිගණක ඇල්ගොරිතමයකට පෞරුෂ වර්ග පුරෝකථනය කිරීමට හැකිවිය. පුද්ගලයින් 86,000ක් පිරවූ ප්‍රශ්ණාවලියකින් ලබාගත් දත්ත උපයෝගී කරගනිමින් පර්යේෂකයෝ ඔවුන්ගේ මහා පහ පෞරුෂ ගති ලක්ෂණ හඳුනා ගත්හ. එහි ප්‍රතිඵල අනතුරුව ඔවුන් මුහුණුපොතෙහි දැක්වූ ලයික්ස් සමඟ සහසම්බන්ධ (correlated) කෙරිණ. ඇල්ගොරිතමයට,  ‘like’ 100 සිට 150 දක්වා පදනම් කරගනිමින් කෙනෙකුගේ පෞරුෂ ගති ලක්ෂණ එම අයගේ යහළුවන්ට හෝ පවුලේ අයට වඩා නිවැරදිව එමෙන්ම ඔවුන්ගේ කලත්‍රයන් තරමටම වාගේ නිවැරැදිව තීරණය කළ හැකි විය.

 

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ THE SELF නම් වන අට වැනි පරිච්ඡේදයෙහි  What makes you the person you are යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.