සැමට විදු නැන නුවණ – Science Literacy for All

මහා වසංගතයක පීඩනය දරා ගැනීම

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

කොරෝනාවෛරසය(COVID-19) මිනිස්සුන්ට පීඩාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. රෝගය පිළිබඳ බිය සහ කාංසාව (anxiety) දරාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසාම දරුවන් හා වැඩිහිටියන්ට බලවත් චිත්තවේග ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය නිසි පරිදි පාලනය කිරීම ඔබවත්, ඔබේ ආදරණීයයන්වත්, ඔබේ සමාජයත් වඩාත් ශක්තිමත් කරනවා.

පුද්ගලයන් ලෙස ගත්විට අප එකෙනෙකා පීඩාකාරී වාතාවරණයන්ට මුහුණදෙන ආකාරය වෙනස්. ඔබ මේ වසංගතයේ පැතිරීම ගැන දක්වන ප්‍රතිචාරය ඔබේ පසුබිම මත, ඔබව සමාජයේ අන් අයගෙන් වෙන්කොට දක්වන යම් සාධක මත, ඔබ ජීවත් වන සමාජය මත තීන්දු වෙනවා.

අර්බුදයකදී ඇතිවෙන මානසික ආතතියෙන් වැඩිම බලපෑමක් එල්ල වන පුද්ගලයන් වන්නේ:

  • COVID-19 ආසාදනයට ලක්වීමේ වැඩි අවදානමක් සහිත අය වන වයෝවෘද පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ය
  • දරුවන් සහ යෞවනයන්
  • COVID-19 මැඩපැවැත්වීමට දායක වන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට
  • මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඇතුළු මානසික ගැටලුවලින් පෙළෙන පුද්ගලයන්

වසංගතය ව්‍යාප්ත වන අතරතුර ඇතිවන මානසික ආතතියේ ලක්ෂණ

  • තමාගේ සෞඛ්‍යය ගැනත්, තම ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැනත් නිරතුරුවම බියකින්, චකිතයකින් පසුවීම
  • නිදාගැනීමේ සහ ආහාරගැනීමේ රටා වෙනස්වීම.
  • නිදාගැනීම සහ අවදානය යොමුකිරීම දුෂ්කර වීම
  • නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වීම
  • ඇල්කොහොල්, දුම්කොළ හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම

දැනටමත් කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන් කලට වේලාවට ඖෂධ ලබාගැනීමත්, අලුතෙන් රෝග ලක්ෂණ පහලවීම හෝ පවතින රෝග ලක්ෂණ උග්‍ර වීම ගැන දැනුවත්ව සිටීමත් ඉතා වැදගත්. මේ ගැන වැඩිදුර තොරතුරු මත්ද්‍රව්‍ය නිවාරණය සහ මානසික සුවතාව පිළිබඳ ජාතික අධිකාරියේ (Substance Abuse and Mental Health Services Administration (SAMHSA) ) වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

තමන්වත්, පවුලේ අය සහ මිතුරන්වත් රැකබලාගැනීම මානසික ආතතිය සමනය කරගන්න උපකාරී වෙනවා. අන් අයට මානසික ආතතිය සමනය කරගන්න උපකාර කිරීමෙන් ඔබේ ප්‍රජාව වඩාත් ශක්තිමත් වෙනවා.

ඔබට, ඔබේම යහපත වෙනුවෙන් මේ දේවල් කරන්න පුළුවන්

  • සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය හරහා නවතම ප්‍රවෘති කියවීම, නැරඹීම හෝ සවන්දීම මදකට නවත්වන්න. මේ වසංගතය ගැන නිරතුරුවම අසන්නට ලැබීමත් පීඩාකාරී වෙන්න පුළුවන්.
  • ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. හොඳින් හුස්ම ගන්න, ව්‍යායාම කරන්න, නැතිනම් භාවනා කරන්න. හැමවිටම සෞඛ්‍ය සම්පන්න, සමබල ආහාර වේලක් ගන්න. නිරතුරුවම ව්‍යායාම කරන්න. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙන්න.
  • විවේකයෙන්, සැහැල්ලුවෙන් ගතකිරීම සඳහ කාලය වෙන් කරගන්න. ඔබට සතුට ගෙන එන ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
  • අන්‍යන් සමග සම්බන්ධ වෙන්න. ඔබේ හැඟීම්, ගැටලු, ඔබේ විශ්වාසනීයයන් සමග බෙදා හදගන්න.

ඔබේ එදිනෙදා කටයුතුවලට අවහිරයක් වෙන අන්දමට ඔඅබ නොකඩවා දින කිහිපයක්ම මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් සෞඛ්‍ය සේවා සපයන්නන්  සමග සම්බන්ධ වෙන්න.

ඔබගේත්, අන් අයගේත් මානසික පීඩාව අවම කරගන්නා ආකාරය

COVID-19 ආසාදනය ගැන නිවැරදි තොරතුරු බෙදාහදාගැනීමත්, ඔබත් ඔබේ හිතවතුනුත් මුහුණ දී සිටින සැබෑ අවදානම ගැන දැනුවත් වීමත් මේ රෝග ව්‍යාප්තිය නිසා ඇතිවන ආතතිය අවම කරගැනීමට උපකාරී වෙනවා.

COVID-19 පිළිබඳ නිවැරදි තොරතුරු බෙදාහදාගැනීමෙන් ඔබට අන් අයට ඔවුනගේ ආතතිය දුරු කරගන්න සහය වෙන්නත්, ඔවුන් සමග යහපත් සම්බන්ධතා ගොඩනගාගන්නත් අවස්ථාව හිමිවෙනවා.

ඔබේ මානසික සෞඛ්‍ය රැකගන්න ආකාරය ගැන තවදුරටත් දැනුවත් වෙන්න.

 

දෙමාපියන්ට උපදෙස්

කුඩා දරුවන් සහ නව යෞවනයන් ප්‍රතිචාර දක්වන එක් අංගයක් ලෙස ඔවුන් අවට සිටින වැඩිහිටියන් කරන කියන දේවල් නැතිනම් ඔවුන් වැඩිහිටියන් තුළින්  නිරීක්ෂණය කරන හැසිරීම දැක්විය හැකියි. ඉතින් දෙමව්පියන් COVID-19 අර්බුදයට සන්සුන්ව මුහුණ දෙනවා නම්, ඒ තමයි දරුවන්ට සහයෝගය දක්වන්න, ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමය. දෙමව්පියන් මේ ගැන දැනුවත් නම්, ඔවුන්ට අන් අය තුළ (විශේෂයෙන්ම දරුවන් තුළ) විශ්වාසය ගොඩනගන්න පුළුවන්.

    • කුඩා දරුවන් සහ යෞවනයන් සියලුදෙනාම් මානසික ආතතියට ප්‍රතිචාර දක්වන්නේ එකම ආකාරයට නොවෙ. මේ පොදුවේ නිරීක්ෂණය කළ හැකි හැසිරීම් කිහිපයක්.
    • කුඩා දරුවන් අධික ලෙස හැඬීම හෝ නොරුස්සන ස්වභාවයෙන්(අසහනයෙන්) පසුවීම
    • (ඇඳ තෙමීම, ඉබේටම මළ මුත්‍ර පහවීම වැනි) කාලයකට පෙර මගහරවාගත් වයසට වඩා ළදරු හැසිරීම් නැවතත් පළකිරීම
    • අධික බියකින් හෝ සාංකාවකින් පසුවීම
    • ආහාර ගැනීමේ හෝ නිදාගැනීමේ සෞඛය සම්පන්න නොවන චර්යාවන්
    • යෞවනයන්ගේ අසහනකාරී සහ ‘හදිසියේ දැඩිව ආවේග පිටකිරීම’  වනි හැසිරීම්රටා
    • පාසල් වැඩකටයුතුවල ප්‍රගතිය අඩාලවීම හෝ පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම
    • අවධානය යොමුකිරීමට අසීරු වීම
    • වෙනදා කැමැත්තෙන් නිරතවුණු ක්‍රියාකාරකම්වලින් ඈත්වීම
    • හේතුවක් රහිත හිසරද, ශාරීරික වේදනා
    • මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය භාවිතය

ඔබේ දරුවන්ට සහය වෙන්න ඔබට කළ හැකි දේවල් බොහොමයි

  • COVID-19වසංගතය ගැන දරුවා සමග කතාබස් කරන්න. ඔබේ දරුවන්ට වටහාගත හැකි ආකාරයෙන්, සරලව පැහැදිලි කරන්න.
  • ඔබේ දරුවා සුරක්ෂීත බව ඔවුන්ට පහදා දෙන්න. ඔවුන් කනස්සල්ලෙන් පසුවීම ගැන වරදකාරී හැඟීමක් ඇති කර ගත යුතු නැති බව පෙන්වාදෙන්න. ඔබ මානසික ආතතිය සමනය කරගන්නා ආකාරය ඔවුන්ට පැහැදිලි කරන්න. ඔවුන් ආතතිය පාලනය කරගන්න හැටි ඔබෙන් ඉගෙනගනීවි.
  • විපත්තිය ගැන මාධ්‍යයෙන් විකාශය වෙන ප්‍රවෘත්ති පවුලේ අයට නිතර බලන්න සලස්වන්න එපා. දරුවන් ඔවුන්ට ඇසෙන දේ වරදවා වටහාගන්නත්, ඔවුන්ට නොතේරෙන දේ ගැන අනවශ්‍ය බියක් ඇතිකරගන්නත් පුළුවන්.
  • සාමාන්‍ය දින චරියාව පවත්වාගෙන යන්න උත්සහ කරන්න. පාසල් වසා ඇත්නම් අධ්‍යයන කටයුතුවලටත්, විනෝද ක්‍රියාකාරකම්වලටත් කාලසටහනක් සකසාගන්න.
  • දරුවන්ට යහපත් ආදර්ශයක් වෙන්න. විවේකය, නින්ද, ව්‍යායාම, ආහාර ප්‍රමාණවත් තරමින් ලබාගන්න. පවුලේ සාමජිකයන් සහ මිතුරන් සමග සම්බන්ධවන්න.

දරුවන්ට ආතතිය සමනය කරගන්න සහය වෙන ආකාරය ගැන තවදුරටත් දැනුවත්වෙන්න.

States Get Creative To Find And Deploy More Health Workers In ...

සහය දක්වන්නන්ට උපදෙස් (For responders)

COVID-19 අර්බුදයට මුහුණදුන් අයට අතහිත දෙන ඔබටත් ඒ කාර්යය චිත්තවේගීව පීඩාකාරී වෙන්න පුළුවන්. ඔබට ද්විතීක කම්පන ආතතිය (secondary traumatic stress- STS) අවම කරගන්න ක්‍රම කිහිපයක් තිබෙනවා.

    • පීඩාකාරී සිදුවීමකට මුහුණදුන් පවුලකට උපකාරී වෙන අයටත් STS ඇතිවෙන්න පුළුවන් බව හිතට ගන්න
    • Sඨ්S තත්වයකදී ඇතිවිය හැකි කායික (තෙහෙට්ටුව, රෝගීබව) සහ මානසික (බිය, හුදෙකලා වීමට තැත් කිරීම, වරදකාරී හැඟීම් ඇතිවීම) ලක්ෂණ ගැන දැනුවත් වෙන්න.
    • වසංගතයට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව හිත එකලස් කරගන්න, තිතට විවේකය ගන්න ඔබටත්, ඔබේ පවුලේ අයටත් ඉඩක් ලබාදෙන්න.
  • මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමග කාලය ගතකිරීම, ව්‍යායාම කිරීම, පොතපත කියවීම වැනි ඔබ ප්‍රියකරන කටයුතු සඳහා කාලය වෙන් කරගන්න.
  • COVID-19 ගැන මාධ්‍ය ප්‍රචාරවලින් මදකට ඈත් වෙන්න.
  • COVID-19 හේතුවෙන් ඔබ අසහනයට පත්වී සිටිනවා නම්, එමෙන්ම වසංතයට පෙර කළ මට්ටමින් ඔබේ පවුලේ අය සහ රෝගීන් රැකබලාගැනීම තවදුරටත් අසීරු බවක් දැනෙනවා නම් නොපැකිලිව උපකාර ඉල්ලන්න.

අතහිත දෙන ඔබ වෙනුවෙන් වැඩිදුරටත් උපදෙස් දැනගන්න

නිරෝධායනයට ලක්වී නිදහස්වූවන් සඳහා

ඔබ රෝගයට ගොදුරු නොවුණත්, රෝගකාරකයට නිරාවරණය වී ඇතැයි වෛද්‍යවරු සැකකිරීම නිසා අන් අයගෙන් වෙන් වීමට සිදුවීම පීඩාකාරී අත්දැකීමක් බව ඇත්තයි. නිරෝධායනයෙන් පසුව අප එකිනෙකාට ඇතිවෙන හැඟීම් තරමක් වෙනස්.  ඒ අතරින් කිහිපයක් මේ:

  • නිරෝධායනයෙන් පසුව යම් සහනයක් දැනීම ඇතුළුව එකිනෙකට පරස්පර හැඟීම් ඇතිවෙන්න පුළුවන්.
  • (නිරෝධායනයට පසුව) ඔබේ සෞඛ්‍ය සහ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය ගැන පවතින බිය
  • COVID-19 රෝග ලක්ෂණ හඳුනාගැනීම සඳහා ස්වයං පරීක්ෂාව හෝ අන් අය විසින් පරීක්ෂාවට ලක්වීම නිසා ඇතිවන අසහනය
  • ඔබට රෝගය වැළඳී නැති බව තහවුරු වුණත් මිතුරන් සහ ආදරණීයයන් ඔබ කෙරෙන් රෝගය බෝ වේ යැයි දක්වන අනියත බිය නිසා ඇතිවන දුක, කෝපය සහ කලකිරීම
  • නිරෝධායනයට ලක්වූ කාලසීමාව තුළ එදිනෙදා වැඩකටයුතුවල නිරත වීමට සහ දරුවන් රැකබලාගැනීමට නොහැකි වූ නිසා ඇතිවන වරදකාරී හැඟීම.
  • වෙනත් චිත්තවේගීය හෝ මානසික වෙනස්කම්.

ඔවුන් හෝ ඔවුන්ගේ ආදරනීයයෙකු නිරෝධායනයට ලක්වී නිදහස් වුණා නම් දරුවන්ටත් අසහනය, තදබල චිත්තවේග දැනෙන්න පුළුවන්. ඔබේ දරුවාට සවියක් වෙන්න ඔබට පුළුවන්…

 

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කෙන්ද්‍රයන්(Centers for Disease Control and Prevention) වෙබ් අඩවියේ Manage Anxiety and Stress: Stress and Coping නම් ලිපිය ඇසුරෙන් සකස් කළෙ තතු හි අරුන්දි ජයසේකර.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: