ගැහැණුන්ට පමණක් බබාලා හම්බ වෙන්නේ ඇයි?
වෛද්‍ය සරා ජාවිස් විසින් (ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබූ සරා ජාවිස් වෛද්‍යවරියක්. ඒ වගේම සංනිවේදිකාවක්)
පිරිමින්ට නැතුව ගැහැණුන්ට පමණක් බබාලා හම්බ වෙන්නේ ඇයි? කුඩා කාලයේදී අප බොහෝ දෙනෙකුගේ හිතට එන ප්‍රශ්නයක්. සමහරවෙලාවට මේ ප්‍රශ්නයට නියම ම පිළිතුරක් අපි ලොකු මහත් වෙලාවත් හරිහැටි දන්නේ නැතිවෙන්න පුලුවන්. අපේම දරුවෝ ඔයවගේ ප්‍රශ්නයක් ඇහුවහම නොදැනුවත්කම නිසා අසරණවෙන්නේ ඒකනේ. කොහොමනමුත්, අපි ඔය ප්‍රශ්නෙට පිළිතුරුදෙන්න කලින් ගැහණු පිරිමි සංසන්දනය කරල බැලුවොතින් හොඳයි කියල මට හිතෙනවා.
සමහර කාරණා සැලකිල්ලට ගන්නකොට පිරිමි ගැහැණු දෙගොල්ලෝම පිටතින් බැලුවහම එක වාගේ. එහෙම නෙවෙයි කියන්න එකපාරටමත් ඉක්මන් වෙන්න එපා. දැන් බලන්න දෙගොල්ලන්ටම තියෙන්නෙ එකම සංඛ්‍යාවක අත්, පාද, කන්, නාසා, කට, ඔව් පොඩි පොඩි වෙනස්කම් පේන්න තියෙනවා තමයි. පිරිමින්ට රැවුල වැවුණාට (බොහෝ වෙලාවට) ගැහැනුන්ට රැවුල වැඩෙන්නේ නැහැ. ගැහැනු බොහෝදෙනකු කොන්ඩය දිගට වැව්වාට (බොහෝ වෙලාවට) පිරිමි බොහෝදෙනකු කොණ්ඩය කොටට කපනවා. කොහොම වුණත් බාහිර පෙනුම සැලකුවොත්, ලොකුම වෙනස (පිරිමින්ට තට්ටය පෑදෙන එක හැරුනහම) ගැහැනුන්ට පියයුරු ඇති අතර පිරිමින්ට පියයුරු නොමැතිවීමයි. ඒ අතර පිරිමින්ට ශිෂ්ණයක් ඇති අතර ගැහැනුන්ට එවැන්නක් නැහැ.
අපේ ශරීර අභ්‍යන්තරය ගතහොත් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේ සමහර සමානකම් මෙන්ම සමහර වෙනස්කම් දැකිය හැකි. මේ දෙපාර්ශ්වයටම සිරුර පුරා දුවන රුධිරය පොම්ප කරන්න හදවතක් තියෙනවා. දෙගොල්ලන්ටම හුස්ම ගැනීමට මගපාදන දෙන පෙනහලු දෙක බැගින් තියෙනවා. ඔය විදිහට වකුගඩු, අක්මාව ආදී අවයව දෙපාර්ශ්වයටම එක සමානව තියෙනවා. එහෙම වුණත් ස්ත්‍රීන්ගේ උදරය ඇතුලේ තියෙනවා ගර්භාෂය (දරු බොක්ක) කියල එකක්. එය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක් තරම් ඇති. ඒත් (දරු ගැබට දරුවකු පිළිසිඳ ගත්තායින් පසුව) එයට බැලුමක් වගේ පිම්බෙන්න පුළුවන්. එය හිස් කුහරයක් වුවත් මෘදු ආස්තරයකින් යුක්තයි. ඒත් ඉතින් පිරිමි සතුව මෙලෙස ගර්භාෂයක් නැහැනේ?.
දරුවකු බිහිවන්නේ ස්ත්‍රියගේ ඩිම්බයක් සහ පුරුෂයකුගේ ශුක්‍රාණුවක් එක්වීමෙන් බව බොහෝ දෙනා දන්නවා. එලෙස ඩිම්බය හා ශුක්‍රාණුව එකට එක් වීමෙන් බබෙකු හැදෙන බව දන්නවා වුණත් එය සංකීර්ණ කාරණාවක්. මෙලෙස ගර්භාෂය තුළ බිලින්දා වර්ධනය වෙද්දී බිලින්දාට අවශ්‍ය ආහාර (පෝෂණය) සම්පූර්ණයෙන්ම ලබාගන්න වෙන්නේ මවගෙන්. මෙලොව එළිය දකින තුරු ගර්භාෂය තුළට වෙලා මවට ඈඳී සිටින තාක් කල් බිළිදාට ආහාර සපයන්නේ මවයි. ඒ වගේ බිළිඳුන්ට ආරක්ෂාවක් සැපයිය යුතු වෙනවා.
මව් කුසින් එළියට වන බිලිදාට ආහාර ගැනීම, හැඬීම හා නිදා ගැනීම හැර වෙන කළ හැකි කිසිවක් නැති තරම්. ඒත් ඉතින් මෙලොවට බිහිවන විට ඔවුන් නව මසක් වයසයි. ඊට පෙර ඔවුන්ට (මවුකුසේ දී) හුස්ම ගන්න බැහැ. ස්ත්‍රියක් ගැබ් ගත්තහම ඇගේ ගර්භාෂයේ සිටින බිලිදා තරලයක පාවෙමින් සිටින නිසා හුස්ම ගැනීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ. එහෙම වුණාට කුසේ සිටින බිලිදා වර්ධනය වෙන්න ඕනෑ. කලින් කීවා වගේ ගර්භාෂය ඇදෙනසුලු නිසාවෙන් මෑ ඇටයක් තරමට ඉඳලා සාමාන්‍යයෙන් රාත්තල් හයක, හතක පමන බිළිඳෙකු ලෙස මෙලොව උපදින තාක් කල් වර්ධනය සිද්ධ වෙනවා. ඔය සියල්ල පිරිමින්ට කලහැකි දේවල් නෙමෙයි.
ඒවාගේම බිලින්දා ඉපදුනාට පස්සේත් දෙපිරිස අතර වෙනස්කම් දැකිය හැකියි. දරුවකු බිහිකරන ස්ත්‍රියගේ පියයුරුවලින් එරෙන කිරි පානය කිරීම තමයි දරුවා වර්ධනය වීමට ආධාර වෙන්නේ. තාත්තලාට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඉතින් අම්මලාට වගේ දරුවො බිහි කරන්න නම් බෑ.
Big questions from little people නම් ග්‍රන්ථයේ Why do girls have babies and boys don’t? යන ලිපිය ඇසුරෙනි