වසර 42,000 හිම තුළ සිටි පණුවෝ යළි පණ ලබති
නොදැනුවත්වම මද නින්දකට වැටෙන ඔබ හදිසියේ ඇහැරුනොත්, තෝන්තුවා ගතියකට පත්වෙලා තමන් ඉන්නේ කොතැනද යන්නවත් දන්නෙ නැති අන්දමන්ද වූ ස්වරූපයකට පත්වන බවක් ඔබටත් දැනී තියනවද? ඒ ඉතින් කෙටි නින්දකින් පසුව නේ. නිකමට හිතන්න අවුරුදු 42,000කට පස්සේ ඇහැරුණොත්? හැබැයි ඉතින්, නිදාගෙනවත් අපට අවුරුදු 42,000ක් ජීවත් පුළුවනැයි? ඒත් පණුවෙකු ආකාර නෙමටෝඩාවන්ට(nematodes) පුළුවනි.
යිබීරියාවේ නිත්‍ය තුහින(permafrost) දියවී යද්දී නෙමටෝඩාවන් – ඒ කියන්නේ පසෙහි ජීවත්වන අන්වීක්ෂීය පණුවන් – (චතුර්ථ භූ යුගයේ මුල් අවධියට අයත්) ප්ලිඉස්ටොසීන යුගයේ(Pleistocene) සිට වසර දස දහස් ගණනක් අධි සීතලක මිදී(හිමායිකව) සිටියද මෙම පණුවන්ගේ විශේෂ දෙකක් සාර්ථකව යළිත් පණ ගන්වන්නට සමත් වී යයි නව අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. එම අධ්‍යයනයේ වාර්තාව Doklady Biological Sciences සඟරාවෙහි පළවිය. ආක්ටික් නිත්‍ය තුහින අතර දිගු කාලයක් නිද්‍රාගතව සිට යළි ඉපදුණු බහුසෛලීය ජීවින් පිළිබඳ ප්‍රථම සාක්ෂිය ලෙස මෙය සැලකිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති.
නෙමටෝඩාවන් සාමාන්‍යයෙන් දිගින් මිලි මීටර් එකක් පමණ වේ. ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණාට ඔවුන් සතුව කැපීපෙනෙන හැකියාවක් ඇතැයි සැලකේ. නොමටෝඩාවන් සාමාන්‍යයෙන් පඨවි පෘෂ්ඨයෙන් කි.මී.1.3ක් තරම් යට ජීවත් වන බව ද සොයාගෙන ඇත. මෙය, වෙන කිසිම බහුසෛලීය සත්වයකු ජීවත් නොවන ගැඹුරකි. ඉන්දියානු සාගරයේ දූපතක ජීවත් වන ඇතැම් නොමටෝඩා පනුවන්ට තමන්ට ලබාගත හැක්කේ කුමන ආහාර වර්ගය ද යන්න අනුව විවිධ කටවල් පහකින් එකක් වර්ධනය කරගත හැක. තවත් සමහර නොමටෝඩාවෝ, හම්බෙල්ලන් ගේ බඩවැල්වල (අන්ත්‍රෙයහි) ජීවත්වීමට අනුවර්තනය වී සිටිති. ඔවුන්ගේ ගමනාගමනය සඳහා යොදා ගන්නා වාහනය හම්බෙල්ලන් ගේ අසූචි ය.
Sieberian permafrost
නව අධ්‍යයන සඳහා පර්යේෂකයන් ආක්ටික් නිත්‍ය තුහින නිධි 300ක සාම්පල විශ්ලේෂණය කළ අතර හොඳින් සංරක්ෂණයවූ නෙමටෝඩාවන් ගණනාවකින් සමන්විත සාම්පල දෙකකක් සොයා ගැනීමට සමත්ව ඇත. එක සාම්පලයක් රුසියාවේ ඊසාන දිග කොටසේ අලශෙයා ගංගාව අසළ බෙනයක තිබුණු පොසිලයකින් එක් රැස් කර ගන්නා ලද්දකි. එම නිධිය වසර 32,000ක් පැරණි යයි ගණන් බලා තිබේ. අනික් නිත්‍ය තුහින සාම්පලය සයිබීරියාවේ ඊසානදිග කොලයිමා ගංගාව ආසන්න ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ අතර අසල එම නිධිය වසර 42,000ක් පමණ පැරණි වන බව සැලකේ. නිත්‍ය තුහින සාම්පල වලින් පර්යේෂකයො පණුවන් වෙන් කොට ගත්හ. ඒ සියල්ලන් ගැහැනු පණුවන් ය. දැනසිටි නෙමටෝඩ විශේෂයන් දෙකක් මොවුන් ගෙන් නියෝජනය කරන බව අනාවරණය විය. ඒ Panagrolaimus detritphagus සහ Piectus parvus ය. හිමාහරනයෙන් පසු ව පණුවන් එහෙ මෙහෙ යමින් බුදිමින් සිටින බව පෙනීණ. බහුසෛලීය සතුන් අතර ‘ස්වභාවික අධිශීත සංරක්ෂණය'(natural cryopreservation) පිළිබඳ ප්‍රථම සාක්ෂිය යයි අධ්‍යයනයෙහි දැක්වේ. අයිස් මත මිදී සිට සහස්‍ර ගණනාවකින් පසුව යළි පණ ගැන්වුණු ප්‍රථම ජීවීන් නෙමටෝඩාවන් නොවේ. මෙයට පෙර විද්‍යාඥයන් පිරිසක් සයිබීරියානු නිත්‍ය තුහින අතරේ වසර 30,000ක් මිදී සිටි යෝධ වෛරසයක් පණ ගැන්වීමට සමත් වූහ(මිනිස් අපට බයවෙන්නට කාරණාවක් නැත්තේ මේ වෛරසයේ ප්‍රහාරයට ලක්වන්නේ ඇමීබාවන් පමණක් වීමය).
මේසා විශාල කාල ඡේදයක් හිම තුළ ගත කිරීම සඳහා පුරාණ නෙමටෝඩාවන් සතුව තිබූ යාන්ත්‍රණ හඳුනාගැනීම පිණිස තවදුරටත් අධ්‍යයනය කළ යුතුය: මේ ආකාර අනුවර්තනයවීම් ක්‍රියා කරන ආකාරය අධිශීත වෛද්‍ය විද්‍යාව, අධිශීත ජීව විද්‍යාව හා තාරකාවිද්‍යා ජීව විද්‍යාව ආදී වශයෙන් බොහෝ විද්‍යා අංශ කෙරෙහි අනුමිති තිබිය හැකි බව පර්යේෂකයෝ දක්වති.
Live Science හී පළවූ Worms frozen for 42,000 years in Siberian permafrost wriggle to life යන ලිපිය ඇසුරෙනි