සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 53: අප අභ්‍යවකාශය ජය ගන්නේ කෙලෙසද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අප අභ්‍යවකාශය ජය ගන්නේ කෙලෙසද?

1944 සැප්තැම්බර් 8 වැනිදා හිරු උදාවූයේ භයානක ආයුධයක බලය මුළු ලොවට කියාපාමිනි. ප්‍රථමයෙන් පැරීසියට ද, ඉන් අනතුරුව ලන්ඩන්වලටද දැවැන්ත බෝම්බ අතොරක් නැතුව අහසින් කඩා වැටෙන්නට විය. මේවා වෙන මොනවත් නොව ජර්මනියේ නට්සිවරුන්ගේ අන්තිම තුරුම්පුව V-2 බැලිස්ටික් මිසයිලය. පරාජයට පත්වෙමින් තිබෙන සටන ජයග්‍රහණය කරා ගෙන යාමට ඒවා සමත් වේ යැයි හිට්ලර් අදහස් කළේය. එහෙත් ඔහුගේ වෑයම සාර්ථක නොවීය. එසේ වුවද එම මිසයිල ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට සමත්විය.

V-2 ප්‍රථම රොකට් ආයුධය නොවීය: නැපෝලියානු යුදවල දී වෙඩිබෙහෙත්වලින් බලගැන්වූ මිසයිල නිර්මාණය කරනු ලැබීය. එහෙත්  V-2 තමයි  වේගයෙන් උඩට ගමන් කොට අභ්‍යවකාශයේ ඉම ආසන්නයට පැමිණීමට හැකි වූ ප්‍රථම රොකට්ටුව. ඒ සඳහා අපගේ ස්තූතිය හිමි විය යුත්තේ ඇමරිකානු ඉංජිනේරුවරයෙකු වන රොබට් ගොඩාඩ්ට ය. 1882 දී උපත ලද ඔහු කුඩා කල ඇතිවූ රෝගී තත්ත්වයකදී  ස්වෝත්සාහයෙන්ම වායු ගති විද්‍යාව(aerodynamics) හැදෑරීමෙන් අනතුරුව අභ්‍යවකාශ ගමන් යනු කළ හැකි දෙයක් බව ඒත්තු ගත්තේය.

පේට්න් බලපත්‍ර දෙකක් ඉල්ලා ඔහු 1904 දී ඉල්ලුම් පත්‍ර දැමිය. ඒ, ඔහු කල්පනා කළ අන්දමට පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට තරම් ප්‍රමාණවත් බලයක් සහිත එකම තාක්ෂණය සඳහාය: එනම් බහු-අවස්ථා, ද්‍රව ඉන්ධන රොකට්ටුය.  1919 දී සිය අදහස් තවදුරටත් ඉදිරියට ගෙන යමින් හෙතෙම ප්‍රතිභාපූර්ණ ග්‍රන්ථයක් පළ කළේය: A Method of Reaching Extreme Altitudes(අතිශය දුර උන්නතාංශය කරා ළංවීමේ මඟක්).

රොකට් මිනිස්සු

අභ්‍යවකාශ ගමන් ගැන සැලසුම් ඉදිරිපත් කළ එකම ඉංජිනේරුවරයා ගොඩාඩ් නොවීය. ජර්මන් ජාතිකයෙකු වූ ඕබන් හර්මාන්  1922 හයිඩල්බර්ග් විශ්වවිද්‍යාලය වෙත රොකට් විද්‍යාව ගැන ආචාර්ය උපාධි නිබන්ධනයක් ඉදිරිපත් කළේය. එහෙත් එය ප්‍රතික්ෂේප විය. ඊළඟ වර්ෂයේදී හෙතෙම By Rocket into Planetary Space (රොකට්ටුවෙන් ග්‍රහලෝකමය අභ්‍යවකාශයට) නම් ග්‍රන්ථයක් ස්වයං ප්‍රකාශනයක් හැටියට පළ කළේය. මෙයින් අනුප්‍රාණය ලද ඔහුගේ මත වලට සමාන අදහස් දැරූ ජර්මානුවන් කණ්ඩායමක් විසින් ග්‍රහලෝකාන්තර ගමන් අධ්‍යනය සඳහා වූ  සංගමය (Society for Studies of Interplanetary Travel) පිහිටුවා ගන්නා ලදී.

මේ අතරවාරයේ සෝවියට් දේශය ද අන්තර් ග්‍රහලෝක ගමන් අධ්‍යයනය සඳහා වූ සංගමය පිහිටුවීය. එය, මොස්කව් හි මිලිටරි ඇකඩමිය ආශ්‍රයෙන් පැන නැගුණු නිල ආයතනයකි. 1924 දී මෙම සංගමය චන්ද්‍රයා වෙත රොකොට්ටුවක යැවීමේ ශක්‍යතාව ගැන ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය. ලොව ප්‍රථම ද්‍රව ඉන්ධන රොකට්ටුව නිපදවීමටත් සහ අවසානයේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ යදම් වලින් ගැලවීමටත් සඳහා වූ තරගය ආරම්භ විණ. ප්‍රථම සාර්ථකත්වය හිමි වූයේ ඇමරිකානුවන්ට ය. 1926 මාර්තු 16 වෙනිදා මැසචුසෙට්ස් හි ඕබන්වලදී ද්‍රව ඉන්ධන රොකොට්ටුවක් දියත් කරනු  පරික්ෂා කිරීම භාරව සිටියේ ගොඩාඩ් ය. එහෙත් එය සැබැවින්ම චන්ද්‍රයා වෙත ගිය ගමනක් නම් නොවීය. තත්පර  2.5 කාලයක් මීටර් 12ක උන්නතාංශයක් දක්වා ගිය රොකට්ටුව අසල ඇති ගෝවා පාත්තියකට කඩාවැටීමෙන් වෑයම නිම විය.  අභ්‍යාවකාශයට යා හැකි මාදිලියේ යානයක් තනන්නේ නම්, යම් ආකාරයකින් එය මෙහය විය යුතු බව ඔහු තේරුම් ගත්තේය. ඒ අනුව  , ගොඩාඩ් ඊට චලනය කළ හැකි පෙති සහ විභ්‍රම පාලකයන්(gyroscopic control) එක් කළේය.

first liquid-fuelled rocket launch, in Auburn, Massachusetts

මේ මොහොත වන විට ගොඩාඩ්, තරගයේ බෙහෙවින් ඉදිරියෙන් සිටියේය. එසේ වුව ද ඔහුගේ ප්‍රතිවාදීහු ද කඩිනමින් ඔහුට ආසන්න වෙමින් සිටියහ. ස්ථිතික පර්යේෂණයකදී රොකට් එන්ජිමක් සාර්ථකව නිදර්ශනය කිරීමට ඕබත් සමත් විය. ඔහුගේ එම කණ්ඩායමට වර්නර් ෆොන් බ්‍රෝන් නම් 18 හැවිරිදි ශිෂ්‍යයෙක් ද අයත්විය.(වැඩිකල් නොගොසින්ම ඕබත් පරයා යමින් ජර්මානු ප්‍රයත්නයන්ගේ සැබෑ නායකයා බවට පත්වීමට බ්‍රෝන්ට හැකි විය).

1933 දී සෝවියට් සංගමය (රොකට් විද්‍යාවේදීන් අතරේ අනාගත දැවැන්තයකු බවට පත්වන) සර්ජි කොරලොව් ගේ  මගපෙන්වීම යටතේ සමීක්ෂණ රොකට්ටුවක් දියත් කළේය. සෝවියට් සංගමයේ අභ්‍යවකාශ වැඩසටහන මෙහෙයවන මාර්ගෝපදේශකයා අශයෙන් පත්වූයේද ඔහුය. පෘථිවිය වටා ප්‍රථමවරට ගමන් කළ මිනිසා බවට 1961 යූරි ගගාරීන් පත්වෙද්දී ද අභ්‍යවකාශ වැඩසටහන බාරව සිටින්නේ  ඔහුය.

යුද්ධය බලාපොරොත්තුවෙන් ලෝකය පෙළ ගැසෙද්දී ලෝකයේ ආණ්ඩු මෙන්ම රටවල සන්නද්ධ හමුදා ද රොකට් සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් ක්‍රියා කරන්නට වූහ. වෙනත් රටකට යොමුකර බොත්තමක් එබීමෙන් පුපුරණ ද්‍රව්‍ය යැවීමට යම් රටකට හැකියාවක් ලැබීම කෙතරම් හාස්කමක් වනු ඇතිදැයි එම රටවල පරිකල්පනය කරන්නට ඇත. එහෙත් අභ්‍යවකාශ ගමන් පිළිබඳ වඩාත් උදාර අදහස් යට ගියා සේ පෙනේ.

බෝම්බ සටන

ජර්මනිය ඉක්මනින්ම පෙරමුණට ආවෙය. පසුව V-2 රොකට්ටුවට මගපාදන මූල කෘතියක් පිළිබඳ වැඩ 1933 ආරම්භවිය. ප්‍රථම සාර්ථක පරීක්ෂණ දියත් කිරීම් 1934 දී සිදුවිය. එහෙත් ආරම්භක අවස්ථාවේ අත්පත් කරගත් ප්‍රගතියෙන් අනතුරුව බ්‍රෝන් සහ ඔහුගේ කණ්ඩායම අනපේක්ෂිත බාධාවන් රැසකට මුහුණ දුන්හ. හිට්ලර්ගේ ඇල්මැරුණු උනන්දුව ඒ අතරින් කැපී පෙනුණි. කෙසේ වෙතත්  යුද්ධයේ වාසි මිත්‍ර හමුදා පැත්තට හැරෙද්දි නට්සි රොකට් වැඩසටහන  වේගවත් කෙරිණ.

යම් අංශවලින් ගත් කල V-2 බෙහෙවින් සාර්ථකත්වයක් ඇති කරගත්තකි. එය ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලයයි.  කාරණාව වඩා සම්බන්ධව ගතහොත් 1944 ජුනි 20 දා  කළ සිදුකළ පරීක්ෂණ පියසැරියකදී එය මිනිසා විසින් නිපදවනු ලැබ, ප්‍රථමයෙන්ම අභ්‍යවකාශ ගත වූ  වස්තුව බවට පත්විය.  ද්‍රව ඉන්ධනයෙන් බලගැන්වෙන විශාල රොකට්ටුවලට මිනිසුන් අභ්‍යවකාශයට ගෙනයා හැකි බවට මේ වන විට විද්‍යාඥයන්ට තිබුණා නම් තිබුණේ අල්ප සැකයකි. කෙසේ වෙතත් දෙවන ජගත් සංග්‍රාමයේදී නට්සීන් පරාජයට පත් වීමෙන් අභ්‍යවකාශ තරගයෙන් ජර්මානුවන් ඉවත් කෙරිණ. ඒ  පිළිබඳව හා ඉන් එහාට අභ්‍යවකාශතරණය ගැන කතාව හෙට(පෙබරවාරි 2) තතු ලිපියෙන් කියවමු.

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE CONQUER SPACE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: