ගොඩබිම වාසී ජීවිතය හා අනුකූලවන ශ්වසන ව්‍යුහය පිළිබඳ පුරාණතම සාක්ෂි පොසිල මගින් ගෙන එනු ලබන බව විද්‍යාඥයෝ කියති.
ලොව ප්‍රථම ගොඩබිමවාසි සත්වයා ගෝනුස්සා?
ගොඩබිමට ගොඩ බට ප්‍රථම සත්වයා යයි විශ්වාස කෙරෙන ආදී ගෝනුස්සකුගේ සිරුරේ අවශේෂ සොයා ගැනීමට එක්සත් ජනපදයේ විද්‍යාඥයෝ සමත්වෙති. ලොව මුල්ම සත්වයින් වාසය කළේ ජලයෙහි වුවත් අවසානයේ ඔවුහු ගොඩබිමට ද සංක්‍රමණය වූහ. ලෝකයේ, සම්පූර්ණයෙන්ම ගොඩබිම වාසය කරන සතුන් බවට මුලින්ම පත් වූ සතුන් අතර ගෝනුස්සන් ද සිටි බව දැන සිටියත්, ජලයේ සිට ගොඩබිම වෙත මෙම සංක්‍රමණය වූයේ කිකලෙද යන්න ගැන දැනටමත් පවතින වාද විවාද යළි පණ ගැන්වීමට අලුතින් සොයාගත් ෆොසිල දෙක සමත් ව ඇතැයි විශේෂඥයෝ කියා සිටිති.
1980 ගණන්වල ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ගල්කොරියකින් සොයාගනු ලැබූ පොසිල අනුව මේ ආදී ගොනුස්සා දිගින් සෙන්ටි මීටර 2.5 ක් පමණ වේ. මේ සතා මීට වසර මිලියන 437කට පෙර ජීවත්වන්නට ඇතැයි සැලකේ. මෙතෙක් සොයාගෙන ඇති ආදීතම අරකින්ඩා(arachnid)* වන මෙම සත්වයා නම් කර ඇත්තේ Parioscorpio venator යනුවෙනි. එහි තේරුම ආදිකාලීන ගෝනුස්සා හා දඩයක්කරු යන්නයි. (*අරක්නිඩා යනු සරල ඇස් සහ පාද යුගල හතරක් සහිත වාතය ආශ්වාස කරන සන්ධිපාදකයෙකි).
මෙම සත්වයාට නූතන ගෝනුස්සන්ට මෙන් ම ඉදිරිපස විශාල අඩු (නඛර) යුගලයකින් සහ පිටුපස දළ සහිත වලිගයකින් ද යුක්තයි. කෙසේ වෙතත්, වඩාත් උනන්දුව ඇති කරවන දෙය වන්නේ මෙම ගෝනුස්සන්ගේ අභ්‍යන්තර ව්‍යුහය බව පර්යේෂණ කණ්ඩායම කියා සිටියි. “මෙම ගෝනුස්සාට ගොඩබිම ජීවත් වීමට හැකි බව දැක්වෙන ස්වසන ව්‍යුහයන් තිබුණා. සතකුට මෙය (හුස්මගැනීම – ශ්වසනය) කළ බව දැක්වෙන ආදිතම සාක්ෂිය මෙයයි” පර්යේෂණයේ සම කර්තෘ සහ ඔහයඕ හි, ඔටර්බෙයින් විශ්ව විද්‍යාලයේ පාෂාණීය ධාතු විද්‍යාඥ ආචාර්ය ඇන්ඩෘෘ වෙන්ඩ්‍රෆ් පවසයි. මෙම ව්‍යුහයන් අතරේ පුප්ඵුස පරිහෘද රුධිරාශ (pulmo-pericardial sinuses) පිළිබඳ සාක්ෂි ද වේ. නූතන ගොනුස්සන්ගේ ශ්වසන අවයව, රුධිර සංසරණ පද්ධතිය හා සම්බන්ධ කරන්නේ මේවාය.. මේ අතර එවන් ව්‍යුහයන් මෙන්ම මේ සතාගේ හෘත්සනාල පද්ධතියේ වෙනත් අංග ද දක්වන්නේ නම් ආදී ගෝනුස්සා ද නූතන ගෝනුස්සන්ට සේම වාතය ආශ්වාස කිරීමේ හැකියාව තිබෙන්නට ඇති බව යයි වෙන්ඩ්‍රෆ් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අංග නොගැඹුරු වෙරළබඩ ජලයේ ජීවත්වන එහෙත් කෙටි කාලඡේද සඳහා ගොඩ බිමට පැමිණිය හැකි අශ්වලාඩම් කකුලුවන් අතරේ දැකිය හැකි අංගවලට සමානය.
“මේ පොසිලය හමු වී ඇත්තේ නොගැඹුරු ජලයේ. ඒ හන්දා හිතන්න තියෙන්නේ .මේ ගෝනුස්සා පරිසර දෙකෙහිම (ගොඩබිම /ජලය) ජීවත් වන්නට ඇතැයි කියල”යි වෙන්ඩ්‍රෆ් කියා සිටී. ඒත් ඉතින් කඩිමුඩියේ ගොඩබිම පදිංචියට ආවාදැයි කීම අපහසු බව පර්යේෂකයෝ දක්වති. ගොඩබිම වෙත ඇදී ආවා නම් එසේ ඇදී එන්නට ඇත්තේ යම් වාසියක් පතාගෙන වෙන්නට ඇති බව වෙන්ඩ්‍රෆ් කියයි.
“මේ මහා පොළොවේ ඉතිහාසය පුරාවටම අපට පෙනී යන්නක් තමයි ප්‍රයෝජනයට නොගන්නා සම්පත් භාවිතයට ගන්න තරගයක් තිබෙන බව. අද මට්ටමෙන් ගත් කල (එම අවධියේ)ගොඩබිම මුඩුබිමක්. හෙතෙම පෙන්වා දෙයි. Journal of Scientific Reports හි පළවී ඇති මෙම සොයාගැනීම පිළිබඳ වාර්තාව අනුව පැරණිතම ගෝනුස්සාගේ කාලය වසර මිලියන තුනක් පමණ ආපස්සට යන්නේ ය. ප්‍රථමයෙන් මේ වාර්තාවට හිමිකම් කීවේ ස්කොට්ලන්තයෙන් සොයාගනු ලැබූ ගෝනුස්සෙක්.
බර්ලින් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ, අරක්නිඩා සහ මිරියපොඩා (myriapods) අධිරක්ෂක ආචාර්ය ජේසන් ඩන්ලොප් පෙන්වා දෙන්නේ මෙම ගෝනුස්සාගේ අභ්‍යන්තර ව්‍යුහය අසාමාන්‍ය බවයි. “එම යුගයේ පොසිල අතරේ මෙය ඉතා විරල දෙයක්. ඔවුන්ගේ ව්‍යඡේදය ඇතැම් අංග පසුගිය වසර බිලියන 440 ඇතුලත වෙනස් වී නොමැති තරම්” මෙම අධ්‍යයනයට සහභාගි වූවකු නොවන ආචාර්ය ඩන්ලොප් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම ගෝනුස්සාට. පෙනහළු හෝ කරමල පෙන්නුම් නොකරන නිසා මේ ගෝනුස්සා ගොඩබිම ජීවත් වූයේද නැද්ද යන්න නිශ්චිතවම කීමට අසීරු බවයි ඔහු අදහස් කරන්නේ.
ආදිතම ගෝනුස්සන් ජලයේ වාසය කළේද යන්න ගැන දැනටමත් ඇති වාද විවාද වලට නව සොයා ගැනීමෙන් තවත් මතයක් එකතු වී ඇති බව පෙන්වා දෙන බාසිලෝනාවේ පරිණාමීය ජීව විද්‍යා ආයතනයේ පුරෝජීවවිද්‍යාඥ(palaeobiologist), ආචාර්ය ජීසස් ලොසානෝ-ෆර්නෑන්ඩස් ‘ඇත්තටම පොසිලගත මේ ගෝනුස්සා ගොඩබිම වාසය කළ සතෙකු නම් මේ හා සමාන ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ උපක්‍රමයක් සහිත මකුළු වැනිඅරක්නිඩාවන් හෝ අරක්නිඩාවන් සියල්ලනම් පවා ඒ වනවිටත් ගොඩබිම අරක්ගෙන සිටි බව හැඟවෙනවා’ යයි කියා සිටී.
The Guardian(Science)හී පළ වූ Ancient fossil ‘may prove scorpion was first land-dwelling animal’ නම් ලිපිය ඇසුරෙනි.