ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
පරිගණක ගජසමත්තු මහ පොළොව ඇත්තටම උරුම කරගත්තෙහිද? II කොටස
අසාර්ථකත්වයෙන් සාර්ථකත්වයට
පරිගණක විද්‍යාඥයන් වන වින්ට් සර්ෆ්(Vint Cerf) සහ රොබට් ඛාන්(Robert Khan) යන දෙදෙනා අන්තර්ජාල නියමාවලිය හෙවත් ප්‍රොටෝකෝලය යාවත්කාලීන කරමින් අලුත් නියමාවලියක් – එනම් TCP/IP (Transmission Control Protocol/Internet Protocol) නැමැති සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය/ අන්තර්ජාල ප්‍රොටෝකෝලය නිර්මාණය කරමින් මේ නව නියමාවලිය (ජාලය) පරිගණක එකිනෙක හඳුනාගන්නේ කෙලෙසද යන්න සිට සම්ප්‍රේෂණ දෝෂහඳුනා ගන්නේ කෙසේද යන්න දක්වා අවශ්‍ය සෑම දෙයක්ම විස්තරාත්මකව දැක්වූ බව තතු ඊයේ ලිපියේ දැක්වීය.
නව නියමාවලිය(සම්ප්‍රේෂණ පාලන ප්‍රොටෝකෝලය / අන්තර්ජාල ප්‍රොටෝකෝලය) ස්ටැන්ෆර්ඩ් රසවිය සහ ලන්ඩන් විශ්ව විද්‍යාල කොලීජිය අතර සම්බන්ධකයන් මගින් 1975 දී සාර්ථකව අත්හදා බලන ලදී. අන්තර්ජාල ඉතිහාසයේ එය අතිශය වැදගත් මොහොතක් සලකුණු කළේය. එහෙත් ඒ අතරේ හිරිහැර අවහිර ද ගොඩ නැඟෙන්නට විය. පරිගණක ජාල ලොවපුරා පැන නැගුණු නමුත් බොහොමයක් භාවිත කළේ තමන්ගේම නියමාවලින්ය. මේ ජාලයන්ට එකිනෙක හා සංවාදයකට යාමට නොහැකි වූ අතර අන්තර්ජාලය එක තැන වෙන වෙනම භාෂාවන් කථා කරන්නාවූ බයිබලයේ උත්පත්ති කතාවේ එන බාබෙල් කොත (Tower of Babel) සිහිගන්වන්නක් බවට පත්වීමේ අවදානමට ළං විය.
එහෙත් මේ තත්ත්වය සෙමින් වෙනස් වන්නට විය. 1982 දී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය ජාල සියල්ල ඔස්සේ TCP/IP යොදා ගත් අතර ඊට පසු වසරේදී ARPANET ද එයම අනුගමනය කළේය. මේ අතරවාරයේ AT&T නම් දුරකථන සමාගම UNIX පරිගණක බසින් රචිත TCP/IP අනුවාදයක් වැඩිදියුණු කිරීම ඇරඹීය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඕනෑම කෙනෙකුට භාවිතයට ගැනීමට හැකිවන ආකාරයට එය පොදු වසමට (public domain) මුදා හරිනු ලැබීමයි.
මෙම ප්රඥාගෝචර, ත්‍යාගශීලී ක්‍රියාව අන්තර් ජාලයේ ව්‍යාප්තිය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කළේ UNIX බස ධාවනය වන ඕනෑම පරිගණකයකින් මාර්ගගත වීමට හැකියාව ලබන හෙයිනි. ඒ 1989 දීය. අන්තර්ජාලයෙ සුවිශේෂී ක්ෂණික වර්ධනය මේ සමගම සිදුවීම හුදු සම්පාතයක් නොවේ.
එම වසරේ දී ම තවත් වැදගත් වර්ධනයක් සිදු විය. එම අවධියේ යුරෝපයේ විශාලතම අන්තර්ජාල මංසල (නෝඩුව) වූයේ ජිනීවා ආසන්නයේ අංශු භෞතික විද්‍යා පරීක්ෂණාගාරය වන CERN(derived from French acronym for European Council for Nuclear Research) හිය. එහි සිටි තරුණ පරිගණක විද්‍යාඥයකු වන ටිමි බර්නර්ස්ලී යම් කලකිරීමකට පත්ව සිටියේය. ඒ ලේඛන බැලීමට, බෙදාහදාගැනීමට සහ සම්බන්ධ කිරීමට අන්තර්ජාලයට ක්‍රමයක් නොතිබීම ගැනයි. මීට පිළියම් යොදනු වස් ඔහු WorldWideWeb (විශ්ව විසිරි ජාලය) යනුවෙන් නම් කෙරුණු මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කළේය. ලොව ප්‍රථම වෙබ් බ්‍රව්සරය ද ඊට ඇතුළත් ය. එපමණක්ද නොව අධි සන්ධාන(hyperlink) සන්ධාන නිර්මාණ කිරීමේ අංගයක් වන අධිපාඨ සංලක්ෂණ (hypertext transfer protocol or HTTP.) භාෂාවක්ද ඇතුළත් කර තිබුණි. ඔහු එය උපයෝගී කරගෙන ප්‍රථම වෙබ් අඩවිය තැනූ අතර එය info.cern.ch හි මාර්ග ගත කළේය.
The corridor where WWW was born. CERN, ground floor of building No.1
තොරතුරු විප්ලවය
පරීක්ෂණාගාරයෙන් මිදී එළියට ඒමට දෘඩාංගය වන අන්තර්ජාලයට අවශ්‍ය වූ මෘදුකාංගය විශ්ව විසිරී ජාලයයි. අධෝ ව්‍යුහය ව්‍යාප්ත වෙද්දී එහි කර මත නැගී ගත් එය පැතිරී යන්නට පටන් ගත්තේ ලැව්ගින්නක් සේ ය. 1993 වර්ෂයේදී ලොව තොරතුරු ප්රවාහයෙන් ජාලය ගෙනගියේ හුදු සියයට එකක් පමණි. අද එය සියයට සියයකට ආසන්නය. එය, මින් පෙර නොවූ විරූ පරිමාණයකින් සහ වේගයකින් සිදු වූ තාක්ෂණික විප්ලවයකි. අන්තර්ජාලය කරළියට ඒමට පෙර කාලය ඔබගේ මතකයේ ඇත්නම් ඔබ වාසනාවන්තයෙකු යැයි සිතා ගන්න: මන්ද, ඉතිහාසය ඔබේ ඇස් පනාපිට දිගහැරෙන බව ඔබ දැක ඇති හෙයිනි.
1968 ටේ මාදිලියේ අන්තර්ජාලය
අන්තර්ජාලයෙ පරිණාමයේ තවත් මං සලකුණක් වන්නේ සියලු නිදර්ශකයන්ගේ මව (The Mother of all Demos) ලෙස හැඳින්වීමට පාත්‍ර වූ සිද්ධියකි.1968 දෙසැම්බර් 8 වැනිදා කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ ඉංජිනේරුවන් පිරිසක් සැන්ෆ්රැන්සිස්කෝ හි පැවති පරිගණක තාක්ෂණ සමුළුවකට සහභාගී වූහ. එය පැවැත්වුණේ පරිගණකයේ අනාගතය නිදර්ශනය කිරීමටයි. අනෙකුත් නවෝත්පාදක අතර මෙහිදී වීඩියෝ සමුළු(video conferencing) සහයෝගිතා සංස්කරණය(collaborative editing) අධිපටිත (hypertext) සහ පරිගණක මවුසය ඔවුන් විසින් අනාවරණය කරන ලද විය. මේ නිදර්ශන එයට වසර තිහකට පමණ පසුව සාමාන්‍ය තත්ත්වයක් බවට පත් ජීවන මග ගැන පුරෝකථනය කරමින් සිදු කළ කාල්පනිකව ඉදිරිපත් කිරීමක් වුවද එය සැබෑවක් බවට පත් වූයේ අන්තර්ජාලය යනුවෙන් හැඳින්වීමට ලක්වූ මුළුමනින්ම අලුත් සංවේදන පද්ධතියේ ක්ෂණික වර්ධනයෙන් පසුව පමණකි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ DID THE GEEKS REALLY INHERIT THE EARTH? පරිච්ඡේදය ආශ්රයෙනි.