සැමට විදු නැන නුවණ – Science Literacy for All

කොරෝනාව: සබන් ක්‍රියාකාරි වන්නේ කෙසේද?

හරිදේ හරිහැටි දනගෙන ක්‍රියාත්මකවන්න

සබන් වල ඉතිහාසයත් සබන් වගේම පෙණ බුබුළු දමන එකක්. එක් ජනප්‍රවාදයකට අනුව සබන් සොයාගැනීම  හදිසියේ, අහම්බෙන් සිදු වූවක්. නිතර නිතර බිලිපූජා කරන ස්ථානයක තිබී සත්ව මේදය හා අලු වැස්සට සේදී ගොස් ගඟකට වැටී පෙන බවට හැරවිලා තියෙනවා. එහෙම හටගත් පෙණවලට, සම සහ ඇඳුම් පිරිසිදු කිරීමේ පුදුමාකාර බලයක් තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. සබන්වල මූලාරම්භය ගැන තවත් කතා බොහොමයි. ආරම්භය කොහොම සිද්ධ වුණත් ආදිකාලයක දී  සබන් සොයා ගැනීම මනුෂ්‍ය ඉතිහාසය වෙනස් මගකට යොමුකිරීමට සමත්ව තිබෙනවා.

අපේ මුතුන්මිත්තන්ට ඒ බවක් කලින් දැනගන්නට නොහැකි වුණාට ඇසට නොපෙනෙන රෝගකාරක විෂබීජවලට (pathogens) එරෙහිව අපගේ වඩාත්ම ඵලදායි ආරක්ෂාව බවට සබන් පත්වී තිබෙනවා. සබන් ගැන ජනතාව සාමාන්‍යයෙන් සිතන්නේ මුදු,  සමට සෞම්‍ය දෙයක් හැටියටයි. ඒත් ක්ෂුද්‍රජීවීන්ගේ දෘෂ්ටිකෝණයෙන් නම් සබන් අතිශය විනාශකාරීයි. ජලයේ මිශ්‍ර කළ සාමාන්‍ය සබන් බින්දුවක් බැක්ටීරියා සහ වෛරස බොහෝ ගණනාවක් විදාරණය කර මරාදැමීමට ප්‍රමාණවත්. වර්තමානයේ ලොව පුරා වසංගත තත්ත්වයෙන් පැතිර යන කොරෝනා වෛරසය ද ඒ අතරට වැටෙනවා. සබන් වල මේ චමත්කාර බලයේ රහස රැඳී තිබෙන්නේ එහි දෙමුහුන් ව්‍යුහය මතයි.

අදාළ රූපය

සබන් සෑදී ඇත්තේ ඇල්පෙනෙත්ති හැඩ ඇති අණු වලිනි. මේ සෑම අනුවකටම ජලකාමී(hydrophilic) හිසක් තිබෙනවා. ඇත්තටම එය ජලය සමග සම්බන්ධ වෙනවා. එමෙන්ම, අණු හැමකටම ජලභීතික(hydrophobic) වලිගයකුත් තියෙනවා. එය ජලය මගහරින අතර තෙල් සහ මේදය සමග එක් වීමට ප්‍රියතාවක් දක්වයි. ඉතින් මේ අණු ජලයේ අවලම්බිතවූ විට මාරුවෙන් මාරුවට හුදකලා ඒකක ලෙස එහෙ මෙහෙ පාවෙමින්, ද්‍රාවණයේ අනෙකුත් අණු සමග අන්තර්ක්‍රියා කරන අතර ශීර්ෂ (හිස්) උඩු අතට ද වලිග ඇතුලටද නවාගෙන සිටින සේ මිසෙල්ලා (micelles) ලෙස හඳුන්වනු ලබන කුඩා බුබුළු හැටියට ඒකරාශී වේ.

සමහර බැක්ටීරියා සහ වෛරස සතුව ලිපිඩ පටලයක් ඇත. මේවා ජලකාමී ශීර්ෂ දෙකක් අතර හිර වූ ජලභීතිකා වලිග පටි දෙකක ස්තර දෙකකින් යුතු මිසෙල්ලාවන් සිහිපත් කරයි. වෛරසවලට සෛල ආසාදනය කිරීමටත් බැක්ටීරියා සජීවීව පවත්වා ගෙන යාම සඳහා වැදගත් කාර්යය ඉටු කිරීමටත් ඉඩ සලසන වැදගත් ප්‍රෝටීනවලින් මෙම පටල ගහනවේ. ලිපිඩ පටලයන් ගෙන් එතී ඇති රෝගකාරක බීජ අතර කොරෝනා වෛරසය, එච්අයිවී(HIV) හෙපටයිටිස් බී සහ හෙපටයිටිස් සී ඇතිකරවන වෛරස, හර්පීස්, ඊබෝලා ශිකා(Zika), ඩෙංගු සහ අතුණුබහන් සහ ස්වශන පථයට ප්‍රහාර එල්ල කරන නොයෙකුත් බැක්ටීරියා ඇතුළත් වේ.

සබන් සහ ජලය යොදා ගනිමින් අත් සෝදන විට ඔබ කරන්නේ ඔබේ සම මත ඇති යම් ක්ෂුද්‍ර ජීවින් සබන් අණුවලින් වට කිරීමයි. ස්වයං ප්ලාවි (free-floating) සබන් අණුවල ජලභීතික වලිග ජලය මගහැරීමට උත්සුක වේ. මේ ක්‍රියාදාමයේදී ඇතැම් ක්ෂුද්රජීවීන් සහ වෛරසවලට කූඤ්ඤ ගසා විදිමින් ලිපිඩ ආවරණතුලට ඇතුළු වී ඒවා පලා විවෘත කරයි. “ඒවා නාරසන්න ලෙස ක්‍රියාකරමින් මුළු පද්ධතියම අවුල් කර දමනවා” යනුවෙන් නිව් සවුත් වේල්ස් විශ්වවිද්යාලයේ රසායන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධිපති මහාචාර්ය පෝල් තොර්ඩාසන් කියා සිටියි. පැලී ගිය පටල වලින් අත්‍යවශ්‍ය ප්‍රෝටීන,  අවට ඇති ජලයට උතුරා වැක්කෙරෙන්නේ බැක්ටීරියා මරා දමමින් සහ වෛරස අක්‍රිය කරමිනි.

මේ හා සමග ඇතැම් සබන් අණු,  මතුපිටවල්වල ඇලී සිටීමට බැක්ටීරියා,  වයිරස සහ දැලිකුණු ආදියෙහි රසායනික බන්ධන බිඳ දමන්නේ ඒවා සම මතුපිටින් ඉවතට ඇදඩමමිනි.  දැලිකුණු අංශු සහ වෛරස හා බැක්ටීරියා කැබලි වටා මිසෙල්ලාවන් සෑදිය හැකි වන අතර පාවෙන කූඩු තුළ ඒවා අවලම්භනය කෙරේ.සබන් අණු මඟින් හානියට පත් කොටුුවුනු සහ මරණයට පත්වූ ක්ෂුද්‍රජීවීන්  ඔබ දෑත්  පිරිසිදු දියෙහි සෝදද්දී  සේදී බැහැරට යැවේ.

අත් පිරිසිදු කරන විෂබීජ නාශක හෙවත් සැනිටයිසර් (sanitizers),  සබන් තරමටම විශ්වාසදායි නොවේ. එහෙත් අඩුම තරමින් සියයට 60ක් වත් එතනෝල් ඇති සැනිටයිසර්, බැක්ටීරියා සහ වෛරස් වල ලිපිඩ පටලය අස්ථිර කිරීමෙන් සබන් ලෙසම ඒවා පරාජයට පත් කරයි. එහෙත් ඒවාට හමෙන්,  ක්ෂුද්‍ර ජීවින් පහසුවෙන් ඉවත් කළ නොහැක. තවද සෛල ආසාදනයට පත් කිරීම පිණිස ලිපිඩ පටල මත විශ්වාසය නොතබන වෛරස ඇති අතර ඇතැම් බැක්ටීරියා, ඒවායේ සියුම් පටල ප්‍රෝටීන සහ සීනි වලින් සෑදුණු හැඩිදැඩි පලිහ මගින් ආරක්ෂා කරනු ලැබේ. මීට දිය හැකි නිදසුන් අතර මෙනින්ජයටීස්  හෙවත් ආවෘතිදාහය, නියුමෝනියාව, පාචනය සහ සමේ ආසාදන සාදන බැක්ටීරියා සහ හෙපටයිටි ස් ඇ වෛරස,  පෝලියෝ වයිරස සහ රයිනෝවෛරසය හා ඇඩෙනෝ වෛරස දැක්විය හැකිය.

මෙකී පහසුවෙන් ඇද දැමිය නොහැකි ක්ෂුද්‍රජීවීන් එතනෝල් සහ සබන් වල රසායනික ප්‍රහාරයට එතරම් පහසුවෙන් අවනත වන්නේ නැත. එහෙත් සබන් හා ජලය යොදා ගනිමින් තදින් ඇතිල්ලීමෙන් මෙකී ක්ෂුද්‍ර ජීවීන් සමෙන් ඇද දමා ඉවත් කළ හැකිය. විසබීජ නාශක දියර වලට වඩා සබන් පාවිච්චිය ඵලදායි වීමට මෙය අර්ධ වශයෙන් හේතු වේ. හැබැයි සබන් හා ජලය සොයා ගත නොහැකි විට මද්‍යසාර පාදක විසබීජ නාශක හොඳ උපස්ථයක් සපයයි.

රොබෝ තාක්ෂණයෙන් ශල්‍ය කර්ම සිදුකරන හා ජාන චිකිත්සාව සහිත යුගයක, ආදිකාලීන එමෙන්ම මූලිකවම නොවෙනස් වට්ටෝරුවක් සහිත සබන් ටිකක් ජලය සමඟ ගෙන භාවිත කිරීම තවමත්  වටිනාතම වෛද්‍ය මැදිහත් වීමක් ලෙස පැවතීම  පුදුමය එළවන්නක් නො වන්නේ ද? අපේ වටපිටාවේ ඇති වස්තූන් සහ පුද්ගලයන්ගෙන් දවස පුරා අප සියලු ආකාරයේ වයිරස හා ශුද්‍ර ජීවීන් එකතු කරගන්නවා.  සිතාමතා නොවූවත් අප  අපේ ඇස් නාසා සහ මුඛය අල්ලන විට (එක් අධ්‍යයනයකින් කියවෙන්නේ අප සෑම විනාඩි දෙකහමාරකට වරක් එසේ කරන බවයි) අපගේ අභ්‍යන්තර අවයව ඇතුල්වීමට අප අනතුරුදායක ක්ෂුද්‍රජීවීන්ට ද්වාරයක් විවර කර දෙන්නෙමු.

එදිනෙදා ජීවිතයේ ස්වස්ථතාවෙහි පදනම ලෙස ගතහොත් අත්සේදීම පුළුල්ව භාවිතයට ගැනුණේ සාපේක්ෂව මෑත කාලයේදීය. වෛද්‍යවරු දෑත් සෝදන්නේ නම් දරු උපත් වලදී ස්ත්‍රීන් මිය යාම අඩු කරගත හැකි බව 1840 ගණන්වලදී හංගේරියානු වෛද්‍යවරයකු වන ඉග්නාස් සෙමෙල්වයිස් පෙන්වා දුන්නත්  ඔහුට ඊට ප්‍රතිලාභයක් හැටිය ලැබුණේ ගුටි බැට දී හිරගෙට ඇදදමා එහිදී තුවාල ආසාදනය වීමෙන් මියයන්නට වීමයි. ලොව ප්‍රකට ඉංග්‍රීසි ජාතික හෙදිය ප්ලොරොස් නයිටින්ගේල් 1800 මැද ගණන්වලදී අත් සේදීම ප්‍රවර්ධනය කළ ද අමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කේන්ද්‍රය (Centers for Disease Control and Prevention) අත් ස්වස්ථතාව පිළිබඳ ප්‍රථම නිර්දේශ නිකුත් කළේ 1980  ගණන්වල තර්ම මෑතකදීය.

සබන් ගා ජලයෙන් සේදීම, ‍ලෝක වසංගත පැතිරීමේ අනුපාතය මන්දගාමී කිරීමට සහ රෝහල් හා චිකිත්සාගාර පිරී යාම වැළැක්වීම හා ආසාදනයට පත්වන පිරිස සැලකිය යුතු අනුපාතයකින් සීමා කිරීමටද  මග පාදනප්‍රධාන පෙළේ මහජන සෞඛ්‍යය භාවිතාවකි. එහෙත් මේ ශිල්ප ක්‍රමය  හරියාකාරව ක්‍රියාත්මක වන්නේ සැවොම වැඩි සීඝ්‍රතාවයකින් සහ තදින්ම සිය අත් සෝදන්නේ නම් පමණකි. හොඳට සබන් පෙණ නංවමින්අත්ල සහ පිට අත්ල තදින් අතුල්ලමින් අතේ ඇඟිලි එකිනෙක අතර යවමින් ඇඟිලිතුඩු අත්ලට තබා අතුල්ලමින් අත මිට මොලවා මහපටගිල්ල වටා කරකවමින් සේදීම යොග්‍ය ආකාරයයි.

අදාළ රූපය

සාපේක්ෂව වඩාත්තරුණ වඩා තරුණ, වඩාත් දෙගුණයක් සෞඛ්‍යසම්පන්න අයද නිතිපතා අත් සේදිය යුතුය. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වයකදී වඩාත් අවදානම් තත්ත්වයේ සිටින්නන්ට ඔවුන් මාර්ගයෙන් බෝ විය හැකි හෙයිනි.

සබන් යනු පෞද්ගලික ආරක්ෂාව සපයන්නක් පමණක්ම නොවේ. නිසියාකාරව භාවිතා කරන විට එය ප්‍රජා ආරක්ෂක ජාලයක් බවට පත්වේ. අණු මට්ටමේදී සබන් ක්‍රියා කරන්නේ සියල්ල කඩා බිඳ දමමින් ය. එහෙත් සමාජ මට්ටමේ දී එය සියල්ල එක්තැන් කරයි. ඉතින් අත් හෝදන්න කම්මැලි ගතියක් දැනුනොත් එහෙම, මෙන්න මෙහෙම හිතන්න: අනෙක් අයගේ ජීවිත ඇත්තේ ඔබගේ දෑතෙහි ය.

 

The New York Times හී පළවූ  Why Soap Works යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: