කුරුල්ලන්ට මරු කැඳවන නව ගොඩනැගිලි රටා
උස් ගොඩනැගිලි සහිත මහා නගර තව තවත් ඉහළටත්, පිටතටත් ව්‍යාප්ත වෙද්දී සෑම වසරකම වීදුරු ගොඩනැගිලිවල හැපීමෙන් එන්න එන්නම වැඩි පක්ෂීන්සංඛ්‍යාවක් මිය යමින් සිටිති. මීට අමතරව තවත් පක්ෂීන් බොහෝමයක් හොට කැඩියාම, තටු හා පාද හෝ වෙනත් කායික හානියට පත් වෙති. මේ අනතුරු මඟහරවා ගත හැක්කේ යහපත් සැලසුම් සහිත ගොඩනැගිලි ඉදි කිරීමෙනි.
ගොඩනැගිලි පාදක කුරුලු මරණ ගැන වැඩියක්ම පර්යේෂණ පැවැත්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙහි සහ කැනඩාවෙහි ය. එහිදී නිව්යෝර්ක්, ටොරොන්ටෝ වැනි නගර පිහිටා ඇත්තේ පක්ෂීන්ගේ සංක්‍රමණික මාර්ගයේ බව හෙළිවී තිබේ. නිව්යෝර්ක් නුවර පමණක් ගත්තොත්, පියසර කිරීමේදී ගොඩනැගිලිවල හැපී මියයන පක්ෂීන් සංඛ්‍යාව වර්ෂයකට දෙලක්ෂයක් පමණ වේ.
එක්සත් ජනපදය සහ කැනඩාව පුරා 1970 වර්ෂයේ සිට පක්ෂීන් ගහන, බිලියන 3 කින් පමණ අඩු වී තිබිණ. ඊට බලපෑ හේතු අතර වාසභූමි අහිමිවීම සහ නාගරීකරණය, පළිබෝධනාශක සහ ආහාර මූලයන් හීන කරවන ගෝලීය උණුසුම් වීමේ බලපෑම් ද දැක්විය හැකිය. එක්සත් ජනපදය තුල සෑම වසරකම පක්ෂීන් මිලියන 365 හේ සිට බිලියනයක් දක්වා ලෙස ඇස්තමේන්තු කළ පක්ෂීන් සංඛ්‍යාවක් ගොඩනැගිලිවල ගැටීම වැනි අස්වාභාවික හේතු නිසාවෙන් මිය යති. කෙසේ වෙතත් එම දේශය තුළ පක්ෂීන් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු කරන ඝාතකයා ලෙස තවදුරටත් රැඳී සිටින්නේ නිදැල්ලේ හැසිරෙන බළලුන් ය. එම බළලූන්ගේ සංඛ්‍යාව මිලියන 60 සිට 100 දක්වා පමණ වන අතර ඔවුන් අතරින් මරණයට පත්වෙන කුරුල්ලන් සංඛ්‍යාව වසරකට බිලියන හතරක් පමණ වේ. ඕස්ට්‍රේලියාවේ දඩාවතේ යන බළලුන් මිලියන හයක් පමණ ඇතැයි සැලකේ.
ඝාතක ගොඩනැගිලි
කුරුල්ලන් බොහෝමයක් පැයට කිලෝමීටර් 30 ත් 50 ත් අතර වේගයකින් පියාසර කරති. උකුස්සන්ට පැයට කිලෝමීටර් 200 ක් පමණ වේගයකින් පියාසර කළ හැකිවේ. තවද, සංක්‍රමණික පක්ෂීහු සාමාන්‍යයෙන් දවසකට පැය පහක් හයක් (පොලොවට) මීටර් 150ක් පමණ උසකින් ද සමහර අවස්ථාවල ඊටත් වැඩි උසකින් ද පියාසර කරති. මළපුඩුව වැටෙන්නේ ඔන්න ඔතනදි ය. ඒ උස් ගොඩනැගිලි හේතුවෙනි. කුරුල්ලන් සාමාන්‍යයෙන් පියඹා යන උසට වඩා බොහෝමයක් ගොඩනැගිලි උසින් වැඩිය. නිදසුන් කිහිපයක් ගමු. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඕස්ට්‍රේලියා 108 (Australia 108) ගොඩනැගිල්ල මීටර් තුන්සිය දාසයක් උසය. යුරේකා(Eureka) මීටර 300කි
Australia 108
අහස සිඹින මන්දිරවලට ප්‍රසිද්ධියක් උසුළන නිව්යෝර්ක් නුවර ඇති එවන් උස් ගොඩනැගිලි සිය ගණනක් අතරේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය(WTC – World Trade Centre) මීටර් පන්සිය හතළිස් එකක් උසය. නිව්යෝර්ක් නුවර උස් ගොඩනැගිලි අතර සිය වැනි ස්ථානය හිමි කර ගන්නා පස්වැනි මාවතේ 712 (712 Fifth Avenue) ගොඩනැගිල්ල පවා මීටර් 198 ක් උසයි. මේ උස් ගොඩනැගිලි බොහොමයක් (විශේෂයෙන්ම තරමක් මෑතක සිට ගොඩනැගෙන ඒවා) සම්පූර්ණයෙන්ම වාගේ පරාවර්තනය වන වීදුරු බිත්ති වලින් යුක්තය. මෙම වීදුරු වනාන්තරවලින් මතුවන ගැටළුව තවත් සංකීර්ණ කරමින්, මුදුනෙහි පියැසිවල පරිසර හිතකාමී ‘හරිත බිම්’ තිබිය යුතු යයි නියමයක ඇත. ලගින කුරුල්ලන් මේවාට ආකර්ශනය වන බව වාර්තා වේ. අනතුරු සිදුවන්නේ, මෙකී පරාවර්තනක කැණියම තුළ සිට ඔවුන් ආපසු පිටත්ව යන අවස්ථාවල් දී ඔවුන් පරාවර්තිත රූප, හිස් ආකාසය හෝ පිටුපස ඇති ගස්කොළන් ලෙස වරදවා වටහා ගැනීමට ලක් වෙමිනි.
අද ලෝකයේ බොහෝ පුරවරවල ඉදිකෙරෙන්නේ වීදුරු බිත්ති සහිත ගොඩනැගිලිය. සාමාන්‍යයෙන් පිටත බිත්තිවලින්(පෘෂ්ඨයෙන්) සියයට හැටක් පමණ වීදුරුවලින් ආවරණය වූ ගොඩනැගිලිබහුලව දැකිය හැක.
මේ වීදුරු බිත්ති බොහෝමයක් ඉස්සර කාලයේ ජනේල මෙන් ඇරීමට වැසීමට හැකි ඒවා නොවන අතර පැහැදිලි රාමු වලින් ද තොරය( ඒ කියන්නේ එක් තනි වීදුරු බිත්තියක් ලෙසය. පරාවර්තනය වූ රුවක් බව නොදන්නා කුරුල්ලන් එය දකින්නේ පරිසරයෙම කොටසක් ලෙසිනි). රාත්‍රී කාලයේ දී ප්‍රශ්නය වෙනස් මුහුණුවරක් ගනී. ගොඩනැගිලිවල ආලෝකය කුරුල්ලන් අන්දමන්ද කර වීමට බලපායි. එමෙන්ම, රාත්‍රියේදී සමහර පක්ෂීහු ආලෝකය දෙසට ඇදී එති. එවිට වීදුරු බිත්ති ක්‍රියාකරන්නේ ඉලක්ක කරා යාමට ඇති අදිසි බාධකය ලෙස ය.
ගොඩනැගිලි පක්ෂීන්ට ආරක්ෂා සහිත ස්ථාන බවට පත් කිරීම
වියන, කඩතිර, ග්‍රිල්, ශටර(shutters) ආදී නිර්මාණ ශිල්පමය අංග කුරුල්ලන් ගොඩනැගිලිවල වැදීමෙන් වැළැක්වීමට උපකාරී විය හැකිය. පාරාන්ධ (විනිවිද පෙනෙන) වීදුරු පක්ෂීන්ට අනතුරු හැඟවීමට දක්වන්නට සමත් වේ. මනුෂ්‍යයන්ට පාරජම්බුල ආලෝකය දැකිය නොහැකි වුවත් පක්ෂීන්ට පුළුවන. පාරජම්බුල තරංග ආයාම මිශ්‍ර රටා යොදා ගනිමින් එහෙත් ඉන් මනුෂ්‍යයන්ගේ පෙනීමෙහිලා බලපෑමක් නොකරන අලුත් වීදුරු වර්ග වැඩි දියුණු කිරීමට නිෂ්පාදකයෝ ක්‍රියා කරති.පක්ෂීන්ට අනතුරු හැඟවීමට මෙවැනි නවෝත්පාදාන උපකාරී වේ.
bird friendly building design
කුරුල්ලන්ට වීදුරුබිත්ති හඳුනා ගැනීමට හැකි වන අයුරින් නිර්මිත ගොඩනැගිලි තැනීමේදී යොදා ගැනීමට බල කෙරෙන නව, පාක්ෂි මිත්‍ර නීති නිව්යෝක් නුවර පරිපාලනය මගින් මෑතක සම්මත කෙරිණ. වීදුරු උපද්‍රව කල් ඇතිව කුරුල්ලන්ට දැනගත හැකි වන නව ක්‍රම ගැනද කරුණු සොයා බැලේ. කෘතිමව තැනූ උකුස්සන්, ගිජු ලිහිණියන් මෙන් ම සැබෑ උකුස්සන්, ගිජු ලිහිණියන් යොදා ගැනීම, බැලුන්, බයහිතෙන ශබ්ද, වායු තුවක්කු සහ මියගිය පක්ෂීන් වැනි විවිධ ක්‍රම එකට මිශ්‍ර කර යොදා ගැනීම ගැනද සැලකිල්ල යොමු වී ඇත. රාත්‍රී කාලයේ දී මෙන්ම අඳුරු දිනවලදීද ලේසර් කිරණ යොදා ගැනීම ගැන ද පර්යේෂකයෝ අත්හදා බලති.
පක්ෂීන් හා මිනිස් අප හවුලේ භුක්ති විඳින පරිසරයක් ලෙස මහනගර වඩාත් හිතකාමී ස්ථාන බවට පත්කිරීමේදී පක්ෂීන්ගේ දායකත්වය ඉහළ අගයක් ගනී. මනුෂ්‍යයන්ගේ වාසස්ථාන හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් පක්ෂීන්ට නිදහසේ සහ ආරක්ෂා සහිතව පියාසර කිරීම කෙරෙහි ඇති වන බලපෑම් අවම කිරීමට ක්‍රියා කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් වන්නේය.
The Conversation (UK edition) හී පළවූ Buildings kill millions of birds. Here’s how to reduce the toll යන ලිපිය ඇසුරෙනි