කොරෝනා: සමාජ ආශ්‍රය ද? සමාජ වගකීම ද?

Posted by

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

ලොව පුරා තරුණ ජනතාව නිල උපදෙස් සහ තහංචි නොතකමින් දිගටම සමාජ ආශ්‍රය පතති. ජගත් වසංගතයක් හමුවේ තරුණ පරපුරේ මේ හැසිරීමේ ඵලවිපාක ගැන The Guardian  පුවත්පතේ වාර්තාකරුවෝ සොයා බලති.

කොරෝනා වෛරසය එරෙහි සටනේ යෙදී සිටින රටවල අධිකාරිහු තරුණ ජනතාවට සමාජ දුරස්ථවීම සම්බන්ධයෙන් ලබා දෙන උපදෙස් තරයේ පිළිපදින්න යැයි අවවාද නිකුත් කරන්නේ සාද පැවැත්වීම හා ප්‍රීති උත්සව පැවැත්වීම ගැන ලොව නන් දෙසින් වාර්තාවෙන පසුබිමකය.

මෙලෙස විනෝදකාමීන් එකතුව ‘ලොක්ඩවුන් සාද'(lockdown) නැතිනම් ‘ලෝක විනාශයට පෙර මත්පැන් සාද’ ආදී වශයෙන් ප්‍රීති උත්සව පවත්වමින් වගකීමෙන් තොරව ක්‍රියාකිරීම කොරෝනා වෛරසය පැතිරීමට බෙහෙවින් දායක වන බව විද්‍යාඥයෝ සහ සෞඛ්‍ය නිලධාරීහු කියා සිටිති.

සමාජයේ පැතිරී ගිය ජනප්‍රිය මතයවන තරුණ අය මේ වෛරසයට ප්‍රතිශක්තිය දක්වන්නේය යන්න බොරු කරමින් සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ, වැඩිහිටි උදවියසේම තරුණ අයද ආසාදිත වීමටත් එමෙන්ම වෛරසය පැතිර වීමටත් ඉඩ ඇත යන්නය. එහෙත්, එතරම්ම නරක ආකාරයට රෝගය  තරුණ අයට බලනොපාන  නිසාත් එමෙන්ම 50% ක අවස්ථාවලදී රෝග ලක්ෂණ වත් පෙන්නුම් නොකරන නිසාත් තමන්ට බියවීමට දෙයක් නැතැයි බොහෝ තරුණ අය සිතන බව ප්‍රධාන පෙලේ වෛරස විද්‍යාඥයෝ කියා සිටිති.

එක දිගට මහා සාද පැවැත්වීම ගැන ප්‍රසිද්ධියක් උසුලන බර්ලින් නුවර සාද බලහත්කාරයෙන් නතර කිරීමට පොලිසියට නිරතුරුව සිදු වී තිබේ. මෙම කඩා පැනීම වළක්වා ගැනීම පිණිස සමාජ ශාලා හිමියන් නොයෙකුත් කූඨ උපක්‍රම යොදා ගත්තද එම ක්‍රියා මාර්ග ජය ගන්නට ඉඩ නොදෙන බව පොලිසිය කියා සිටී. මුළු ජර්මනිය පුරාම මෙවැනි නීති කඩකිරීමේ ක්‍රියා වාර්තා වී ඇත. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන්   ප්‍රංශයේ සිදු කළාක් මෙන් පූර්ණ ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීමට මේ දඩබ්බර ආකල්ප හමුවේ වැඩි කලක් ගත නොවනු ඇත යන්න වැඩි දෙනාගේ මතයයි.

අදාළ රූපය

කලකෝලාහ, බීමත්කම සහ නොමනා හැසිරීම ගැන කුප්‍රකට, නවසීලන්තයේ ඩුනෙනින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රථම වසර සාදය කෙසේ හෝ පැවැත්වීමට සියගණන් සරසවි සිසුන්  අර අදින්නේ විශාල පිරිස් එකවර රැස්වීම් නතර කරමින් රජය නිකුත් කර ඇති නියෝග නොතකා හරිමිනි.

ඉගෙනීම මාර්ගගතව සිදු කරමින් ශිෂ්‍යයන් නිවෙස් කරා යවන බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් සරසවියේ ශිෂ්‍යයන් අතර විවිධාකාර ප්‍රීති උත්සව සහ සාද පැවැත්වීම උත්සන්න වී ඇතැයි වාර්තා වේ.

වසංගතය පැතිරයාම හමුවේ සිදුකළ ඇතැම් සීමාකිරීම්, ‘නිවාඩු දින ලෙස සලකා විනෝදයෙන් සිටීමට් දුන් අවසරක්’ ලෙස සලකා ‍ක්‍රියාකිරීම විවේචනයට ලක් කරන ඊශ්‍රායල් ජනාධිපතිවරයා “මේක තමයි අන්තරාව: සමාජයීය දුරස්ථ වීම සහ සමූහ ඒකරාශී වීම නොසලකා හරින්න එපා” යයි අනතුරු අඟවයි.

හොංකොංහි තත්ත්වය මදක් වෙනස්ය.   වසංගත තර්ජනය හමුවේ පිළිපැදිය යුතු කාරණා ඒ ආකාරයෙන් ඇත්තටම ඉෂ්ට නොකරන පිරිස වෙත එහි දි විරෝධය එල්ල වී තිබේ.

බැංකොක් හී   බිම ශාලා, අවන්හල් සහ විනෝදය සපයන ස්ථාන සියල්ල වසා දැමීමට රජය අණ කර තිබියදී මෑතක් වන තුරුම එම ක්‍රියා නොකඩවා කරගෙන ගිය පිරිස් වෙත දැඩි පියවර ගන්නා බවට නිලධාරීන් විසින් නැවතත් තදින් අවවාද නිකුත් කර තිබේ.

වසා තිබෙන කාමරයකට වී මත්පැන් හා සිගරට් එකිනෙකා අතර හුවමාරු කරගනිමින් ගත කළ පිරිසකට වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණවලදී හෙළිවූ වේ යයි  තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීහු සනාථ කළහ. මුඛ ආවරණ නොපැලදීම ගැන එරට දී විදේශිකයන් විවේචනයට ලක්වී ඇත. ” අනෙක් අය අවදානමට ලක් කරන හෙයින් මෙවැනි අය රටින් පන්නා දැමිය යුතුය” යි එරට මහජන සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

රියෝ ඩි ජැනැයිරෝහි ශාන්ත තෙරේසා ප්‍රදේශයේ තවමත් සාද පැවැත්වෙන බව වාර්තා වෙන අතර ආජන්ටිනාවේ ගිම්හාන කාලයේ අවසාන වකවානුව එළඹෙත්ම, වසංගතය පැතිරීම වැළැක්වීමට දුන් නිවාඩුව ප්‍රයෝජනයට ගනිමින් දහස් ගණනින් වෙරළ වලට රොක් වෙමින්  එම කාලය කෙළිදෙලෙන් ගත කිරීමට එරට වාසීන් පෙළඹී සිටින බව දැක්වේ.  “වගකීම් රහිත ක්‍රියා බොහෝමයි. මිනිසුන්ට තමන්ගේ වගකීම ගැන වැටහීම අඩුයි” එරට මොන්ටි හර්මෝසෝ නගරයේ නගරාධිපති වරයා කීය.

‘නොමනා ඒකරාශිවීම් ඇතුළුව සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිරීති වෛරසය පැතිරයාම මන්දගාමී කිරීමට සමත් ඉතා විශ්වාසදායකතම  ක්‍රමයක්’ බව වෛරස විද්‍යාඥයෝ පෙන්වා දෙති. “මේ පියවර සම්පූර්ණයෙන්ම යෝග්‍යය”යි ජර්මනියේ ප්‍රමුඛ මහජන සෞඛ්‍ය ආයතනය වන රොබට් කොව් ආයතනයේ සභාපති ලෝතර් වීලර් පවසයි, “අපි අපේ ගමන් බිමන් අඛණ්ඩව කරගෙන ගියොත්, එකේනෙකා සම්බන්ධවීම් අඩු කිරීමට අසමත් වුවහොත් අප දෙදෙනකු අතර අවම වශයෙන් මීටර් 1.5 ක දුරක් තබා ගැනීමට අපොහොසත් වුවහොත් මාස දෙකක් තුනක් යනකොට ජර්මනියේ  විතරක් ආසාදිතයින් මිලියන දහයක් දකින්නට ලැබේවි”, වීලර් තවදුරටත් කරුණු දක්වමින් පෙන්වා දෙයි “බීමහල් වැසීම තරුණ පිරිසගේ සංචලණය නතර කිරීම ආධාරවනවා. මෙහිදී වැදගත් වන කාරණාව තම්යි තරුණයන්ට වයස්ගත අය සහ අවදානමට නැඹුරු අය ආසාදනයට පත්කිරීමට හැකිය යන්න”.

දකුණු කොරියාවෙන්  ලැබෙන අධ්‍යනයකින් දැක්වෙන්නේ,  ආසාදිතයැයි සනාථ කෙරෙන 8100 කින් තුනෙන් එකක්, ඒ කියන්නේ  2300ක් පමණ වයස අවුරුදු 20 ත් 29 ත් අතර තරුණ අය ලෙස ගණන් බලා ඇති බවයි. ආසාදිත ඕනෑම වයස් කාණ්ඩයක් සම්බන්ධයෙන්  වැඩිම අනුපාතය එයයි. කිසිම රටකට වඩා දකුණු කොරියාව වෛරසය පරීක්ෂණ පැවැත්වූ හෙයින් ඒවායෙන් ලද ප්‍රතිඵල ද වඩාත් පරිපූර්ණ ය. ඉන් පෙන්නුම් කරන්නේ, තරුණ පිරිසගේ චර්යාවන්, මහා වසංගත යෙහි වර්ධනයට සැලකිය යුතු අදාලත්වයක් ඇති බවයි.එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයකින්ම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ කණ්ඩායම් වල මේ හා සමාන අනුමත කළ නොහැකි හැසිරීම් රටා වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන් පණිවුඩයක්

‘මේ වෛරසය සහ එමගින් ඇති කරන රෝගය ගැන දිනපතාම තව තවත් දේ අපි ඉගෙන ගනිමින් සිටින්නෙමු. අපි උගෙනමින් සිටින එක් දෙයක් වන්නේ මෙයින් වැඩි පීඩාවක් ඇතිකරන්නේ වයස් ගත් අයට වුවත් තරුණ ජනතාවට ද ඉන් ගැලවීමක් නැතිබවයි.  රටවල් බොහොමයක දත්ත පැහැදිලිව දක්වන්නේ රෝහල්ගත කරන රෝගීන්ගෙන් සැලකියයුතු අනුපාතයක් 50ට අඩු අය බවයි.

අද මට තරුණ පිරිසට දිය යුතු පණිවුඩයක් ඇත: ඔබ අනභිභවනීය නොවේ. ඔබව සති ගණන් රෝහල්ගත කර තබා ගැනීමට හෝ මරණයට පත්කිරීමට පවා වෛරසයට හැකිය.

ඔබ රෝගාතුර නොවුණත්, (ඔබ) යන එන තැන් පිළිබඳ ඔබේ තීරණය බාගදා වෙනත් කෙනෙකුගේ ජීවිතයත් මරණයත් අතර වෙනස බවට පත්විය හැකිය.

තරුණ ජනතාව බොහොමයක් වෛරසය ගැන තොරතුරු මිස වෛරසය පතුරන්නේ නැතිවීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙමි. මම දිගින් දිගටම කියන්නා සේ කොවිඩ් – 19 වෛරසය පැරදවීමේ දී ප්‍රමුඛවන්නේ සහයෝගීතාවයි —  රට රටවල් අතර පමණක් නොව විවිධ වයස් කණ්ඩායම් අතරත් සහයෝගීතාවයි.

සහයෝගීතාව වෙනුවෙන් කරන අපගේ ඉල්ලීමට ඇහුම්කන් දීම ගැන ඔබට ස්තුතියි

(අවධානය අපෙන් — තතු)

— from WHO Director-General’s opening remarks at the media briefing on COVID-19 – 20 March 2020

ලොව රටවල් ගණනාවක් අළලා The Guardian පුවත් පතේ මේ වාර්තාවෙන් කියවෙන වැදගත් කාරණා තුනක් හඳුනාගත හැකිය. තරුණයන් ආසාදිත වීම අඩුය යන්න සංඛ්‍යා ලේඛනාත්මක සනාථ නොවන ජනප්‍රිය මතයක් පමණක් යන්න එකකි. ආසාදිත වූ විට තරුණයන්ට බලපෑම් සාපේක්ෂව බරපතළ නොවූවද ඔවුන් මාර්ගයෙන් මහලු අය සහ අවදානමට ලක්විය හැකි අය රෝගයට පාත්‍ර කළ හැකිය. ඒ දෙවැන්නයි. මේ තත්ත්වයන් සැලකිල්ලට නොගෙන තරුණ පිරිස අන්තර් ජාතික ආයාතනයන්,  සෞඛ්‍ය නිලධාරීන් හා රජයන් සපයන උපදෙස් නීති රීති නොතකා ක්‍රියා කිරීම රෝගය පැතිර යාම පාලනය කිරීමට ගන්නා පියවර අනතුරේ හෙලයි.

 

WHO, The Guardian ඇතුළු පිළිගත් වෙබ් අඩවි කිහිපයක් ඇසුරෙන් තතු මාණ්ඩලිකයෙකු විසින් සකසන ලද්දකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.