තාපය, කොරෝනා වෛරසය වනසා දමයි ද?
පෘථිවියේ උත්තර අර්ධගෝලයේ ශීත සමය නිමාවට පත් වෙද්දී නව කොරෝනා වෛරසය හේතුවෙන් හටගත් කොවිඩ් 19(Covid-19) වසංගතයත් නිමාවට පත් වෙයිද? මේ බවට ඇතැම් පර්යේෂකයන් විසින් හැඟවීම් කර ඇති අතර අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකු විසින් එම මතය පුනුරුච්චාරණය කර තිබේ. මේ කතාවේ ඇත්තක් තිබේ ද? අද තතු ලිපියෙන් විමසා බැලෙන්නේ ඒ ගැනයි.
“අපි නම් කොහෙත්ම දන්නේ නෑ” මෙහෙම කියන්නේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ පිළිබඳ මහාචාර්ය ටෲඩි ලෑන්ග්ය. “මම මගේ වෛරස විද්‍යාඥ සගයන්ගෙන් නිතරම මේ ගැන අහනවා. ඒත් ඒ කිසි කෙනෙක් එහෙම දෙයක් දන්නේ නැහැ. ඉතින් කවුරුහරි කියනවානම් කාලගුණය වෙනස් වී පරිසරය උණුසුම් වෙනකොට වෛරසය අතුරුදන් වෙයි කියලා ඒක ඉතාමත් වැඩකට නැති සාමාන්‍යකරණයක් විතරයි” මහාචාර්යවරිය කියාසිටියි.
සාමාන්‍යකරණයක්? පෙබරවාරි 10දා ඩොනල් ට්‍රම්ප් කියාසිටියේ එහෙම සාමාන්‍යකරණයක් ගැන වෙන්න ඇති. “සාමාන්‍යයෙන් කියනවා නම් මේ වගේ වෛරස තාපය හේතුවෙන් මැරී යනවා“ඔහු රැස්වීමක් අමතමින් ප්‍රකාශ කර සිටියා. “උණුසුම් වීම පටන් ගත්තාට පස්සේ අප්‍රියල් වෙද්දී (වෛරසය) නැතිවී යයි කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ”. මේ වගේ කියා පෑම් සිදුකරන එකම දේශපාලනඥයා ට්‍රම්ප් පමණක් නොවේ. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මෑතක ITV රූපවාහිනියේ වාර්තාකරු ටොම් ක්ලාක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී මෙහෙම කියා සිටියා:
“එක්සත් රාජධානිය වෙත පැමිණෙන්නාවූ කොරෝනා වෛරස සම්ප්‍රේෂණය අඩු කරන වසන්ත සමයේ හා ගිම්හානයේ සමයේ දී කොරෝනා වෛරසයේ හුදු එක් විශේෂිත නිදසුනක් පමණක් වන නව කොරෝනා වෛරසය පැතිරයාම මන්දගාමී වේවි කියලා තමයි බලාපොරොත්තුව”.
දැන් 2019-nCoV ලෙසදැක්වෙන නව වෛරසය යම මතුපිටක දින හතරක් දක්වා කාලයක් නොනැසී පැවතිය හැකියයි කල්පනා කරනු ලබනවා. ඒත් වඩාත් උණුසුම් තත්ත්වයක් යටතේ නව කොරෝනා වෛරසය එ පමණ කාලයක් නොනැසී පවතින්නේ නැතැයි සමහර පර්යේෂකයන් අදහස් කරනවා. ඊස්ට් ඇන්ග්ලියා එක්සත් රාජදධානියේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන පෝල් හන්ටර් ද ඉන් එක්කෙනෙක්. “එක්තරා අන්තයක සිද්ධවිය හැකි සිදුවීමක් ලෙස ගතහොත් එය (වෛරසය) ගිම්හානයේදී වියැලිලා විනාශ වී යන්න පුළුවන්.“ හන්ටර් කාරණාව තවදුරටත්පැහැදිලි කරමින් කියා සිටිනවා, “අනෙක් අන්තයක සිදුවිය හැකි සිද්ධියක් වන්නේ ගිම්හාන සමයේදී අඩුවී ගොස් යළි ශීත සෘතුවේදී ආපසු ඇවිදින් ස්ථානීයබවට (endemic) පත්වෙලා හැමතැනකම වගේ පැතිරිලා යන්න පුළුවන් වීමයි”. කෙසේ වෙතත් වඩාත් සීතල තත්ත්වයන් යටතේ එය පැතිර යාමේ සම්භාවිතාව වැඩි නම් ඉදිරි මාසවලදී දක්ෂිණ අර්ධගෝලයේ තත්ත්වයන් වඩාත් සිසිල් වෙන විට සීග්‍රයෙන් පැතිර යාමේ අවස්ථාව වැඩි වෙනවා.
ස්වස්තථාව සහ නිවර්තන වෛද්‍යවිද්‍යා ලන්ඩන් පාසලේ මහාචාර්ය ඩේවිඩ් හේමාන් එංගලන්තයේ මහජන සෞඛ්‍ය සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළ අයෙකි. 2003 වර්ෂයේදී සාර්ස්(SARS) කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ අවස්ථාවේ, ඊට ගෝලීය ප්‍රතිචාරය මෙහෙය වුයේ ඔහුය. අගෝස්තුවේ, සෞදි අරාබියාවේ ඉතා ග්‍රීස්ම කාලයකදී මර්ස්(MERS) කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ බව ඔහු පෙන්වා දෙයි. “මෙම වෛරසයන්ට පැහැදිලිවම ඉහල උෂ්ණත්ව තත්වයන් යටතේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. හේමාන් කියා සිටී.
ගිම්හානයේදී ඉන්ෆලුවැන්සාව වේගයෙන් පැතිර නොයාමට එක් හේතුවක් ලෙස දක්වන්නේ ජනතාව කුඩා ඉඩකඩක එකට එක්වි වැඩි වේලාවක් ගත නොකිරීමයි. විශේෂයෙන්ම, පාසල් නිවාඩු සමය නිසාවෙන් එලෙස ළමුන් එක්ව ගතකරන් කාලය අඩුවීම ද මෙයට බලපාන්න පුළුවන් බව පෙන්වා දෙනු ලබේ.කෙසේ වෙතත් ඉන්ෆ්ලුවැන්සාව පැතිරීමට ළමයින් හේතු වන්නේ බොහෝ (ඉන්ෆ්ලුවැන්සා) මාදිලිවලට නිරාවරණය වී ඇති වැඩිහිටියන් තරමට ළමුන් නිරාවරණය වී නොසිටීම නිසාවෙන් ඉන්ෆ්ලුවැන්සාව වඩාත් පැතිරෙන්නට පුළුවනි.
එහෙත් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මෙය වෙනස්ය. මෙම වෛරසය කුඩා එවුන්ට වැළඳීමේ අවස්ථා වාර්තා වන්නේ අඩුවෙනි. ඒත් ඉතින් එහෙම වෙන්නේ ඔවුන් බරපතළ ලෙස රෝගාතුර වීමට ඇති ඉඩප්රස්ථා අඩුවීම නිසා වෙන්නන්ත් පුළුවනි.
රස්නය සහ ආර්දතාව වෛරසයට බලපාන්නේ කෙසේද යන්න ගැන තමනට අවබෝධයක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ආසාදන (රෝග බෝවීම) වලක්වා ගැනීම ගැන ඇති එම සංවිධානයේ මාර්ග උපදේශ වල සඳහන් වන්නේ මතුපිටකට පැමිණෙන 2019-nCoV ස්ථාවරත්වය ගැන දත්ත කිසිවක් වර්තමානයේ ලබාගන්නට නැහැ” යනුවෙනි.
New Scientist International(22nd February, 2020) හි පළවූ Will heat kill the coronavirus? යන ලිපිය ඇසුරෙනි