කොරෝනා වෛරසය — යථාර්තය සහ මිත්‍යාව

Posted by

කොරෝනා වෛරස යනු සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාව සිට වඩාත් දරුණු සාර්ස්(SARS හෙවත් දැඩි උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය= severe acute respiratory syndrome) හා මර්ස්(MERS හෙවත් මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය= Middle East respiratory syndrome) වැනි රෝගාබාධ ඇති කරවන විශාල වෛරස කුලයක් නැතිනම් පවුලකි. නව කොරෝනා වයිරසය(Novel Coronavirus (2019-nCoV))  යනු මෙයට කලින් මනුෂ්‍යයන් අතරේ තිබුණු බවට  හඳුනා ගනු නොලැබූ නව මාදිලියකි.

කොරෝනා වෛරසය යනු ශුනෝසීයයි(zoonotic). එහි තේරුම එම වෛරසය සත්වයන් සහ මනුෂ්‍යයන් අතරේ එකිනෙකාට සම්ප්‍රේෂණය වන බවයි. විස්තරාත්මක ගවේෂණවලින් හෙළි වී ඇත්තේ, සාර්ස් උරුලෑවන්ගෙන් (civet cats) මනුෂ්‍යයන්ට ද මර්ස්  තනි මොල්ලියේ ඔටුවන්ගෙන්(dromedary camels) මනුෂ්‍යයාට ද සම්ප්‍රේෂණය වූ බවයි. තවමත් මනුෂ්‍යයන්  ආසාදනයට පත් කරනු ලැබ නැති,  හඳුනා ගනු නොලැබූ කොරෝනා වෛරස කිහිපයක් ම සතුන් අතර සංසරණය වේ.

ආසාදනයේ සාමාන්‍ය ලක්ෂණ අතර, ශ්වසන රෝග ලක්ෂණ, උණ, කැස්ස, ඉක්මනින් හුස්ම ගැනීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළත් වේ. රෝගයේ වඩාත් දරුණු අවස්ථාවල ආසාදනය හේතුවෙන් නියුමෝනියාව, දරුණු උග්‍ර ස්වසන සින්ඩ්‍රෝමය (severe acute respiratory syndrome), වකුගඩු ක්‍රියා නොකිරීම සහ මරණය පවා ඇති විය හැකිය.

රෝගය පැතිරයාම වැළැක්වීම පිණිස සාමාන්‍යයෙන් නිර්දේශ කරන සම්මතයන් අතර. නිරතුරුවම අත සේදීම, කහිනවිට සහ කිවිසුම් හරින විට මූව සහ නාසය ආවරණය කිරීම, මස් වර්ග සහ බිත්තර හොඳින් පිස ගැනීම ඇතුළත් වේ. කැස්ස සහ කිවිසුම් වැනි ශ්වසනා රෝගාබාධයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සමග ගැවසීම හෝ සමීපව හැසිරීම වැළකි සිටීම යෝග්‍යය.

නව කොරෝනා වෛරසය ගැන ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක්

නිවසේ සිටින සුරතල් සතුන්ගේ මාර්ගයෙන් නව කොරෝනා වෛරසය පැතිරේ ද? අප ඇසුරේ සිටින බල්ලන් බළලුන්  සතුන් වැනි සුරතල් සතුන්ගෙන් නව කොරෝනාව බො වෙන බවට වර්තමානයේ   මේ වනතෙක්  සාක්ෂි නැත. කෙසේ වෙතත් සුරතල් සතුන් සමග කාලය ගත කිරීමෙන් පසුව සබන් සහ ජලය යොදා ගනිමින් අත් සෝදා ගැනීම සෑම විටම යහපත් පුරුද්දකි. සතුන් හා මනුෂ්‍යයන් අතරේ එහා මෙහා යන SARS සහ MERS වැනි බහුලව ඇති විවිධ බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂා වීමට මෙය උපකාරී වේ.

නව කොරෝනා වෛරසය බලපාන්නේ වයස්ගත පුද්ගලයන්ට ද නැතහොත් වඩාත් තරුණ අයත් ගොදුරුවීමේ ප්‍රවණතාවක් ඇත්ද?

සියලු වයස්වල ජනතාව නව කොරෝනා වෛරසය ආසාදිත විය හැකිය. වයස්ගත පුද්ගලයන් (ඇදුම, දියවැඩියාව සහ හෘදයාබාධ) වැනි කලක් පවතින සෞඛ්‍යමය තත්ත්වයන්ගෙන් හෙබි පුද්ගලයෝ  වෛරසය මගින් දැඩි ලෙස රෝගාතුර වීමේ නැමියාවක් නැතිනම් අනතුරට භාජනය වීමේ හැකියාවක් පෙන්නුම් කරති.

නව කොරෝසා වෛරසය වැළැක්වීමේ සහ ඊට පිළියම් කිරීමේ දී ප්‍රතිජීවක ඵලදායි ද?

නැත. ප්‍රතිජීවක ක්‍රියාකරන්නේ බැක්ටීරියා වලට එරෙහිව මිස වෛරසවලට එරෙහිව නොවේ. එහෙයින් වයිරසාත්මක නව කොරෝනාව වැළැක්වීම හෝ ඊට පිළියම් යෙදීමේ මාර්ගයක් ලෙස ප්‍රතිජීවක යොදා ගත යුතු නොවේ. කෙසේ වෙතත් ඔබ මෙම ආසාදනයෙන් රෝහල්ගත කර ඇත්නම් බැක්ටීරියාවන් හේතුවෙන්  සමආසාදන (co-infection) ඇති විය හැකි නිසා ඔබට ප්‍රතිජීවක ලබා දීමට ඉඩ ඇත.

නව කොරෝනා වෛරසය වළක්වා ගැනීම හෝ නව කොරෝනාව ට ප්‍රතිකාර කිරීමට සුවිශේෂිවූ හෙවත් නිශ්චිත ඖෂධ ඇත් ද?

නව කොරෝනා වෛරසය වළක්වා ගැනීම හෝ  ප්‍රතිකාර කිරීම සඳහා හෝ දැනට නිර්දේශිත සුවිශේෂී ඖෂධයක් නැත. කෙසේ වෙතත් මෙම වයිරසයෙන් ආසාදිත අයට රෝග ලක්ෂණ වලින් සහනය සැලසීම හා ප්‍රතිකාර සඳහා යෝග්‍ය පරිදි සත්කාර ලබා දිය යුතුය. එමෙන්ම දරුණු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා ප්‍රශස්ත  සත්කාර සේවා සැපයිය යුතු වේ. ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර සැලකිල්ලට භාජනය වෙමින් පවතී.

කොරෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද?

පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට මේ වෛරසය පැතිරෙන ආකාරය පිළිබඳ  නිශ්චිතව පර්යේෂකයෝ ඉගෙන ගනිමින් සිටිති. වසංගතය ව්‍යාප්තවීමේ සියලුම යාන්ත්‍රණයන් ගැන මෙතෙක් හරිහැටි නොදන්නා අතර කැස්ස හා කිවිසුම් නිසාවෙන් වාතයට එක්වන බිඳිති (droplets) යම් මතුපිටකට වැටීමෙන්  සහ වාතය හරහා සාර්ස් මෙන් බෝ වෙනවා විය හැකියි යයි වැන්ඩර්බිට්  විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාක් ඩෙනිසන් පවසයි.

ආසාදිත පුද්ගලයෙකු හා සමීප සම්බන්ධතා පැවැත්වීමෙන්, ඒ කියන්නේ  අඩි 3 සිට අඩි 6 දක්වා පරාසයක් කරා ළං වීමෙන් කොරෝනා වෛරසය බෝ විය හැකිය. වෛරසය මූලික වශයෙන් බෝ වන්නේ ආසාදිතයකු වෙනත් අයෙකු මත කැස්සෙන් සහ පිවිසීමෙන් යයි වොෂිංග්ටන් හී රාජ්‍ය  සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය කැති ලොෆී පෙන්වා දෙයි. එමෙන්ම  කිසියම් මතු පිටක රැඳී තිබෙන  වෛරස අංශු මගින් ද බෝ විය හැක.

ආසාදිතයකු කවුන්ටරයක් මතුපිට, දොරක අගුල වැනි මතුපිටක කිවිසිම හා කැස්සෙන් පසු වෙනත් අයකු එම මතුපිට ස්පර්ශ කිරීම රෝගය බෝවීමේ සුලබ ආකාරයකි.

මෙයින් කෙනෙකු ලෙඩ වීමට කොපමණ කලක් ගතවේද?

නව කොරෝනා වෛරසයේ බීජෞෂණ සමය — එනම් වයිරසයෙන් ආසාදිත වී රෝග ලක්ෂණ පෙන්නුම් කරනා තුරු කාලය — තවමත් හරි හැටි නොදනී. කොහොම නමුත් මහජන සෞඛ්‍යය විශේෂඥයන් ක්‍රියාකරන්නේ බීජෞෂණ කාලය දින 14ක් පමණ වෙතැයි යන උපකල්පනය මතයි. බිජ්‍යෙෂණ සමය තුළ පුද්ගලයන්ගෙන් රෝගය බෝ වේදැයි යන්න අපැහැදිලිය.

කොරෝනා වෛරසය වැලැක්වීමට ගත යුතු පියවර මොනවාද?

කළ හැකි සරලතම පියවරක් වන්නේ මනා අන්දමින් අත්  සේදීමයි. කෑමට පෙර, වැසිකිළි භාවිතා කිරීමෙන් පසුව සහ ඔබේ නාසය සූරන විට කැස්ස හෝ කිවිසුම් ගියවිට සහ මිත්‍රයෙකු හෝ ඥාතියකුට සත්කාර කිරීමට හෝ පෙර හෝ පසුව සබන් සහ ජලය යොදාගනිමින් අත් සේදිය යුතු යයි එක්සත් ජනපද රෝග පාලනය සඳහා වූ කේන්ද්‍රය නිර්දේශ කරයි. වඩාත්ම ඵලදායී ක්‍රමය ලෙස සැලකෙන්නේ අත් මුලින් දියරයෙන් තෙත් කර අනතුරුව සබන් ගා අඩුම තරමින් තත්ත්පර විස්සක්වත් හොඳින් ඇතිල්ලීමයි.

කොරෝනා වෛරසය සඳහා වැක්සිනයක් ඇත්ද?

දැනට කොරෝනා නව වෛරසයට පිළියම් කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. එහෙත් රටවල් කිහිපයක දී ඒ සම්බන්ධ ප්‍රයත්න ගණනාවන් ගනිමින් සිටුනු ලැබේ.

විෂබීජ නාශක වලට කොරෝනා වෛරසය විනාශ කළ හැකිද?

ඔව්. නිතර අතපත ගෑවෙන කවුන්ටර් මතුපිට, මේස උඩ, දොර අගුළු, නාන කාමර උපකරණ, වැසිකිලි, දුරකථන, පරිගණක,  පරිගනක යතුරු පුවරුව, ආදිය ඇතුළු වෛරසයට නිරාවරණය දේ විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම  මැනවි. වතුර ගැලුමකින් 4න් පංගුවකට බ්ලීච් මේස හැන්දක් එක්කර නිවසේදීම වුව එවැන්නන් සාදා ගත හැකිය.

 

මූලිකව ලෝක සෞඛ්‍ය සංවිධනය(WHO) සහ  Live Science, The Conversation, එක්සත් ජනපද රෝග පාලනය සඳහා වූ කේන්ද්‍රය (CDC) ආදී වෙබ් අඩවි අසුරෙන් සකසන ලදී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.