නිර්මාණ හැකියාව: අපගේ නිර්මාණාත්මක මනස

Posted by

අපගේ නිර්මාණාත්මක මනස

මනුෂ්‍යයන් වන අපට කළ නොහැකි දේවල් බොහෝ තිබෙනවා. අපට චීටා සතෙකුට වගේ වේගයෙන් දුවන්නට බැහැ. රාජාලියෙකු වගේ අහසේ පියාසර කරන්නට බැහැ. එහෙමත් නැතිනම් වවුලෙක් වගේ ප්‍රතිධ්වනි නිශ්චයනය (echolocate =පරාවර්තනය වන ශබ්දයෙන් යම් යම් දේවල් පිහිටීම සොයා ගැනීම) අපට බැහැ. ඒවා එහෙම වුණත් අනෙකුත් විශේෂයන්ට වඩා අපට හොඳින් කළ හැකි දෙය තමයි අදහස් ජනනය කිරීම. අපි හැමතිස්සේම ඇතිපදම් අදහස් උපදවනවා. හොඳට හෝ නරකට. අපේ දක්ෂ නව නිපැයුම් අපට මේ ග්‍රහලෝකය අත්පත් කර ගන්නට මඟ පාදා තිබෙනවා.

අපේ පරිකල්පනමය ශක්තීන් ඉස්මතු වන අවස්ථා නිතැතින්ම එන ඒවා යයි සිතා එතරම් සුවිශේෂී නොවන ලෙස සැලකීමට අප පෙළඹෙනවා. ඒත් නිර්මාණාත්මක චින්තනය හුදු සාමාන්‍ය ප්‍රශ්න විසඳනවාට වඩා එහා ගිය දෙයක්. හුරුපුරුදු වස්තුන් වෙනස් ස්වරූපයකින් පරිකල්පනය කිරීමටත් — නිදසුනකට අහසේ වලාකුළු අතරේ රූප දැකීම —   එමෙන්ම අපට හමුවන දේවල් වල නව නිරූපණයන් දැක්වීම, (නිදසුනකට) දූවිලි මත මුහුණක සටහනක් ඇඳීම දැක්විය හැකිය. වෙනත් සත්වයන් මේ ආකාරයට ලෝකය දකියි ද යන්න අපි නො දනිමු. එහෙත් පැහැදිලිවම ඔවුන් සිය අභ්‍යන්තර ලෝකය කලාව තුළ නිරූපණය කිරීමට නම්  කාලය ගෙවා දමන්නේ නැත. කිසිදිනක පැවතියේ නැති දේවල් පරිකල්පනට නැගීමේ සුවිශේෂී හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ ඇතැයි ස්ථිර කර කිව හැක්කේ මිනිසුන්ට පමණකි: අප දැනටත් දන්නා දේ මනංකල්පිත අළුත්  දෙයක් ලෙස මිශ්‍ර කිරීම හෝ  ප්‍රශ්නවලට විසඳුම් සෙවීම

පුරාතන නිර්මාණ:

මනුෂ්‍යයන්ගේ මෙකී නිර්මාණාත්මක කුසලතාවන් පිළිබඳ මුල්ම ඉඟි සැපයෙන්නේ අපේ මුතුන්මිත්තෝ වසර මිලියන 3.3 ක ට පෙර මුල්ම ශිලා (ගල්) මෙවලම් නිෂ්පාදනය කිරීමත් සමගය. එහෙත් ඒ මුල්ම සංකේතාත්මක වස්තුව මතුවීම සඳහා වසර මිලියන තුනකට වැඩියෙන් කල්ගත විය. ඒ කියන්නේ මුල් කාලයේ මානවයන් සතුව වියුක්ත නිර්මාණ සිදු කිරීම සඳහා කුසලතාව  තිබූ බවටනිශ්චිත ලකුණකි. වසර 100,000කට පමණ පෙර, පුරාණ මානවයෝ  දකුණු අප්‍රිකාවේ බ්ලොම්බොස් ගුහාවෙහි හිරියල් කුට්ටියක  හරස්කඩ ලේඛන රටාවක්(cross-hatch pattern) කෙටූහ. වසර 90,000කට පමණ පෙර ඊශ්‍රායලයේ ක්වෆ්ෂේ ගුහාවේදී  සිවන්ගුරු පැහැයෙන් හැඩගැන්වූ සිප්පිකටු පබළු නිර්මාණය කෙරිණ. අනතුරුව වසර 50,000කට පමණ පෙර පටන් ගනිමින් නිර්මාණශීලිත්වයේ සැබෑ භක්තියක් ඇති විය. පුරාණ මානවයෝ, අස්ථි වලින් තැනූ නලා, ප්‍රංශයේ චෞවේ ගුහාවේ මනස්කාන්ත ගුහා චිත්‍ර, සිප්පි මෙන් පෙනෙන අන්දමට කැටයම් කළ ඇත් දළ පබලු වැනි පරිකල්පනාත්මක පෞද්ගලික ආභරණ සහ ජාමිතික රටාවන් කොටන ලද  සිඟිති ප්‍රතිමා නිපදවූහ. මේවා අතුරින් නිර්මාණ දෙකක් කැපී පෙනේ: ජර්මනියේ ස්වබියා කඳුකර කලාපයේ සිංහ-මිනිස් ප්‍රතිමා සහ චෞවේ ගුහාවේ බයිසන්-ස්ත්‍රී චිත්‍ර ඒ දෙකයි. දෙකම අරුම පුදුම මනංකල්පිත සතුන්ය.

ද්විමාන මතුපිටක (තලයක) ත්‍රිමාණ ස්වරූප ප්‍රතිනිෂ්පාදනය කිරීමට හෝ ඇත් දළ තුළින් ‘ප්‍රතිමා රූපයක්’ දැකීමට ඇති හැකියාව සඳහා ලෝකය පරිකල්පනය කරන ආකාරයෙහි සම්පූර්ණ වෙනස් මගක් අවශ්‍ය වේ. මේ ආකාරයේ චින්තනයකට මග පෑදීමට නම් ප්‍රධාන පරිණාමීය විපර්යාසයන් ගණනාවක් සිදු විය යුතුය. උඩු අතට සිටගෙන සිටීම ඒ ආකාරයේ එක් වෙනසක් විය හැකිය.ඉන් ශ්‍රෝණිය (උකුළු ප්‍රදේශය) පටු වීමෙන් හරිහැටි පරිණත නොවූ මොළයක් සහිත බිළිඳුන් වඩාත් කලින් උපදිය යුතු විය. මෙය දිගු කාල පරිච්ඡේදයක් තුළ අනුන් මත රැඳී සිටිය යුතු අසරණභාවයට මෙන්ම වඩා දිග්ගැසුණු ළමා කාලයකට මග පෑදුනේ පරිකල්පනමය හැකියාවන්ට වැඩි කාලවෙලාවක් ලබා දෙමිනි. අනෙකුත් පරිණාමීය බලපෑම් අපේ මොළවලට විශේෂණයවීමට මග පෑදුවේ විශේෂිත වූ සිතුවිලි වර්ග ගැන ක්‍රියාකරන  මානසික මොඩියුල වර්ධනය කිරීමටත් සහ විසම දැනුම් වර්ග හෝ චින්තන ක්‍රම එක් කරමින් නව අදහස් නිර්මාණය කිරීමටත් ඉඩ සැලසීය.

මනස පිළිබඳ සිද්ධාන්තය

වඩාත් විශාල සමාජ කණ්ඩායම් අතර ජීවත්වීම ද ප්‍රගතියක් ඇතිකිරීමට ඉවහල් විය. අපගේ සංකීර්ණ සමාජ ජීවිතය ගැන මනාව දැනුවත්ව සිටීමේ අවශ්‍ය්තාව ‘මනස පිළිබඳ සිද්ධාන්තය'(theory of mind) ගොඩ නැගීමට මග පෑදීය: අපගේ විශ්වාසයන් හා අදහස් වලට වඩා වෙනස් විශ්වාසයන් සහ අදහස් අන් අයට ඇති බව අවබෝධ කර ගැනීම. මෙම කුසලතාව පරිණාමය වන්නට ඇත්තේ කණ්ඩායම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇති කිරීමට විය හැකි අතර අනෙක් අය සිතන්නේ සහ කරන්නේ කුමක්දැයි යන්න ගැන චින්තනමය පරීක්ෂණ පැවැත්වීමට සහ එහි අතුරු ඵලයන් ලෙස විසම ක්‍රියාමාර්ග වල ඵල විපාක සොයා බැලීමට, ඇගයීමට අපට අවකාශ සැලසී ය.

අදාළ රූපය

භාෂාවේ පරිණාමය මෙය ඊළඟ තලයට ගෙන ගියේය. මෙය අපගේ සිතුවිලි අදහස් කණ්ඩායම් සෙස්සන් සමඟ බෙදාහදා ගන්නටත් මෙන්ම බොහෝ දෙනකු ගේ සිත් තුළ වර්ධනය කර ගැනීමටත් ප්රස්තාව සැලසුණි. ලේඛනය වර්ධනය වීමෙන් තවත් වේගවත් පිම්මක් පනින්නට හැකි විය. ඒ සමඟ අපට අදහස් වාර්තා කර තබා ගත හැකි වූයේ ඒවා ගැන තවදුරටත් ක්‍රියාකරමින් වැඩිදියුණු කරගැනීමටත් හැකිවන පරිදිය.  වසර 10,000කට පමණ පෙර තැනින් තැන යමින් දඩයම්කරුවන් හා ආහාර සොයායන්නන්  ලෙස ගත කළ ජීවිතය අත්හැර තැන්පත් ගොවි ජීවන රටාවකට පරිවර්තනය වීම බොහෝදෙනාගේ  මනසවල් එකට එක් කිරීමට හැකිවූ අතර ආහාර අතිරික්තයක් ඇතැයි කියන්නේ ආහාර සෙවීම සඳහා වැයවන කාලය අඩුකර සිතීමටත් නිර්මාණය කිරීමටත් වැඩි කාලයක් වැය කිරීමට අවස්ථාව ලැබීමයි.

එක්ව ගත් විට,  මේ වෙනස්කම් අදහස් ජනනයක් ලෙස ක්‍රියා කරන මොළයක් බවට පත්වේ. ඒත් ප්‍රධාන අභිරහසක් තවමත් ඉතිරි වී ඇත. මේ අදහස එන්නේ කොයිබින්ද? මොකද කීවොත් නිර්මාණාත්මක සිතුවිලි ඔහේ ගලාගෙන එන බවක් පෙනී යයි. එහි ගෞරවය දෙවිවරුන්ට භූතාත්මවලට සහ වඩාත් මෑතකදී නම්  උපවිඥාන මනසට ද  පිදෙයි.

ප්‍රතිභාසම්පන්න මොහොතවල්

මේ ගැන ඇති තවත් මතයක් වන්නේ ඇත්ත වශයෙන්ම යමක් අලුතෙන්ම තනනවාට වඩා නිර්මාණශීලීත්වය යනු ලෝකයේ දැනටමත් තිබෙන දේවල් සොයා ගැනීමට ඇති හැකියාවයි. ඒ කියන්නේ අදහසක් පණ ගැන්වුණු විට, එසේ වන්නේ එය, ලෝකය පිළිබඳව අප සැමට දැනෙන අර්ථයක් පිළිබඳ මූලික සත්‍යය හෙළි කරන හෙයිනි. නිදසුන් ලෙස, මොනාලීසා චිත්‍රය සැලකුම් ලබන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ යම් සත්‍යයක් මතු කිරීමට ලියනාඩෝ ඩාවින්චි සමත් වූ හෙයින් වන අතර E=mc²  සමීකරණය සුධීමත් නිර්මාණාත්මක කෘතියක් ලෙස සැලකෙන්නේ නිසි මනස මගින් සොයා ගනු ලබන තුරු දිගටම පැවති එකක් ලෙසටය.  අයින්ස්ටයින්ව වරක් පැවසූ පරිදි “පරිකල්පනය යනු …  ඉදිරියේ රඟ දැක්වෙන ජීවිත ජවනිකාවේ පූර්ව දර්ශනයයි”. ප්‍රතිභාසම්පන්න මොහොතවල් හටගන්නේ කෙළෙසද සහ ඒවා වැඩියෙන් සිදුවීමට සළස්වන්නේ කෙලෙසද යන්න අවබෝධ කර ගැනීමේ අභියෝගය වන්නේ අප ඒවා ගැන දැනුවත් වන්නේ අදහස විඥානය වෙත ලැබෙන  මොහොතේ දී පමණක් වීමයි. ඉන් පෙර සිදුවූයේ කුමක්ද යන්න අභිරහසක්ව පවතී. එහෙත් දැන් මොළ් අනුරූපණ සහ අනෙකුත් නවෝත්පාදන වල වාසිය සලසා ගනිමින් අපි සමහරක් ඉඟි එක්තැන් කරමින් සිටින්නෙමු.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ CREATIVITYනම් වන 09 වැනි පරිච්ඡේදයෙහි  Your creative mind යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.