පණුවන්ට දිවක් තිබේද?
මේකට දෙන්න පුළුවන් කෙටි උත්තරය තමයි, ‘නැහැ’ කියන එක. පණුවන්ට දිවක් නැහැ. සමහරු හිතනවා පණුවන්ට දිවක් තියනවා කියලා, මොකද උන්ගේ කටින් යමක් සමහරවෙලාවට එළියට එනවා දැකලා තියන නිසා. දිවක් වගේ පෙණුනාට ඒක ඇත්තටම දිවක් නෙවෙයි. ඒකට කියන්නේ ‘කීලකය’ කියලයි. ඉංග්‍රීසියෙන් ‘stylet’. මේක ඉඳිකටුවක් වගේ පෙනෙන එකක්.
කීලකය යනු දිවක්ම නොවේ
ශාක ආහාරයට ගන්නා පණුවන් මුලින්ම කරන්නේ කීලකය යොදාගෙන ශාකයට පිටතින් හිලක් විදින එක. ඊට පස්සේ ඒ අය කරන්නේ කීලකය බටයක් වගේ පාවිච්චි කරමින් ශාකයේ අභ්‍යන්තරයෙන් ආහාර උරා ගන්න එකයි. ඒත් ආහාර ගැනීමට පාවිච්චි කළාට ඇත්තටම කීලකය දිවක් නෙවෙයි. ප්‍රශ්නයට පිළිතුර නම් ඕක තමයි. ඒත් ඔය වගේ ප්‍රශ්නයක් අහන්න හිතන අය ඉඳුරාම කැමැති වේවි පණුවන් ගැනයි දිව ගැනයි තවත් කරුණු දැනගන්න. අපි මුලින්ම පණුවන් ගැන කතාකරමු.
පස් අතරේ ඉන්නා පණුවන් අපි බොහෝ දෙනෙක් අඩුම ගානේ කුඩා අවදියෙවත් දැකලා තියනවා. (ලොකු වෙනකොට බොහෝ දෙනෙකුට ඕවා ගැන තියන උනන්දුව අඩුවෙනවානෙ. ඒත් දන්නවාද සමහර ගොවිපළවල පණුවෝ ඇතිකරනවා. උන්ට ආහාරයට දෙන්නේ ගස්වල කොළ සහ පළතුරු ආදියයි). පස් අතරේ ඉන්න ඒ පණුවන්ට කියන්නේ ගැඩවිල්ලන් කියලයි.
හැබැයි උන් දැනට ඉන්න එකම පණු වර්ගය නෙවෙයි. අප පණුවෝ කියලා පොදුවේ හඳුන්වන විවිධ වර්ගයේ සත්තු වර්ග දහස් ගණනින් ඉන්නවා. උන්ගෙන් සමහරක් කොච්චර කුඩා ද කීවොත් අන්වීක්ෂයක් නැතුව උන් දකින්න බැහැ. තවත් සමහරු බොහොම විශාලයි. මුහුදේ ජීවත්වන bootlace worm කියන වර්ගයක් ඉන්නවා. උන් ඔලිම්පික් ක්‍රීඩා ප්‍රමිතියට තැනූ පිහිනුම් තටාකයක් තරමට දිගට වැඩෙන්න පුළුවන්.
ඉතින් මේ ආකාරයේ විවිධ පණුවන් දිවක් නැතිනම් ජීවත්වෙන්නේ කොහොමද? අපට එහෙමත් ප්‍රශ්නයක් හිතෙනවා නේ. ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන්න නම් අපි දිවෙන් කෙරෙන කාර්යය ගැන අවබෝධයක් ලබාගන්න ඕන.
දිවෙන් ඉටුවන කාර්ය කුමක් ද?
අපේ දිවෙන් ඉටුවෙන වැදගත්ම කාර්යයක් තමයි අපි කෑම කනකොට ආහාර නැතිනම් කෑම මඩින එක(පොඩිකර දැමීම). අපේ දිවෙහි මාංශ පේශී තිබෙනවා. ඒවා තමයි මුඛය(කට) ඇතුළේ කෑම එහා මෙහා කරන්න අපේ දිවට උදව් වෙන්නේ. දිව ආහාර මඩින්නේ, කෑම් උඩු තල්ලට තියය තද කිරීමෙන්.
අපිට වගේම් පණුවන්ටත් තමන්ගේ කෑම් මඩින්න ඕනන. ඒත් ඉතින් උන්ට දිවක් කෝ? මේ කාර්ය ඉටු කිරීම පිණිස දිවක් වෙනුවට පණුවන්ගේ අන්ත්‍රයේ(බඩවැල්) මාංශ පේශී පිහිටලා තියනවා.
දිවෙන් ඉටුවෙන තවත් වැදගත් කාර්යයක් තමයි ආහාරවල රසය දැනගැනීමට සලස්වන එක. අපේ දිව මතු පිට කුඩා නෙරුම් තියනවා. ඒවා ඇතුලේ ඉතා කුඩා රසාංකූර තියනවා. මේවායින් තමයි අප කන කෑම පැණි රසද, අඹුල් රසද තිත්ත රසද ආදී වශයෙන් රස පහක් ගැනම අපට දන්වන්නේ.(මේ ගැන විස්තරයක් සඳහා තතු බදාදා (4) දත් මැද්දට පස්සේ දොඩම් පානයේ රස නැතුව යන්නේ ඇයි? යන මැයෙන් ගෙන ආ ලිපිය මෙතනින් කියවන්න).
ඔන්න මෙතනදීත් අර ප්‍රශ්නය මතුවෙනවා. දිවක් නැති පනුවන්ට රසාංකූර කොහෙන්ද? ඒත් ගැඩවිලන්ට තමන්ගේ ආහාරයේ රස දැනගන්න උදව්වෙන විශේෂ සෛල ඔවුන්ගේ මුඛය ඇතුලේ තියන අතර ඔවුන්ගේ සමෙහි තවත් වෙනත් සෛල තියෙනවා, රස දනගැනීමට අමතරව මේ සෛල ඔවුන්ට ගඳ සුවඳ දැනගනීමටත් ඉඩ සලසනවා. පසෙහි ගන්ධය හා රස හඳුනාගැනීමෙන් ගැඩවිල්ලන්ට ආහාර සොය යායුත්තේ කොයිබද දැයි හොයාගන්න පුළුවන්.
ඉතින් මේ විදිහට බැලුවහම පණුවන්ට දිවක් නැතත්, දිවෙන් අප ඉටු කරගන්නා කාර්යයන් කරගන්න ඔවුනට සිරුරේ විවිධ කොටස් උපකාරී වෙනවා.
දැන් ඉතින් මේ ප්‍රශ්නය අහලා එවලා තියන මෙල්බර්න් නුවර රෙන් ඈෂ්ලි පොඩිත්තා ඇතුළු වෙනත් අයට පුළුවනි දිවක් නැති වෙනත් සතුන් ඉන්නවාද එහෙම නම් ඔවුන් දිවෙන් ඉටුකරගන්නා කාර්යයන් කොහොමද ඉටු කරගන්නේ කියලා හොයලා බලන්න. තමන් අවට ලෝකය ගැන උනන්දුවක් දක්වන එක කොච්චර හොඳ දෙයක් ද?
Curious Kids හී Do worms have tongues? යන ලිපිය ඇසුරෙනි