දත් මැද්දට පස්සේ දොඩම් පානයේ රස නැතුව යන්නේ ඇයි?
උදේ ආහාරයෙන් පස්සේ හරි, රස්නෙ පවතින දවසක දහවල හරි, නැවුම් දොඩම් ගෙඩියක් මිරිකා සකසාගත් බීම වීදුරුවක රස බලන්න කවුද අකැමැති. ඔබ මේ රසැත් පානය බොන්නේ දත් මැද්ද ගමන්ම වාගේ නම් ඒක එතරම් රසවත් නොවන්න පුළුවන්. ඒත් ඉතින් දන්තාලේප දොඩම් යුෂවලට වගේම් අනෙකුත් රසවත් දේ වලට බලපෑමක් ඇති කරන්නේ ඇයි? හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ T. H. වාන් පාසලෙහි පෝෂණය පිළිබඳ මහාචාර්ය ගයි ක්‍රොස්බි පවසන අන්දමට නම් කතාව පටන් ගන්නේ (අපේ දිවෙහි) රසාංකුර (taste buds) වල ඇති රස ප්‍රතිග්‍රාහක වලිනුයි(taste receptors). කෙටියෙන් කීවොත් දන්තාලේපවල ඇති සෝඩියම් ලෝරිල් සල්ෆේට්(sodium lauryl sulfate – SLS) හෙවත් වඩාත් ප්‍රකට ලෙස දක්වනවා නම් SLS නම් සංයෝගය අඩුම තරමින් තාවකාලිකව හෝ අප ඇතැම් රස පිරිසකසන ආකාරය වෙනස් කරයි.
කොහොම වුනත්, අපේ දිවෙන් කොහොමද විවිධ රස හඳුනාගන්නේ කියලා මුලින්ම හොයලා බලමු. ඔබ ඔබේ දිව ඇඟිල්ලකින් ස්පර්ශ කර බැලුවොත් ඔබට දැනේවි දිවෙහි මතුපිට කුඩා නෙරුම් සහ මියරවලින් සමන්විත බව. මේ හැම නෙරුමක්ම රසාංකුර වලින් සෑදී ඇති අතර රසාංකුර සෑදී ඇත්තේ රස ප්‍රතිග්‍රාහක වලිනුයි. සම්පූර්ණ වශයෙන් අපේ මුඛයෙහි රසාංකුර 2,000 සිට 4,000 දක්වා අතර ප්‍රමාණයක් ඇති අතර මේ එක් එක් රසාංකුරයක ප්‍රතිග්‍රාහක 10 සිට 50 දක්වා ප්‍රමාණයක් තිබෙනවා. වෙනස් විදියකට කියනවනම් මානවයන් වන අප විවිධාකාර රසවිඳින්න හොඳින් සැකසී සිටින පිරිසක්.
අපේ රසාංකුර අපට රස වර්ග පහක් හඳුනා ගන්න උදව් වෙනවා. පැණි රස, ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස සහ උමාමි රසය (Umami = මෙයින් මස් වර්ග, බිම්මල් ආදියෙහි දැනෙන අමුතු රසය). රස බැලීමේ ක්‍රියාව එක් විදිහක රසායනික ප්‍රහේළිකාවක් වගේ. අප යමක් මුඛය තුළට ඇතුළු කරලා හපන විට ආහාරය එක්තරා යම් හැඩයක් ඇති අණු මුදාහරිනවා. එම හැඩ ඇති අණු අපේ මුඛය පුරා එහා මෙහා යනවා. එක් එක් රසයට ගැළපෙන ආහාර වල එක් එක් සුවිශේෂී හැඩ තියෙනවා. එම හැඩයට අනුරූපවන රස ප්‍රති ග්‍රාහකවලට මේ සුවිශේෂී හැඩය ගැලපෙනවා. නිදසුනක් ලෙස දක්වන්නේ නම් අපේ දහවල් ආහාරයට ගත් කරවිළ ව්‍යාංජනයක් ආ තිත්ත අණු, තිත්තා ප්‍රතිග්‍රහකයකට බද්ධ වූ විට එය මොළය වෙත ස්නායුක සංඥා පෙළක් යවන්නේ අප යම් තිත්ත රස දෙයක් ආහාරයට ගත් බව දන්වන්නයි.
කෙසේ වෙතත් යම රසයක අණු සහ ප්‍රතිග්‍රාහක අතර මේ මනරම් සබඳතාව දන්තාලේප බොහෝමයක ඇති සංයෝගයක් හේතුවෙන් අවුලෙන් අවුලට යැවෙනවා. තදින් දත් මදින විට මුඛයෙහි දන්තාලෙප බුබුලු හා පෙන හටගනී. මෙය සිදු වන්නේ අප පෙර කී සෝඩියම් ලෝරිල් සල්ෆේට් හෙවත් SLS, දන්තාලේප යෙහි අඩංගු නිසයි. එය ඔබේ දත් අතර ක්ෂාලකයක් (detergent = කුණු ඉවත් කරන ද්‍රව්‍යයක්) ලෙස ක්‍රියාකරයි. SLS, රැවුල බාන ක්‍රීම් වර්ග, පිඟන් සෝදන සබන් වර්ග ආදී ගෙදර දොරේ භාවිතා වන දේවල් ද ඇතුළුව බුබුළු නගන හෝ පෙණ නංවන නිෂ්පාදනවල දැකගත හැකියි. ඒත් SLS අපේ රස ප්‍රතිග්‍රාහක කෙරෙහි බලපාන බව පර්යේෂණ පෙන්නුම් කරයි. එය ප්‍රතිග්‍රාහක තිත්ත රසයන්ට වඩාත් අවනත කරවන අතර පැණි රසයක්කින් කොපමණ තරම් රස විඳින්න ඕනෑද යන්නත් ආපසු අපට දන්වයි. දොඩම්, එහි ඇති සිට්‍රික් අම්ලය හේතුවෙන් මදක් තිත්ත රස ගන්නවා. එහෙත් දොඩම් යුෂ පානයට (ඒවා සාදන සමාගම්ද, නිවසේ දී නම් අපම ද යොදන) සීනි නිසාවෙන් දොඩම් යුෂ වශයෙන් බොනවිට එම තිත්ත රසය සැඟවී යනවා. ඇමරිකානු රසායන සංගමය(American Chemical Society) දක්වන පරිදි SLS අපගේ පැණි රස ප්‍රතිග්‍රාහක යටපත් කරනවා පමණක් නොව අපගේ පොස්පොලිපිඩ (phospholipids = සෛල පටලයෙහි ප්‍රධාන සංඝටකයක් වන ලිපිඩ පන්තියකි) නැතිකර දමයි. පොස්පොලිපිඩ අපගේ තිත්ත රස ප්‍රතිග්‍රාහකවලට බාධා ඇතිකරවන සංයෝගයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ දොඩම් යුෂ පානයෙහි සීනි රසය වෙනුවට දැන් එහි තිත්ත රසය අපගේ රසාංකුර මගින් විඳගැනීමට සැලැස්වීවීමයි.
SLS යන මාතෘකාව මෙන්ම රසය මත SLS බලපෑම ගැන සිදු කර ඇති සියලු පර්යේෂනයන්ගේ මූලාරම්භය අපට 1980 Chemical Senses, නම් සඟරාවේ අධ්‍යයනයකින් හමුවේ. SLS, සුක්රෝස් (සීනි) වල පැණි රසයත්, සෝඩියම් ක්ලෝරයිඩ් වල (ලුණු) ලූණු රසයක් සහ කුවිනින්වල (ටොනික් වලට යොදන රසය) තිත්ත රසයක් අඩුකරන අතර (දොඩම් දෙහි ආදී පලතුරු වල ඇති) තිත්ත රසය වැඩි කරන බව මෙම අධ්යයන වාර්තාවේ කතුවරුන් දක්වා ඇතැයි ක්‍රොස්බි කියා සිටියි. කෙසේ වෙතත්, දොඩම් යුෂ රසය කෙරෙහි දන්තාලේප යෙහි බලපෑම ගැන විශේෂයෙන් වාර්තාවේ සඳහන් නොවන බවද හෙතෙම සඳහන් කරයි. “දොඩම් යුෂ රසය මත දන්තාලේපවල බලපෑම සිද්ධාන්තයක් ලෙස විස්තර කරන එක වඩාත් හොඳයි. ඒත් වාර්තා කෙරුණු පර්යේෂණ පදනම් කර ගෙන බැලූවිට ප්‍රායෝගිකව අර්ථවත් විය යුතුය” යි ක්රෝන්බි පෙන්වා දෙයි.
ඒත් දොඩම් යුෂ පානයට ලොල් අය අධෛර්යයට පත්වන්න වුවමනාවක් නැහැ. 1980 අධ්‍යයන වාර්තාව අනුව දන්තාලේපයේ බලපෑම විනාඩි ගණනක් ඇතුළත නැතිවී යනවා. SLS සහ රස සෛල අතර අන්තර් ක්‍රියාකාරීත්වය තාවකාලිකයි. තව තවත් ඛේටය (කෙල) එක්වෙද්දී SLS දිය වී යනවා වගේම අප වෙනත් ආහාර ගත්තාට පසුව සාමාන්‍ය රස සංවේදනය යළි ඇති වෙනවා. ඉතින් කරන්න තියෙන්නෙ දෙකෙන් එකයි: එක්කෝ දත් මදිනවා නම්, එහෙම දත් මැදලා තරමක් වේලා ගත වෙලා දොඩම් යුෂ බීමයි; එහෙම නැතිනම් කනබොන ජාති සියල්ල කෑමෙන් බීමෙන් පසුව දත් මදින එකයි. කල්පනාවෙන් කටයුතු කරනවා නම් සමහර විට දොඩම් යුෂ වීදුරුවේ(හෝ වෙනත් කෑමක බීමක) රසය භුක්ති විඳීමට ඔය දෙකමත් යොදා ගන්න පුළුවනි. Cheers!