ආදරවන්තයින්ගේ දිනය ආදරයෙන් ගත කළ ආදරවන්තයන්ට, ආදරය ගැන වෙනස් අන්දමක කියැවීමක්.
අප ඇයි ආදරයෙන් වෙළෙන්නේ? ආදරයෙන් වෙළීමේ හොඳම ප්‍රතිඵලය ගත්තත් එය ගුණ අගුණ දෙකෙහිම සම්මිශ්‍රණයක්. නරකම ප්‍රතිපලය ගතහොත් එය ශාපයක් වෙන්නත් පුළුවනි. ඉතාමත් බුද්ධිමත් අප පවා ආදරය නිසා මෝඩයන් සේ හැසිරෙනවා. ආදරවන්තයෝ අපේ හදවත බිඳ දමනවා. පවුල සමහරක් වෙලාවට අපව පිස්සු වට්ටනවා. යාළු මිත්‍රාදීන් වුණත් මහා පාවාදීම් කිරීමට පුළුවන්. ඒත් අප සහජයෙන්ම උරුම කරගෙන තිබෙන්නේ එකිනෙකා සමග සම්බන්ධ වෙන්නටයි. එයින් ගම්‍යවන්නේ ආදරය සදහා ඇති විභවය(හැකියාව) පරිණාමය වූ බව සහ, එමෙන්ම ස්වභාවික වරණය එකිනෙකාට ආදරය, කරුණාව දැක්වීමට පේ වූ බවයි. අපගේ ක්ෂීරපායි ආදිතමයන්ට ඩයිනෝසෝර යුගයේ දිවි රැකගෙන ජීවත් වීමට උපකාර කරමින් ආදරය වසර මිලියන ගණනාවක් මුළුල්ලේ පරිණාමය වූ බව පොසිල වාර්තා අපට පවසයි.
මානවයන්ට ඇත්තේ අමුතු ආකාර, සංකීර්ණ චිත්තවේගී ජීවිතයි. රොමැන්ටික ප්‍රේමය — පිරිමින් සහ ස්ත්‍රීන් අතර ඇති දීර්ඝකාලීන බැඳීම — වෙනත් ක්ෂීරපායින් අතරේ නුහුරු දෙයකි. එමෙන්ම නෑදෑයින් නොවන පුද්ගලයන් සමඟ දිගුකාලීන සබඳතා පැවැත්වීම (මිත්‍රත්වය) ද මානව අප අතරේ ඇති සුවිශේෂී ලක්ෂණයකි. එසේ වුවද මනුෂ්‍යයන් සහ අනෙකුත් සියලුම ක්ෂීරපායින්ට පොදු වන එක්තරා වර්ගයක ආදරයක් ඇත. එනම්, මව සහ ඇගේ ජනිතයන් අතර බැඳීම. මේ බන්ධන ස්වරූපයෙහි සාර්වත්‍රිකත්වය ගැන බලන විට පෙනී යන්නේ එය, මුල්ම, ආදිතම බන්ධන(ආදර) ස්වරූපය බවයි. අනෙකුත් සියලු ආදර වර්ග පරිණාමය වන්නට ඇත්තේ එයිනි.
දෙමාපිය-ජනිතයන් අතර බන්ධනය ගැන සාක්ෂි මතු වන්නේ වසර මිලියන දෙසියයකට පෙර නවතම ත්‍රියාසික සහ මුල්ම ජුරාසික යුගයේදීය. ඇරිසෝනාවෙන් හමුවූ (ජුරාසික මුල් ක්ෂීරපායියෙකු වන) Kayentatherium ගේ ෆොසිල අතර මවක ඇගේ බිළිඳුන් 38 දෙනා රැකගනිමින් මියගොස් ඇති අන්දම සංරක්ෂණය වී ඇත්තේය. මේ චර්යාව මෙලෙස පැවතීමට නම් මවගේ මෙන්ම ජනිතයන් ගේ යන දෙකොට්ඨාශයම අතර සහජාශය(instincts) මුලින් පරිණාමය විය යුතුය.
Kayentatherium
කටුස්සන් වැනි සතුන් අතරේ දෙමාපියන්, හරියටම දෙමාපිය ගතියෙන් යුක්ත නැත. කොමෝඩෝ මකර(Komodo dragon) මවක් තම බිත්තර දමන්නේ ඒවායින් හටගන්නා පැටවුන්ට ඔවුන්ගේ දිවි රැකගැනීම් භාර දෙමිනි. ඉන් පසුව, යම්හෙයකින් ඇයට ඇයගේ පැටවුන් හමුවුණොත් නිසැකවම ඇය ඔවුන් කා දමනු ඇත: මන්ද කොමෝඩෝ මකරුන් ජාතිභක්ෂකයින්ය(cannibals). තම දිවි ගලවා ගැනීමට නම් මව දුටු පමණින් ඇගේ පැටව් දිව යා යුතුය. බිත්තරයෙන් පිටවන පැටව් ආරක්ෂා කිරීමට නම්, ඇගේ පැටවුන් පහසු ගොදුරු ලෙස නොව හොඳින් රැකබලාගත යුතු අසරණ කුඩාවුන් ලෙස දැකීමට හැකි වන අයුරින් මව තුළ සහජාශයන් පරිණාමය විය යුතුය. අනෙක් අතට මව යනු බිය ගෙන එන මූලයක් නොව, ආරක්ෂාව සහ උණුසුම සපයන මූලයක් ලෙස දැකීමට ජනිතයන් පරිණාමය විය යුතුය.
Komodo dragon
පසුකාලීන ත්‍රියාසික සමයේ වෙල්ස් රටේ පාෂාණ අතර අපට වඩාත් වර්ධනීය දෙමව්පිය සත්කාරය පිළිබඳ සාක්ෂි හමුවේ. මෙහිදී, ක්ෂීරපායින් අතරේ ඇති දත් හැලී නැවත පිහිටීමේ ලක්ෂණය පූර්ව-ක්ෂීරපායි(proto-mammal) Morganucodon පෙන්නුම් කරයි. ඔවුන් බිලිඳු අවධියේ දත් නැති අතර අනතුරුව කිරිදත් ඇති වී යාමෙන් පසුව වැඩිවිය දත් හට ගනී.
Morganucodon
මෙම දත් නැවත් පිහිටීමේ ලක්ෂණය, කිරි දෙන කාලය හා සම්බන්ධය. කිරි උරාබොන පැටවුන්ට දත් අවශ්‍ය නැත. එනිසා Morganucodon මව්වරු, කිරි නිපදවූහ. Morganucodon මව්වරු නූතන ක්ෂීරපායින් ලෙසම කුඩා අවධියේ පැටවුන්ට වැඩියෙන් සත්කාර කළ අතර එය පැටවුන් සමග දැඩි බැඳීමක් ඇති කිරීමට දායක විය. පැටවුන්ද ආහාරය සඳහා මව මත රැඳෙන හෙයින් ඔවුන් තුළ ද තද චිත්තවේගී බැම්මක් ඇති විය.
ක්ෂීරපායී ඉතිහාසයේ මේ අවස්ථාවේ අපේ ක්ෂීරපායී මුතුන්මිත්තෝ, කටුස්සන් මෙන් තනිකරම අනතුරු(බිය), ආහාර(බඩගින්න) හා සම්භෝගය(කාමාශාව) ගැන පමණක්ම සිතීමෙන් මිදුණහ. ඔහු එකිනෙකාට කරුණාවෙන් සලකන්නට පටන් ගත්හ. වසර මිලියන ගණනාවක් තිස්සේ ඔවුන් අතර බැම්ම එන්ට එන්ට දැඩි වූයේ ආරක්ෂා කිරීමෙන් හා ආරක්ෂාව පැතීමෙන්, ඒ වාගේම එකිනෙකාගේ උණුහුම පතමින්ද, එකිනෙකා සමඟ ක්‍රීඩා කරමින් ද එකිනෙකාට උගැන්වීමට මෙන්ම එකිනෙකාගෙන් උගෙන ගනිමිනි.
ක්ෂීරපායි සත්තු සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව පරිණාමය කරගත්හ. ඔවුහු විදග්ධ(සංකීර්ණ) සමාජ කණ්ඩායම් ලෙස පවුල් වශයෙන් ද, මිතුරන් වශයෙන් ද සම්බන්ධතා ඇතිකර ගත්හ. පුරුෂයන් සහ ස්ත්‍රීන් අතර රොමැන්තික ආදරය මෑතක ඇති වූ පරිණාමීය වර්ධනයකි. එහිදී, තම ජනිතයන් (ළමුන්) රැකබලා ගැනීම පිණිස පිරිමියා, ස්ත්‍රියට උදව් වෙයි. ක්ෂීරපායින්ගෙන් බොහෝ දෙනෙකු අතරේ පිරිමි සත්තු, (සම්භෝගයේ යෙදී) ජාන දායක කරනවා හැර වෙන කිසි උපකාරයක් නොකරන පවුල සමග නැති පියවරුන් ය(absentee fathers). අපගේ ළඟම ඥාතීන් වන චිම්පන්සියන් අතර දෙමාපිය රැකවරණය ඉතා සීමිතය.
බීවරයන්, වෘකයන්, සමහර වවුලන් ඇතැම් මීයන් සහ හෝමෝ සේපියන්ස් ඇතුළු විශේෂ කිහිපයක් සහයෝගීතාවයෙන් ළමුන් හදා වඩා ගැනීම පිණිස දිගු කාලීන ජෝඩු ලෙස බන්ධන ගොඩ නගති. වසර මිලියන 6කට 7කට පෙර අපේ පූර්වජයන් චිම්පන්සියන්ගෙන් වෙන්වීමෙන් පසුව ජෝඩු බන්ධන පරිණාමය විය.
අද පරිසර පද්ධතිය අභිභවනය කරගෙන සිටින්නේ දෙමාපිය සත්කාරය අගයන සතුන්ය: ක්ෂීරපායින් සහ පක්ෂීන් මෙන්ම කූඹි, මීමැස්සන් සහ වේයන් ආදී සියල්ලන්, සිය ළමයි රැක බලා ගැනීමට වෙහෙසෙන්නෝය. භෞමික පරිසර පද්ධතිය තුළ ආධිපත්‍ය පතුරුවා ගෙන සිටින්නේ ඔවුන්ය. ඒ අයුරින් පෘථිවිය මත වඩාත් ආධිපත්‍ය පතුරුවාගෙන සිටින සත්වයා, මනුෂ්‍යයා ය.
අන්‍යයන් වෙත දයාව සැලකිල්ල දැක්වීමට ඇති හැකියාව, සහයෝගීතාවට මග පාදයි. සහයෝගිතාව අපට තරග කිරීමේදී උපකාරී වේ. මනුෂ්‍යයන් වන අප ආත්මාර්ථකාමී විය හැකිය. විනාශකාරී විය හැකිය. එහෙත් අපට මේ පෘථිවිය මත ආධිපත්‍ය පතුරුවා ගැනීමට හැකි වී ඇත්තේ අප එකිනෙකා කෙරෙහි — ජීවන් සහකරුවන්ට, දරුවන්ට, පවුල්වලට, යාලු මිත්‍රාදීන්ට අනෙකුත් මනුෂයන්ට– සැලකිල්ල දැක්වීමට අප සතුව ඇති අසමසම හැකියාව නිසයි. ජීවයේ ඉතිහාසය තුළ කිසිදිනක දැක නැති මට්ටමක සහයෝගිතාවය එය මඟ පාදා ඇත.
The Conversation හී පළවූ The origin and evolution of love යන ලිපිය ඇසුරෙනි