කොරෝනා වැරදි තොරතුරු භයානකයි. බෙදන්න පෙර හිතන්න

Posted by

හරිදේ හරිහැටි දනගෙන ක්‍රියාත්මකවන්න

පිළිගත හැකි විශ්වාසය තැබිය හැකි සෞඛ්‍ය උපදෙස් අතිශය වැදගත් — එය ජීවිතයත් මරණයත් අතර වෙනස බවට පත්විය හැකියි.

කලකට පෙර පැතිරගිය (සහ තවමත් පවා පැතිරයන) වැක්සීන පිළිබඳ නොමඟ යවන සුළු තොරතුරු හේතුවෙන් වෛද්‍යමය උපදෙස් පිටුදැක තම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් නොමනා අවදානමක් දැරීමට දෙමාපියන්ට සිදුවූ බන නොරහසකි.  නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වීමත් සමගම අපට අද ඒ ආකාරයේ බොරු කියාපෑම් සහ අතිශයෝක්ති රැල්ලකට මුහුණ පාන්නට සිදුවී තිබෙනවා. මෙයින් බොහොමයක්ම ආරම්භ වුණේත් ව්‍යාප්තව ගියේත් සමාජ මාධ්‍ය හරහායි.

ගෝලීය වශයෙන් වැදගත් වන ‍ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිද්ධිවල දී මෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය අර්බුද වලදී සිදුවූවාක් මෙන්,  තාක්ෂණය, පේටන්ට්ලාබීන් (Rothschilds) හෝ චීන පරීක්ෂණාගාර විද්‍යාඥයන් වැනි අපට හුරුපුරුදු සතුරන් දෙස සමහරුන් ඇඟිලි දිගු කරන්නට පටන් ගෙන තිබෙනවා. බහුතර පිරිසක් කුමන්ත්‍රණ සිද්ධාන්ත  ගෙනහැර පානවා. මේ මාරාන්තික වෛරසය පැතිරීම ගැන අපේ බිය සැක වැඩි කරවමින් අපව බේරා ගැනීමට කටයුතු කළ යුතු ආයතනම (ව්‍යසනය ගැන) කලින් දැන සිටි බවක් හෝ වෛරසයේ ගෝලීය පැතිරීම කලින් සැලසුම් කළ බවක් පවා ඒවායින් හඟවන්නේය.

එහෙත් කෙටි කාලයකදී වැඩියෙන්ම අවධානය යොමුවන්නේ බොරු හෝ නොමඟ යවන සුළු සෞඛ්‍ය උපදෙස් පතුරුවා හැරීම කෙරෙහිය. මේවා බොහෝ විට සිදු කෙරෙන්නේ වඩාත් යහපත් චේතනාවකින් යුතුවය. භයානක තත්ත්වයන් හමුවේ ඊට දක්වන ස්වභාවික ප්‍රතිචාරයක් ලෙස සලකමින් ඔබගේ මිතුරන් සහ පවුලේ අය ආරක්ෂා කිරීමට උදව් වෙතැයි ඔබ සිතන තොරතුරු බෙදා හදා ගැනීම අරමුණ වෙන්න පුලුවනි.  එහෙත් එම තොරතුරු නිවැරදි නොවන බව පෙනී යන්නේ නම් සිදුවන්නේ කුමක් ද? ඔබ, යහපතක් කරනවාට වඩා හානියක් කිරීමේ අවදානම වැඩිවීමය.

අප දැක ඇති මෙම වැරදි තොරතුරු පුළුල් වශයෙන් එකිනෙකාට වෙනස් ප්‍රවර්ග තුනකට වැටේ. ‘ළමයින් කොරෝනා වෛරසයට ප්‍රතිශක්තියක් දක්වන්නේය’ වගේ  සමහරක් කියාපෑම් ආරම්භ වන්නේ සත්‍යය බිඳක් ඇසුරෙනි.(මේ කාරණාව ගැන විමසා බැලුවොත් මෙහිදී සත්‍යය බිඳ තමයි වයසක උදවිය අතරේදීට වඩා  ළමුන් අතර රෝග ලක්ෂණ එතරම් දරුණු නොවීම) එහෙත් නිසියාකාර සන්දර්භය සහ කොන්දේසි නොමැතිව  කාලයත් සමග මේවා විකෘතියට පත්ව වඩාත් භයානක දෙයක් බවට රූපාන්තරණය වේ.

වැරදි තොරතුරු තවත් සමහරක් භ්‍රමණය වන්නේ කොරෝනා වෛරසය යන පදයෙහිම වැරදි සංකල්පයන් වටාය. කොරෝනා වෛරස යනු 1960 ගණන් වල සිටම වාගෙ අප දැන සිටි වෛරස කුලයක්ය(family) යන අත්‍යවශ්‍ය සන්දර්භය ගැන සඳහනක් නොමැතිව, සැලකිල්ලට නොගෙන වර්තමාන පැතිර යාමට පෙර කොරෝනා වෛරසයක් ගැන කෙරෙන සාමාන්‍ය සඳහන් කිරීම් හදිසියේම වගේ කුමන්ත්‍රණයක සාක්ෂියක් හැටියට  අපට පෙනෙන්නට පටන් ගන්නේය. වෙන විදිහකට කීවොත් පොදු ජනතාව වන අපෙන් සඟවාගෙන හිටියාට නව කොරෝනා වෛරසය ගැන බලධාරීන් කලින් දැන සිටි බවත්, කුමන්ත්‍රණකාරී ලෙස එය අපෙන් වසන් කරනු ලැබ තිබුණු බවත් ය.  ඒ අනුව අප යම් (වැරදි) නිගමනවලට එළඹෙන්නට පුළුවන:  කලින් පැවති කොරෝනා වෛරසය  වෙනුවෙන්  වැක්සීන අත්හදා බැලීම් වලින් දැක්වෙන්නේ වත්මන් පැතිරයාම හිතාමතා කළ දෙයක් බවකි හෝ ඩෙටෝල් බෝතල් වල මානව කොරෝනා වෛරසය යනුවෙන් ද සඳහන් කර තිබීමෙන් වත්මන් පැතිරයාම ගැන ඩෙටෝල් නිෂ්පාදකයින් කලින් දැන සිටියේය යන්න පවා ඔප්පු වෙයි ආදී වශයෙනි.

තුන්වැනි ප්‍රවර්ගය වන්නේ නිල සෞඛ්‍ය මැදිහත්වීම් සහ උපදෙස් ලෙස පෙනී සිටින නරක ආරංචිය.  මේ සතියේ එක්සත් රාජධානියේ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව(Department of Culture, media and Sports – DCMS) සහ ජාතික සෞඛ්‍ය සේවාව මෙම නව කොරෝනා වෛරසය හා සබැඳි සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් වැදීම පිණිස සකසා ඇති පියවර ප්‍රකාශයට පත් කළේය. නොමඟ යවන සුළු කියාපෑම් විපරම සඳහා DCMS දෙපාර්තමේන්තුව තුළ කාර්ය සාධක බලකායක් නිර්මාණය කර ඇති අතර නිල උපදෙස් සඳහා දැන්වීම් පුවරුවක් ලෙස කටයුතු කිරීමට මාධ්‍ය තාක්ෂණ දැවැන්තයන් වන ට්විටර්( සහ ෆේස්බුක් (මුහුණු පොත) හා සමග ජාතික සෞඛ්‍ය සේවාව එක්වී තිබේ. මේ තොරතුරු නිවේදනය සාදරයෙන් පිළිගනු ලබන අතර නරක තොරතුරු අභියෝගයට ලක් කිරීම ද ඒ හා සමානව වැදගත් වන්නේ ඉන් ජනතාව විශ්වාසය තැබිය හැකි තොරතුරු වෙත යොමුකරවන නිසාවෙනි.

300,000කට වැඩි වාරයක් බෙදා ගනු ලැබූ මුහුණු පොත පෝස්ටුවක  අන්තරාදායක කියාපෑම් ගණනාවක් අන්තර්ගත ව තිබිණ ඒවා අතුරින් ප්‍රධාන “උපදේශය” වන්නේ නාසයෙන් හොටු දියර ගැලීම (runny nose) සාමාන්‍ය සෙම්ප්‍රතික්ෂාවක ලක්ෂණයක් මිස කොවිඩ් 19යේ රෝග ලක්ෂණයක් නොවන බවයි.  මෙය වැරදි පුවතකි. කොවීඩ් 19 ආතුරයන් අතර මෙම ලක්ෂණය දුලබ නමුත් එය කෝවිඩ් නැතැයි කීමට කාරණාවක් නොවේ. තවද එම පෝස්ටුව අනුව සෙල්සියස් අංශක 27 (80 F) වැඩි උෂ්ණත්වයකදී වෛරස විනාශ වී යන බවට පදනමකින් තොරව ප්‍රකාශ කර තිබුණි. (පෙන්වා දෙනු ලැබීමෙන් පසුව මෙය දැන් නිවැරදි කර ඇත). මෙවැනි පෝස්ටුවක හානිය පැහැදිලි ය.

සමාජ මාධ්‍යයන්ට අමතරව නොමඟ යවන සුළු ප්‍රකාශයන්,  සම්ප්‍රදායානුකූල මුද්‍රිත මාධ්‍ය හා විකාශන මාධ්‍ය තුළින් ද දැකිය හැකිය. ඒවායින් ද වැරදි කියාපෑම් සහ කුමන්ත්‍රණ සිද්ධාන්ත වාර්තා කෙරේ. නිදසුනක් ලෙස Daily Express  පුවත්පත සිය පාඨකයන් ට දන්වා සිටියේ වෛරසය ජානමය ඉංජිනේරු ශිල්පය මගින් සකසනු ලැබ ඇත්තේ මිනිසුන්, මිනිසුන් අතර සම්ප්‍රේෂණය පහසු කරවනු හැකිවන අයුරින් යයි ශාස්ත්‍රීය ලේඛනයකින් කියවෙන බවයි. වර්තමානයේ  පැතිරයාමට වසර ගණනාවකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 දැනසිටි බව සඳහන් කිරීම තවෙකකි.  මේ කියාපෑම් දෙකම සාවද්‍ය ය. මෙයට අමතරව පුවත්පත් ගණනාවක පළ වී තිබුණේ (වර්තමාන පැතිරයාම ආරම්භවූ) වුහාන් ප්‍රදේශයේ සමූහ ආදාහන  සිදුකරන බවයි.  ඒ බව තහවුරු කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප ද යොදාගෙන තිබුණි. ඒත් මදක් විමසා බැලීමේදී පෙනී ගියේ ඒවා කොහෙත්ම  චන්ද්‍රිකා ඡායාරූප නොවන බවයි.

අපගේ පොදු රාජ්‍ය ආයතන මෙන්ම අපගේ තෝරාපත් කරගත් මහජන නියෝජිතයන් කෙරෙහි විශ්වාසය තබන්නා සේම අපි පිළිගත හැකි සෞඛ්‍ය තොරතුරු සඳහා පිළිගත් ප්‍රවෘත්ති ආයතන කෙරෙහි විශ්වාසය තබන්නෙමු. බොහොහොමයක් මාධ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කළත් අනෙකුත් ඒවායේ අප දුටු අතිශයෝක්තීන් සහ අනුමාන කිරීම් වලට වඩා වැඩි විශ්වාසවන්ත තොරතුරු ලැබීමට අප සුදුස්සෝය. කෙසේ වෙතත් ශුභාරංචිය  ලෙස දැක්විය හැක්කේ පත්‍රකලාවේදීන් හා පුරවැසියන් යන දෙපිරිසම දුර්මත පැතිර යාම මන්දගාමී කරනු පිණිස පියවර ගත හැකිය යන්නය. තොරතුරු හා ආරංචි බෙදාහදා ගැනීමට පෙර ටිකක් හිතා බැලීමෙන් – කියාපෑම කෙරෙන්නේ කොයිබින්ද, එහි අන්තර්ගතය පිරික්සා බලන්නේ කෙසේද ආදී වශයෙන් ඒ ගැන කල්පනා කර බැලීමෙන් අපගේ  මිතුරන් හා පවුලේ අයව  තවත් අවදානමකට ලක් කරන්නේ නැතුව නොදැනුවත්ව වැරදි තොරතුරු බෙදාහැරීම නතර කර ගැනීමට අපට හැකිවේ.

පෙර කවරදාකවත් නොවූ විරූ මට්ටමින් වැරදි තොරතුරු බෙහෙවින් පැතිරුණු යුගයකදී අපි ගෝලීය මහජන සෞඛ්‍ය අර්බුදයට මුහුණ පා සිටින්නෙමු. යහපත් සෞඛ්‍ය උපදෙස් ජීවිතය හා මරණය අතර වෙනස ඇති කළ හැකිය.

 

The Guardian හී පළව ඇති  Coronavirus misinformation is dangerous. Think before you share යන ලිපිය ඇසුරෙනි  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.