හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
කොරෝනා වෛරසය නිසාවෙන් වැඩිහිටියන්ගේ මෙන්ම ළමුන්ගේ ජීවිත ද අවුල් කර දමා ඇත. පාසල් වසා දමා ඇත, වසංගතය තවදුරටත් පැතිරයාම වළක්වනු පිණිස බලධාරීන් දක්වන සෞඛ්‍ය උපදෙස් එලෙසම පිළිපදමින් දරුවෝත්, වැඩිහිටියෝත් නිවෙස් වෙලටම කොටුවී සිටිති. නැතිනම් ස්වයං නිරෝධානයට ලක්වෙති. කොටුවි, හිරවී ගෙවන ජීවිතය පහසු එකක් නොවේ. එය, ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වෙහෙසකර එකකි. මෙහි ඇත්තේ, වත්මන් තත්ත්වය හමුවේ පිළිපැදිය හැකි උපදෙස් එකතුවකි. අපගේ මෙන්ම අන් අයගේ ජීවිත අවදානමට හෙළන්නේ නැතුව රටක් ලෙස කොරෝනා අභියෝගය ජය ගැනීමට දරන ප්‍රයත්නයන්ට දායක වෙමින් අප කවුරුත් අපේ යුතුකම් ඉටුකරමු. thathu.com ගෙන එන මෙම ලිපියේ ඉතිරි කොටස හෙට පළවේ.
පාසල් වසා ඇති සමයේ දරුවන් සෞඛ්‍ය සම්පන්නව තබාගන්නේ කොහොම ද?
COVID-19 ගැන දරුවන්ට කියාදෙන්න
දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව දරුවන්ට වැඩිහිටියන්ට සාපේක්ෂව COVID -19 ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවක් තහවුරු වී නැහැ. COVID -19 ආසාදිතයන් අතර කුඩා ළමුන් සහ බිළින්දන් යම් ප්‍රමාණයක් සිටියත්, දැනට වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් බහුතරය වැඩිහිටියන්. COVID -19 ආසාදනයකින් වැඩිම බලපෑමක් ඇති වෙන්න පුළුවන් කාටද එහෙම නැත්නම් ඔබ බරපතල ලෙස රෝගී වීමේ වැඩි අවදානමකට මුහුණ පා සිටිනවාද යන්න ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.
දරුවන් ආසාදිතයන් වීම වැලැක්වීමට ගත යුතු පියවර
- සබන් සහ ජලය හෝ ඇල්කොහොල් මිශ්‍ර පිරිසිදුකාරකයක් යොදාගෙන හොඳින් අතුල්ලමින් නිරතුරුව දෑත් පිරිසිදු කරගන්න
- රෝගී (කසින හෝ කිවිසුම් පිටකරන) පුද්ගලයන් අසල ගැවසීමෙන් වලකින්න
- නිවසේ පොදු ස්ථානවල තිබෙන නිරතුරුවම ස්පර්ශ වන මතුපිටවල් (මේස, ඇඳි පුටු, දොර අගුල්, විදුලි පහන් දල්වන ස්විච්, දුරස්ථ පාලක, වැසිකිලි සහ සින්ක් ආදිය) දිනපතා විෂබීජහරණය කර පිරිසිදු කරන්න
- සේදිය හැකි පුළුන් බෝනික්කන් සහ රෙදි පිළි නිශ්පාදකගේ උපදෙස් අනුව යමින් සෝදා දමන්න. හැකිනම් ඒවා හැකිතාක් යෝග්‍ය උණුසුම් ජලය යොදාගෙන සෝදා සම්පූර්ණයෙන්ම වියලෙන්නට හරින්න. රෝගියෙකුගේ කිළිටි රෙදි පවුලේ අන් අයගේ රෙදි සමග සේදීම ගැටලුවක් නොවේ.
දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ යාන්තමිනි
COVID-19 ආසාදිත දරුවන් සහ වැඩිහිටියන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ සමානයි. එසේ නමුත් ආසාදිතයන් බවට තහවුරු වුණු දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් කළේ යාන්තමිනි. උණ, නාසයෙන් හොටු දියර ගැලීම, කැස්ස වැනි සෙම්ප්‍රතිශ්‍යා තත්වයකදී පෙන්නුම් කරන ලක්ෂණම ඒ දරුවන්ගෙන් දක්නට ලැබුණා. වමනය සහ බඩ එළියේ යෑමත් රෝග ලක්ෂණ ලෙස වාර්තා වෙලා තිබෙනවා. වෙනත් නිදන්ගත රෝගාබාධ වලින් පෙළෙන දරුවන් සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත දරුවන් බරපතල ලෙස රෝගී වීමේ අවදානමකට මුහුණ පා සිටිනවාදැයි තහවුරු වී නැහැ. රෝගය දරුවන් කෙරෙහි බලපාන ආකාරය ගැන (විද්‍යාඥයන්) වැඩිදුර හැදෑරීම අවශ්‍යයි.
දරුවන් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වන්නේ නෑ
ඔබේ දරුවා නිරෝගී නම් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. මුහුණු ආවරණ පැළඳිය යුත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සහ රෝගී පුද්ගලයන් රැකබලාගන්නා අය පමණයි. (මුහුණු ආවරන පැළදීම ගැන යම් ආකාරයක මත වෙනසක් තිබෙනවා. එහෙයින්, තමන් ජීවත්වන රටේ දී ලැබෙන නිල උපදෙස් අනුව ක්‍රියා කිරීම හෝ ඔබගේ විශෙෂිත අවශ්‍යතා ගැන සෞඛ්‍ය නිලධාරින්ගෙන් විමසා නිශ්චය කර ගැනීම යෝග්‍යයි. අප මෙහි දක්වා ඇත්තේ මුල් ඉංග්‍රීසි ලිපියේ දක්වා ඇති කාරණාය — සංස්කාරක)
පාසල් වසා දමා ඇති මේ දවස්වල… (මාර්තු 27 දා තතු පෝස්ටුව ද කියවන්න)
දරුවන් සහ ඔවුන්ගේ යහළුවන්
සමාජ ආශ්‍රය සීමා කරන්න: COVID-19 ව්‍යාප්තිය අවම කිරීමට ඇති ප්‍රබලම සාධකය හැකිතාක් සමාජ ආශ්‍රය අවම කිරීමයි. පාසල් පවා වසා දමා ඇති මේ සමයේ දරුවන් අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කිරීම සුදුසු නැහැ. දරුවන් නිවසින් පිටත සෙල්ලම් කරනවා නම් නිවසින් පරිබාහිර ඕනෑම කෙනෙකුගෙන් අඩි හයක පරතරයක් තබාගැනීම අනිවාර්යයි. (ඉහත සංස්කාරක සටහන කියවන්න)
සමාජ දුරස්ථභාවය පවත්වාගන්න: ඔබ කිහිප දෙනෙකුට සීමාවුණු සුහද හමුවක් පවත්වන්න සැලසුම් කරනවා නම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් හිතවතෙක් හෝ පවුලක් පමණක් තෝරාගන්න. (ඉහත සංස්කාරක සටහන කියවන්න)
නිරන්තරයෙන් දෑත් පිරිසිදු කරන්න: වරකට තප්පර විස්සක්වත් ගතකරමින් සබන් යොදා අතුල්ලමින් නිතර දෑත් සේදීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට ඔබේ දරුවන් යොමු කරන්න.
නිවාඩුව සඳහා සැලසුම් කළ ගමන් බිමන් ගැන නැවත සලකා බලන්න: අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් අවලංගු කරන්න. (ඉහත සංස්කාරක සටහන කියවන්න)
දරුවන් පාසලින් පිටතදී විශාල කණ්ඩායම් වශයෙන් මුණගැහුණොත් එය සියලුදෙනාගේම සෞඛ්‍ය අනතුරේ හෙලන බව මතක තබාගන්න.
COVID-19 වෛරසය දරුවන්ට බලපාන ආකාරය ගැන දැනට ලැබී ඇති තොරතුරු ප්‍රමාණය සීමිතයි. නමුත් ඔවුන් හරහා ඒ වෛරසය නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටියන් ඇතුළු රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහිත අයට බෝ වෙන්න පුළුවන්. මෙම අවදානම ගැන දැනුවත් වෙන්න; දරුවන්ටත් පහදා දෙන්න.
දරුවන්ට නොකඩවාම අධ්‍යයන කටයුතුවල යෙදෙන්න උදව් කරන්න
දරුවාගේ පාසල සමග සම්බන්ධ වෙන්න
- පාසල් අතරින් බහුතරයක් මාර්ගගත(online) ක්‍රමයට (විද්‍යුත් ඉගෙනුම් ක්‍රම භාවිතයෙන්) අධ්‍යයන කටයුතු පවත්වාගනෙ යනවා. පාසලෙන් දුන් පැවරුම් නැවත පුනරීක්ෂණය කරන්නත්, සාධාරණ කාල සීමාවක් තුළ පැවරුම් සම්පූර්ණ කරන්නත් දරුවාට උදව් කරන්න. විද්‍යුත් උපාංග ක්‍රියාත්මක කිරීමට සහ පිළිතුරු ටයිප් කිරීමේ දී දරුවාට ඔබේ සහය අවශ්‍ය විය හැකියි.
- ඔබ මුහුණදෙන දුෂ්කරතා ගැන පාසලට දැනුම්දෙන්න. ඔබ තාක්ෂණික හෝ අන්තර්ජාල පහසුකම් පිළිබඳ ගැටලුවලට මුහණ පා සිටිනවා නම්, ඔබේ දරුවාට පැවරුම් සම්පූර්ණ කිරීම අපහසු නම් ඒ ගැන පාසල දැනුවත් කරන්න.
අධ්‍යයන කටයුතුවලට සහ නිවසේ එදිනෙදා කටයුතුවලට කාලය වෙන් කරගන්න, නමුත් ඒ කාලසටහන පිළිපැදීම සම්බන්ධයෙන් නම්‍යශීලී වෙන්න
- සඳුදා සිට සිකුරාදා දක්වා නින්දට යාමටත්, අවදිවීමටත් නිශ්චිත වෙලාවක් යොදාගන්න.
- අධ්‍යයන කටයුතුවලට, විවේකයට, සෞඛ්‍යාරක්ෂිත ආහාර ගැනීමට සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරගන්න.
- කාල සටහන් සැකසීමේදී නම්‍යශීලී වෙන්න- දින චරියාවට ගැලපෙන ලෙස කාලසටහන වෙනස් කරගැනීමේ වරදක් නැහැ.
දරුවාගේ වයස් කාණ්ඩය අනුව ඔවුන්ගේ අවශ්‍යතා සහ දින චරියාව සකස් කරගතයුතු ආකාරය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න
- නිවසේ රැඳී සිටීමට හුරු වීම පෙර පාසල් යන වයසේ දරුවන්ට, ප්‍රාථමික පාසල් ශිෂ්‍යයන්ට, ද්විතීක පාසල් ශිෂ්‍යයන්ට සහ උසස් පාසල් ශිෂ්‍යයන්ට බලපාන ආකාරය වෙනස්. ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳවත්, පාසල් නොයා නිවසේ රැඳී සිටින කාල සීමාවේ ඔවුන් ඒ සඳහා හැඩගැසිය යුතු ආකාරය ගැනත් දරුවා සමග කතා කරන්න.
- ඔබේ දරුවන්ට යහළුවන් මුණනොගැසී ඔවුන් සමග සම්බන්ධ විය හැකි විකල්ප ක්‍රම සලකා බලන්න
ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් විනෝදාත්මක අත්දැකීමක් කරගන්න උපක්‍රම සොයාගන්න
- රූපමය ප්‍රහේලිකා, චිත්‍ර ඇඳීම, අත්වැඩ වැනි විනෝදාත්මක ක්‍රියාකාරකම් ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා යොදාගන්න.
- විධිමත් ඉගෙනුම් ක්‍රමවේද වෙනුවට දරුවාව ස්වාධීනව සෙල්ලම් කිරීමට යොමු කිරීමත් සාර්ථක උපක්‍රමයක්. ලී පුවරු යොදාගෙන බලකොටුවක් ගොඩනැගීම, සෙල්ලම් ගඩොල් එක මත එක තබමින් ගණන් කිරීමට හුරුවීම වැනි ක්‍රියාකාරකම් සඳහා දරුවන් දිරිමත් කරන්න.
- අත් අකුරු සහ ව්‍යාකරණ දියුණු කරගැනීම සඳහා පවුලේ සාමාජිකයන්ට ලියුම් ලිවීමට(වැනි නිර්මාණාත්මක ක්‍රියා සඳහා) ඔවුන්ව පොළඹවන්න.
- මේ වකවානුව තුළ සිදුවුණු දේවල් සටහන් කරමින් දින පොතක් පවත්වාගෙන යන්න ඔබේ දරුවාට උදව් කරන්න.
- ශ්‍රව්‍ය පුස්තක (audio books) භාවිතා කරන්න, නැතිනම් ඔබේ ප්‍රදේශයේ පුස්තකාලය විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සජීවී විකාශ ඔස්සේ කියවීමේ වැඩසටහන් සංවිධානය කරනවාදැයි සොයා බලන්න.
ඉතිරි කොටස හෙට
එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කෙන්ද්‍ර(CDC) වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු(thathu.com) කණ්ඩායමේ අරුන්දි ජයසේකර විසින් සම්පාදිතයි.