බොහෝ දේවල් ගැන නිශ්චිත නැතිනම් යථාතථ්‍ය අවබෝධයක් නැතිකම හේතුවෙන් අපට අවාසි සිදුවන්න පුළුවන්. එවැනි දේවල් අපට කොපමණ හුරුපුරුදු ද කීවොත් ඒවා ගැන නිශ්චිතව, යථාතථ්‍යව බලන්න වැඩි වෙහෙසක් ගන්නේවත්, වැඩි උනන්දුවක් දක්වන්නේවත් නැහැ. දැන් බලන්න, ඉංග්‍රීසියෙන් rat කීවත් mouse කිවත් අප අතරේ සමහරු එක විදිහට සලකනවා මිසක් rat කියන්නේ මීයා සහ mouse කියන්නේ කොස් ඇට මීයා කියා වෙන්කොට සැලකීමක් නැහැ. වෛරස ගැන වුණත් එහෙමයි. වෛරස, බැක්ටීරියා, විෂබීජ, ක්ෂුද්‍ර ජීවීන්, (දිලීර පවා) එක ගොඩකට දාලා අපට වින කරන කොට්ඨාශයක් හැටියට සලකනවා හැර නිශ්චිත අවබෝධයක් ලබා ගන්න වෙහෙසෙනවා අඩුයි. වෛරස ගැන අප ඊයේ ලිපිය පළ කළේ, මේ ආකාරයට වෛරස ගැන නිශ්චිත අවබෝධයක් ලබා දීමටයි. අද අපි කොරෝනා වෛරස පවුල හෙවත් කුලය ගැන කෙටියෙන් කතා කරමු.
කොරෝනා වෛරස හඳුනාගමු
කොරෝනා(Coronavirus) යනු ක්ෂීරපායින් සහ පක්ෂීන් අතරේ මාරාන්තික විය හැකි(විභවයක් ඇති) රෝග හට ගන්වන මාදිලි ඇතැයි දැන හඳුනාගනු ලැබ ඇති වෛරස කුලයකි. මනුෂ්‍යයන් අතරේ ඒවා පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයෙකු නිපදවනු ලැබ වාතයට එක්වන, බිඳිති මගිනි.
වුහාන් කොරෝනා වෛරසය(Wuhan coronavirus (2019-nCoV) සහ සාර්ස්(SARS හෙවත් දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය= severe acute respiratory syndrome) හා මර්ස්(MERS හෙවත් මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය= Middle East respiratory syndrome) සඳහා වගකිව යුතුවන මාදිලි ඇතුළු ඇතම් දුර්ලභ, එහෙත් වඩාත් ප්‍රකට මාදිලි මානවයන්ට මරණය ගෙන ආ හැක.
කොරෝනා වෛරසය ගැන ප්‍රථමයෙන්ම විස්තරාත්මකව පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවේ 1960 ගණන් වලදීය. කොරෝනා වෛරසයට එහි එම සුවිශේෂී නම පට බැඳෙන්නේ අංශුව වට කොට ඇති ආවරණය(envelope) ඉස්මත්තේ නෙරා සිටින corona හෙවත් crown යනුවෙන් දැක්වෙන ඔටුන්නක ආකාර සීනිමය ප්‍රෝටිනවලිනි. වෛරසයේ සැකැස්ම(makeup) කේත ගත කරන්නේ RNAපාදක වෛරස අතුරෙන් ඕනෑම එකක ඇති වඩාත්ම දීර්ඝ ජෙනොමයයි — දළ වශයෙන් වත්ථු(පාද) 26,000 සිට 32,000 දිග නියුක්ලෙයික් අම්ල තනි දාමයකි.
කොරෝනා කුලයේ නැතිනම් පවුලේ හඳුනා ගනු ලැබ ඇති ගණ(genuses) හතරකි. නම් වශයෙන් දක්වතොත්, Alphacoronavirus, Betacoronavirus, Gammacoronavirus, සහ Deltacoronavirus. මුලින් දැක් වූ ගණ දෙක ආසාදනය කරන්නේ වවුලන්, සූකරයන්(ඌරන්), බළලුන්, සහ මනුෂ්‍යයන් පමණකි. Gammacoronavirus වැඩිපුරම කුකුළන්, තාරාවන් වැනි පක්ෂීන් ආසාදනය කරන අතර Deltacoronavirus ගණයට පක්ෂීන් සහ ක්ෂීරපායින් යන දෙපිරිසම ආසාදනය කළ හැක.
Wuhan coronavirus (2019-nCoV)
වුහාන් කොරෝනා වෛරසය ප්‍රථමයෙන්ම හඳුනා ගනු ලැබුවේ චීනයේ වුහන නම් නගරයේ දී 2019 ය. අදවන විට එය ලොව පුරා පැතිරෙන්නේ ඉන් මරණයට පත්වන සංඛ්‍යාව ද ඉහළ දමමිනි.
(සාර්ස් සුවිශේෂී කොරොනා වෛරස මාදිලියක් ලෙස 2003 දී හඳුනා ගනු ලැබූ අතර රටවල් 26ක 8,000කට වැඩි දෙනා ආසාදනයට පත් කරමින් මරණ 800කට ආසන්න සංඛ්‍යාවකට හේතුවිය.
මර්ස් මුලින්ම හඳුනාගනු ලැබුවේ 2012 දීය. ඒ සෞදි අරාබියෙන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට ඉන් රටවල් 27 ක 2,500 ආසාදනයට ලක්වී මරණ 860ක් පමන ගෙන ආවේය)
අද සහ ඊයේ තතු ගෙන ආ ලිපි වලට අමතරව වුහාන් කොරෝනා වෛරසය ගැන විස්තරාත්මක ලිපියක් හෙට පළවේ. නොවැරදීම තතු කියවන්න. තතු ඥානයේ ආනන්දය ගෙන එයි.
ScienceAlert.com වෙබ් අඩවියේ What Is a Coronavirus?
යන ලිපිය ඇසුරෙනි
–
ඉතා වැදගත් ලිපි පෙළක්.