අප දකින සිහින අපට එන්නේ කොයිබින්ද?
ලොකු කුඩා භේදයක් නැතිව අප කවුරුත් සිහින දකිනවා. සිහින ගැන විවිධ අදහස් මිනිසුන්ට තියෙනවා. සිහිනවලින් කියැවෙන දෑ ගැන විවිධ සංස්කෘතීන් අතරේ නොයෙකුත් කතාන්තර තියනවා. සිහින් මගින් අනාගතයේ වෙන දේවල් කලින් දැනුම් දෙන බවකුත් සමහරු විශ්වාස කරනවා. ඒ වගේම මේ සිහින, සුබ සිහින, බියකරු සිහින, නරක සිහින ආදී වශයෙන් මේ සිහින අපට එන්නේ කොයිබින්ද යන්න දැන ගැනීම සඳහා මිනිසුන් බොහෝ කාලයක් මුළුල්ලේ වෙහෙසෙනවා. අවංකවම කිව්වොත් විද්‍යාඥයන් පවා මේ සිහින එන්නේ කොයිබින්ද යන්න සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැහැ. ඒ වුණත් මේ සම්බන්ධව අදහස් කිහිපයක් ඔවුන් සතුව තියෙනවා.
Where Dreams Come From?
සිහින කියන්නේ ඔබ නිදා සිටින අතරවාරයේ පරිකල්පනය කරන දේවල් වගේ. (හිතලා බලන්න, අප අවදියෙන් සිටින වෙලාවට පරිකල්පනය කරන දේවලට අපි ඇතැම්විට සිහින කියලා කියනවානේ?) එහෙනම් අපට කියන්න තියෙන්නේ සිහින ගෙන එන්නේ අපේ පරිකල්පනය මගිනුයි කියලයි.
ඔබත් අපත් සියලු දෙනාම දන්නා අන්දමට අපේ පරිකල්පනය බෙහෙවින් බලගතුයි. නිකමට ඔබ ආශා කරන කෑමක් ගැන ඔබේ පරිකල්පනය අවදි කර බලන්න. ටික වෙලාවක් යනකොට කටට කෙල උනන්න වුණත් පුළුවන්! එච්චරට පරිකල්පනයේ බලපෑම තදයි.
අප නින්දට යනවා කියන්නේ හරියට පරිගණකයක් නිද්රාප්රකාරයට (sleep mode) ඇතුල් කරා වගේ. පරිගණකය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කර නැතුවා වගේම සාමාන්‍ය අවස්ථාවේ මෙන් එහි සියල්ල වැඩ කරන්නෙත් නැහැ. අප නින්දට ගිය විට අපට විවේකීව ගත කරමින් අපගේ ශක්තිය රැකගත හැකි වුණත්, අප සම්පූර්ණයෙන්ම අක්‍රීය නැහැ. අප නින්දට ගිය විට වුණත් අප මොළය අක්‍රිය නොවේ. මොළය දිගටම වැඩ කරන අතර එහෙත් එය අවදිව සිටින විට තරම් තදින් ක්‍රියා නොකරයි. අප අවදිව ඉන්නා විට තීරණ ගැනීමට අපට උපකාරී වන මොළයේ කොටස විවේකීව පසුවෙයි. ආන්න ඒ වෙලාවට තමයි අපේ පරිකල්පනය, පාලනයකින් තොරව ක්‍රියාත්මක වන්නේ.
අපි සිහින දකින්නේ ඇයි?
අප සිහින දකින්නේ ඇයි ද යන්න ගැන පර්යේෂණ පවත්වන අය සොයාගෙන ඇත්තේ බොහෝදෙනා සිහිනෙන් දකින්නේ මිතුරෙකු සමග ක්‍රීඩා කිරීම වැනි එදිනෙදා ජීවිතයේ සුලභව සිදුවන දේවල් බවයි. එසේත් නැතිනම් අපට වැදගත් වන දේවල් (උදාහරණ උත්සවයකට සහභාගි වීම) සිහිනයෙන් දකිනවා. සිහින දකින සතුන්ට ද මේ කාරණා සාධාරණ යැයි අපට සිතන්න පුළුවනි.බ්ළලුන් යම් යම් දේ හඹා යන ආකාරය ගැන සුලබව සිහින දකින බවක් පෙනේ. මන්ද බළලුන් අවදිව සිටින විට ඔවුන් වැඩියෙන්ම කිරීමට කැමැති වන්නේ ඒ කටයුත්තනේ.
අප යම් දෙයක් ගැන සිහින දකින විට පසුව අප අවදිව සිටින විට එය වඩාත් හොඳින් මතකයේ තබා ගැනීමට උපකාර විය හැකිය යයි විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. එහෙමනම් සිහින අපේ මතකයන් ශක්තිමත් කිරීමට උදව් වෙනවා විය හැකිය. සෑම දිනකම තමන් ඉගෙන ගත් දේ මතකයේ තබා ගැනීමට උදව් වීම පිණිස අපේ දරුවන් සෑම රැයකම සිහින දකින්න හොඳ නින්දක් නිදාගන්නා එකත් හොඳ අදහසක් වෙන්න පුළුවන්.
ගැටලු විසඳීම
සමහර විද්‍යාඥයන් කල්පනා කරන්නේ අපේ ප්‍රශ්න, ගැටලු එහෙම විසඳා ගැනීමට අපට සිහින උපකාරී විය හැකි බවයි. අපි හිතමුකෝ ඔබ අප යතුරු පැදියක් හෝ ස්කූටරයක් පැදවීමට ඉගෙන ගන්නවා කියලා. ඔබ බාගදා රිය පැදවීම ගැන සිහින දැකිය හැකියි. සමහරවිට යතුරුපැදිය හෝ ස්කූටරය පැදවීමට ඒ වගේම රථය සමබරව තබාගන්න, හැප්පෙන්න නොදී පදවන්න ආදී වශයෙන් එක් එක් ක්‍රම අත්හදා බලනවා සිහිනෙන් දකිනවා විය හකියි. එවිට ඔබ ඇත්තටම රිය පැදවීම නින්දේදී පුහුණු වෙනවා වගේ. අනතුරුව ඔබ අවදි වූවාට පසු ඔබට රිය හැසිරවීම ගැන යම් අවබෝධයක් ඇති වෙන්න පුළුවන්.
ඉතින් එතකොට අමුතුම ආකාරයේ සිහින ගැන මොනවාද කියන්න පුලුවන්? අප නිදාගෙන සිටින විට අපට ඇතිවන අමුතු සිතුවිලි වලින් යම් අරුතක් උකහා ගන්න අපේ මොළය දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විය හැකියි ඒ අමුතු ආකාරයේ සිහින. දුස්ස්වප්න නැතිනම් නපුරු සිහින වුණත් ඒ වගේ තමයි. අපේ බියකරු අත්දැකීම් ඒවා සිදුවූ ආකාරයටම, එහෙමත් නැතිනම ඒවා සිදුවෙතැයි අප සැකකරන ආකාරයටම නොව අප කැමති වෙනත් අවසානයක් නින්දට පෙර ලියා එය මදක් ‘සිතෙන් පුහුණුවීමෙන්‘ නින්දේ දී නරක හීන එතරම් බියකරු නොවන්නට ඉඩ ඇතැයි පර්යේෂකයන් පෙන්වා දෙනවා. ශරීරයට හොඳ විවේකයක් ලබා ගැනීමට නින්දේ දී හැකිවන අයුරින් සිහින, මනස කාර්ය බහුලව තබා ගන්නවා යැයි ඇතැම්හු විශ්වාස කරනවා.
කලින් කීවා සේ සිහින අපට එන්නේ කොයිබින්ද යන්න කිසිවකුත් ඇත්තටම දන්නේ නැහැ. බාගදා මෙයට පිළිතුර ඔබටම සිහිනයක දී දැනගන්න පුලුවන් විය හැකියි.
Curious Kids(The Conversation) වෙබ් පිටුවේ පළවූ Where do dreams come from? යන ලිපිය ඇසුරෙනි.