සියල්ලෙහි සුලමුල 52: පරිගණක ගජසමත්තු  මහ පොළොව ඇත්තටම  උරුම කරගත්තෙහි ද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පරිගණක ගජසමත්තු  මහ පොළොව ඇත්තටම  උරුම කරගත්තෙහි ද?

මේ මහ පොළොව මත අන්තර්ජාලයට පෙර පැවති ජීවිතය සිහියට නගා ගැනීමට උත්සාහ දරන්න. බුහුටි ජංගම දුරකතන නැතිනම් smartphone නැත. සමාජ මාධ්‍ය නැත. Google,  Netflix,  Amazon, Uber හෝ Airbnb නැත. අඩුම තරමින් විද්‍යුත් තැපෑලවත් නැත. කිසිවෙකුට පුවත් දැනගැනීමට අවශ්‍ය නම් පුවත් පතක් මිලට ගැනීමයි කරන්නේ. සංගීතයට සවන් දෙන්න, චිත්‍රපටයක් බලන්න ඕන නම් සීඩී එකක් මිලදී ගන්න එකයි ඇත්තේ. කනට ඇසෙන මානයේ නොමැති කෙනකු සමඟ කතා කිරීමට අවශ්‍ය නම් පරණ තාලේ දුරකථනයකින් අංක කරකවා ඇමතුම් ගන්න උත්සාහ කරන්න ඕන. මෙහෙම බලාගෙන ගියාම ඔය කිසිවක් නොමැති මධ්‍යතන යුගයට පෙර කාලයේදී එහෙමත් නැතිනම් 1990 ගණන් වලදී අප කොහොම ජීවත් වුණා ද කියලා හිතාගන්නවත් අමාරුයි, නේ?

අන්තර්ජාලය අද කොපමණ ප්‍රචලිතව පවතීද කියතහොත්, එය තවමත් කොපමණ නම්  අලුත් දෙයක්ද යන්න පහසුවෙන් අමතක වෙනවා. වසර 20කට පමණ පෙර අන්තර්ජාලය ගැන අහලාවත් තිබුනේ ඇමරිකන් ජනතාවගෙන් අඩක් ‍පමණ දෙනායි. ඒ කාලේ වුණත් අන්තර්ජාලය කියන්නේ අවශ්‍යයෙන්ම ගුප්ත, තාක්ෂණික පරිගණක විද්‍යා ව්‍යාපෘතියක්. එහි නිර්මාපක පුරෝගාමීන්ට පවා එය අවසානයේ කුමන කාර්යයක් සඳහා භාවිතයට ගනීවිද හෝ එය කොපමණ නම් විපර්යාසජනක වේ ද යන්න ගැන අවබෝධයක්, අදහසක් තිබුණේ නැත.

අදාළ රූපය

 

සබඳියාවට වඩාත් යහපත් මගක්

අන්තර්ජාලය පටන්ගත්වර්ෂයක් නැතිනම් බින්දුවේ (0) වර්ෂයක් වශයෙන් වර්ෂයක් වේ නම් එය ඉතින් බාගදා 1961 විය යුතුයි. ඒ කාලයේදී සන්නිවේදන පද්ධති යනු එක තැනක සිට තවත් තැනක් අතර සෘජු මාර්ග හෙවත් චැනලය. දුරකථන ඇමතුම් ලබාගැනීමට නම් එක දුරකථනයක සිට අනෙකකට සම්බන්ධවූ භෞතික වශයෙන් පවතින මාර්ගයකි. ගුවන් විදුලි සන්නිවේදන වනාහී  එක් තැනක සිට තවත් තැනකට යැවෙන විකාශනයන්ය. එසේ වුවත්  සෘජු සම්බන්ධතා සැමකක්ම බෙහෙවින් අකාර්යක්ෂමය. අන්තර්ජාලය ඇතිවීමට මග පෑදුවේ, පරිගණක වඩාත් හොඳ ආකාරයකට එකිනෙකට සම්බන්ධය කළ හැකිය යන ප්‍රධාන අන්තර් ඥාණයයි. එය මැසවුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඉංජිනේරුවකු වන ලෙනාඩ් ක්ලෙයින්රොක් ඉටුකළ කාර්යභාරයෙහි ප්‍රතිඵලයයි. පරිගණක විශාල ජාල හරහා දත්ත ගලා යාම වඩාත් හොඳින් සිදුවන්නේ  කෙලෙසද යන්න ගැන සිතන්න ක්ලෙයින්රොක් 1961 දී පටන්ගෙනයි තිබුණේ.

එක ලක්ෂ්‍යක සිට තවකකට සෘජුවම සම්පූර්ණ පණිවිඩය ගමන් කරනවා වෙනුවට ක්ලෙයින්රොක්ගේ මතය වුණේ පණිවිඩය කොටස්වලට හෝ ‘පැකට්ටු'(packets) ලෙස  කපා තනා,  ඒ එක් එක් කොටසට ජාලය හරහ තමන්ගේම ගමන් මඟ සොයා යාමට ඉඩ සැලැස්වීමයි. එවිට ගමනාන්ත පරිගණකය මගින්  සියලු පැකට් පැමිණියාට පසුව පණිවුඩය යලි එකලස් කෙරෙනු ඇත.

 

‘පැකට් ස්විචනය'(‘Packet switching’),  කැප මං(dedicated lines) භාවිතා කරනවාට වඩා බෙහෙවින් කාර්යක්ෂමය සහ නම්‍යශීලීය යන්න සනාථ වී ඇත. පරිගණක දෙකක් අතර සම්බන්ධයක් අක්‍රිය වී ඇත්නම් පැකට් වලට පහසුවෙන් වෙනත් මගක් සොයා ගත හැක. එහෙත් කාර්ය ඉටුකිරීමට, සන්නිවේදන ජාල ක්‍රියාකරන ආකාරය ගැන බරපතළ ලෙස නැවත සිතා බැලීමක් අවශ්‍ය විය. එක් එක් පැකැට්ටුව විමසා බලා(‘read’) ඒවයේ ගමනාන්තය වෙත යොමු කිරීම පිණිස ජාලය තුළ සුවිශේෂී උපකරණ තිබීම අවශ්‍ය විය. තවද එක් එක් පැකට්ටුවට ඇමිණුනු විශේෂ කේතයක් ද(code) අවශ්‍ය විය. එවිට එම කේතයට පැකැට්ටුවේ පණිවිඩය කුමක්ද සහ එය යළි ඒකලස් කරන්නේ කෙසේද යන්න මාර්ගකාරකයට හෙවත් රවුටරයට දැන්විය හැකි වේ. මෙම කේතය පසුකලෙක අන්තර්ජාල නියමාවලිය(internet protocol) යනුවෙන් පරිණාමය වූ රීති කාණ්ඩයක් හෙවත් පෙළක් බවට පත් විය. ඊට, ජාලය තුළ සෑම පරිගණකයකටම කැපකළ යොමුවක්(dedicated address) – අන්තර්ජාල නියමාවලි යොමුවක් ද(IP address) අයත් විය.

අදාළ රූපය

1966 දී මෙම කටයුතු උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය(Advanced Research Projects Agency – ARPA) නමින් හඳුන්වනු ලැබූ හමුදාමය පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයක අවධානයට ලක්විය. සිය පර්යේෂකයන් එකට සම්බන්ධ කළ හැකි විශාල පරිමාණයේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්නැයි එම සංවිධානය ක්ලෙයින්රොක්ට දැන්වීය. ඒ වන විට ඔහු ලොස් ඇන්ජලීස් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සේවයට ගොස් හමාරය. හෙතෙම ප්‍රථම මංසල(node) ඔහුගේම පරීක්ෂණාගාරයේත්, දෙවැන්න සැන්ප්‍රැන්සිස්කෝ ආසන්නයේ,  ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ ද පිහිටුවීය. තව තවත් මංසල ඊට එක් කරනු  ලැබූ අතර ක්‍රමයෙන් වර්ධනය වන ජාලය ARPANET වශයෙන් ප්‍රකට විය.

The initial four-node ARPANET (1969)

අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට

ප්‍රථම සම්ප්‍රේෂණය සාර්ථක එකක් නොවීය. ‘login’(පුරනවා) යන වචනය යවද්දි ක්ලෙයිරොක්ගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය බිඳ වැටීමට ලක් වීම හේතුවෙන් ප්‍රථම පණිවිඩය හුදු ‘lo’ යන්න පමණක් විය. login යන සම්පූර්ණ වචනය ඊට පැයකට පමණ පසුව සාර්ථකව යවනු ලැබීය. ඔය කීවේ 1969 ඔක්තෝම්බර් 29 දා ගැනයි. ඉතින් 1973 වනවිට ARPANET,  හවායිවල සිට එක්සත් ජනපදය හරහා ලන්ඩනය  දක්වා විහිදිනි. එය මෙලෙස වැඩෙද්දී පෙනී ගිය කාරණයක් වූයේ නියමිත කාර්යය සඳහා එහි පාලක මුදුකාංගය ඔබින්නේ නැති බවයි. පරිගණක විද්‍යාඥයන් වන වින්ට් සර්ෆ්(Vint Cerf) සහ රොබට් ඛාන්(Robert Khan) යන දෙදෙනා වඩාත් හොඳ අනුවාදනයක් සැපයූහ. ඔහු අන්තර්ජාල නියමාවලිය හෙවත් ප්‍රොටෝකෝලය යාවත්කාලීන කරමින් අලුත් නියමාවලියක් – එනම් TCP/IP (Transmission Control Protocol/Internet Protocol)  නැමැති සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය/ අන්තර්ජාල ප්‍රොටෝකෝලය නිර්මාණය කළේය. මේ නව නියමාවලිය (ජාලය) පරිගණක එකිනෙක හඳුනාගන්නේ කෙලෙසද යන්න සිට සම්ප්‍රේෂණ දෝෂහඳුනා ගන්නේ කෙසේද යන්න දක්වා අවශ්‍ය සෑම දෙයක්ම විස්තරාත්මකව දැක්වී ය.

TCP/IP හෙවත්  සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය/ අන්තර්ජාල ප්‍රොටෝකෝලයහී සාර්ථකත්වය සහ ඊට එල්ලවු බාධා මධ්‍යයේ අන්තර් ජාලය අද තිබෙන තැන දක්වා ගමන් මග ගැන හෙට(26 ඉරිදා) තතු ලිපියෙන් කියවන්න.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ DID THE GEEKS REALLY INHERIT THE EARTH? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.