කොරෝනා වෛරසය ගැන පරිපූර්ණ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්

Posted by

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

අද thathu.com ඔබට ගෙන එන්නේ නව කොරෝනා වෛරසය පිළිබඳව ජ්‍යාතන්තර වේදිකාවේ පළවී ඇති වඩාත්ම පරිපූර්ණ සහ කාලීන තොරතුරු අන්තර්ගත ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. ප්‍රශ්න 100කට සපයා ඇති පිළිතුරු අද සිට කොටස් තුනකින් පළවේ.

පිලිතුරු සපයන්නේ ස්වස්ථතාව සහ නිවර්තන  රෝග පිළිබඳ ලන්ඩන් ආයතනයේ අධ්‍යක්ෂ පීටර් පියොට්.

100 Questions answered by Peter Piot, London School of Hygiene & Tropical Medicine[LSHTM] Director

  1. අපි මුලින් ම මූලික කාරණාවකින් පටන් ගමු. වෛරසයක් කියන්නේ ඇත්තටම මොකක්ද?

වෛරස කියන්නේ DNA හෝ RNA ජාන උපදේශ කේතයක ප්‍රෝටීනමය ආවරණයකින් වට වී සෑදුණු අතිශය කුඩා සියුම් අංශු වලටයි

  1. වෛරස අපි ජීවත් වන පරිසරයේ කොතරම් සුලබ ව දකින්ට පුළුවන් ද?

වෛරස මේ ලෝකේ සෑම තැනක ම වාගේ දකින්ට පුළුවන්. පුදුම හිතෙන කාරණයක් තමයි මේ ලෝකයේ තියෙන සියලු ම වෛරස එකට එකතු කරලා බැලුවත් ලෝකයේ තියෙන සියලු ම ශාක, සත්ත්ව හා බැක්ටීරියා වැනි සියලුම ජීවී දර්ශක වලට වඩා වෛරස බරින් වැඩි වීමයි. එමෙන්ම මිනිස් ජෙනෝමයේ 10% පමණ ප්‍රමාණයක්  බිහි වෙලා තියෙන්නේ වෛරස DNA  විකාශය වීම විශේෂත්වයක්. කොටින් ම කිව්වොත් පෘථිවිය කියන්නේ වෛරස වලින් පිරුණු ග්‍රහලෝකයක්.

  1. මෙම වෛරස පැතිරීම පාලනය මෙතරම් අපහසු වන්නේ ඇයි?

ඇත්තෙන්ම මෙම වෛරස අංශු සිතා ගත නොහැකි තරමට ම කුඩා අංශුයි. එක  කැස්සක් හරහා වාතයට පිටවෙන ඉතා සියුම් බිඳිත්තක්(droplet) ඔස්සේ වෛරස් අංශු බිලියන  ගණනක් පාවෙමින් ව්‍යාප්ත වෙන්නට පුළුවන්.

  1. ඇත්ත වශයෙන්ම වෛරස් අංශුවක් කොපමණ කුඩා ද?

වෛරස් අංශුවක් ඉතාමත් සියුම්. සාමාන්‍ය  අන්වීක්ෂයකින් වත් මෙම අංශු දැක ගත නොහැකියි. කොටින් ම කිව්වොත් නව කොරෝනා වෛරස් අංශු මිලියන 100 ක් පමණ ප්‍රමාණයක් අල්පෙනෙත්ති හිසක් තරම් ප්‍රමාණයකට සම කරන්නට පුළුවන්. එම අංශු ඒ තරම් කුඩායි.

  1. මෙම වෛරස් අංශු සැබැවින් ම සිදු කරන්නේ කුමක් ද?

වෛරස් අංශු වල මූලික උත්සාහය වන්නේ ජීවී සෛල තුළට ඇතුළු වී එම ජීවී සෛල තුළ දී ගුණනය වී අනෙකුත් සෛල සහ අනෙකුත් ධාරකයන් අතරේ වෛරසය ව්‍යාප්ත කිරීමයි.

  1. ඇයි මේ වෛරස ජීවි සෛල තුළට ම ඇතුළු වෙන්න උත්සුක වෙන්නේ?

වෛරස ප්‍රජනනය සිදු කරන්නේ ඒ ආකාරයට ජීවී සෛල තුළට ඇතුළු වීම මගිනුයි. එනම් ඔවුන් සැබැවින් ම ක්‍රියා කරන්නේ පරපෝෂිතයන් ලෙසටයි. වෛරස  ජීවී සෛල තුළට ඇතුළු වී එය ප්‍රාණ ඇපයට ගෙන තව තවත් ඒවා නිපදවීම සඳහා  එක් එක් සෛලවල ක්‍රියාකාරීත්වය පාලනය කරමින් එම සෛල වලට පිටපත් නිපදවීමට බල කරයි. එවිට ධාරක සෛලය මගින් නව වෛරස් පිටපත් සිය දහස් ගණනක් නිපදවෙන අතර අවසානයේ දී ධාරක සෛලය ද විනාශ වී යනවා.

  1. SARS-CoV-2 ලෙස විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වීමකට ලක් වූවා යැයි සලකනු ලබන්නේ කුමන අදියරේ දී ද?

එලෙස සලකනු ලබන්නේ කොරෝනා වෛරසය වන SARS-CoV-2, (6 වැනි ප්‍රශ්නයට දී ඇති පිළිතුරේ සඳහන් විදිහට) මිනිස් දේහයක් තුළ දී අනු පිටපත් නිපදවීම ආරම්භ වීමත් සමගයි.

  1. SARS-CoV-2 හාCOVID -19 අතර පවතින වෙනස කුමක් ද?

SARS-CoV-2 නමින් හඳුන්වන්නේ වෛරසයයි. COVID-19 කියන්නේ ඉන් හට ගන්නා රෝගයේ නමයි.

9.වෛරසයකට ජීවී සෛලයක් තුළට ඇතුළු වීම පහසු ද?

පළමු  කොට ම එය තීරණය වන්නේ වෛරසය හා එය ඇතුළු වීමට උත්සාහ දරණ සෛලයෙහි  ගැළපෙන ප්‍රතිග්‍රාහක ඇත් ද යන්න මතයි. වෙනත් විදියකට කියනවා නම් හරියට යම් නිශ්චිත අගුලකට නිශ්චිත යතුරක් ගැළපෙනවා හා සමාන ක්‍රියාවලියක්. අපගේ  දේහයේ පවතින ප්‍රතිශක්තිකරණ යන්ත්‍රණය මගින්  හෝ සෛලයට ඇතුළු වීම පිණිස අදාල වෛරසයට ගැළපෙන හෙවත් යෝග්‍ය ප්‍රතිග්‍රාහක අපට නොමැති වීම හේතුවෙන් හෝ බොහෝමයක් වෛරස සිරුරට ඇතුළු වීම අවහිර කරනු ලබනවා.   මෙසේ ලොව පවතින වෛරස වලින් 99% ම පාහේ මිනිසාට හානිකර වෙන්නේ නැහැ.

  1. ලෝකයේ වෛරස් වර්ග කොපමණ විතර ප්‍රමාණයක් තිබෙනවාදඒවායින් කොපමණ ප්‍රමාණයක් මිනිස් අපිට හානිකරයි ද?

වෛරස වර්ග මිලියන ගණනක් ලොව පවතිනවා. ඒවායින් සිය ගණන් තරම් ප්‍රමාණයක් තමයි මිනිසාට හානිකර වෙන්නේ. නිරන්තරයෙන් ම නව වෛරස සොයා ගැනුණත් බොහෝමයක් වෛරස මිනිසාට හානිකර වන්නේ නැහැ.

  1. සාමාන්‍ය වශයෙන් ගත්තොත් මිනිසාට ආසාදනය වීමට මෙම වෛරස් අංශු කොපමණ සංඛ්‍යාවක් පමණ ශරීරගත විය යුතු ද?

අළුත් වෛරසයක් නිසාවෙන් SARS-CoV-2 වෛරසය සම්බන්ධයෙන් නම් ප්‍රමාණය ගැන අපට තවම හැරි වැටහීමක් නැහැ. සාමාන්‍යයෙන් නම් අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්.

12.එම වෛරසය දිස් වෙන්නේ මොන වගේ ද?

SARS-CoV-2 වෛරසය හැඩයෙන් සිහින් දිගු ස්පැගටි (ස්පැගටි යනු ආහාර වර්ගයකි: නූඩ්ල්ස් මෙන් දිගැටියට සෑදු පැස්ටා) පොටකට සමාන වන අතර බෝලයක් වැනි ව්‍යුහයක් තුළ එතී තිබෙනවා. පිටතින් ප්‍රෝටීනමය කවචයක් (ආවරණයක්) පවතිනවා. එම ප්‍රෝටීනමය ආවරණය තුළින් සෑම තැනකින් ම කටු කටු වැනි ව්‍යුහයන් විහිදී තිබෙනවා. මෙය හරියට  සූර්යයා වටේ ඇති කොරෝනාව හෙවත් රැස් වළල්ලට සමාන ආකාරයකින් දිස් වෙනවා. මෙම ව්‍යුහය කොරෝනා වෛරස් පවුලේ සෑම වෛරසයක ම  දක්නට ලැබෙනවා.

  1. කොරෝනා පවුලේ වෛරස වලින් කොපමණ වෛරස් ප්‍රමාණයක් මිනිසාට හානිකර වෙන වාද?

කොරෝනා පවුලේ වෛරස අතුරෙන් මිනිසාගෙන් මිනිසාට සංක්‍රමණය වන වර්ග 7 ක් පමණ පවතිනවා. මින් වර්ග 4ක පමණ වෛරස මගින් හට ගන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක්(cold) පමණයි. කොරෝනා පවුලේ ඉතුරු වෛරස වර්ග 3වන SARS, MERS හා නව කොරෝනා වෛරසය වන SARS-CoV-2 යන වෛරස් වර්ග මාරාන්තික විය හැකියි.

  1. මෙමSARS-CoV-2 වෛරසය “නව කොරෝනා වෛරසය” නමින් හඳුන්වන්නේ ඇයි?

මෙම වෛරසයට “නව” යැයි පවසන්නේ හුදෙක් එය මිනිස් වර්ගයාට අලුත් නිසායි. එනම් මෙම වෛරසය මින් පෙර කිසි දිනක හමු නොවූ සුවිශේෂී වෛරසයක්. මිනිස් අපගේ ප්‍රතිතිශක්තීකරණ පද්ධතිය අවුරුදු මිලියන 2 ක් පුරාවට(විවිධ වෛරසවලට මුහුණ දීමට හැඩ ගැසෙමින්) පරිණාමය වෙමින් පවතිනවා. නමුත් මෙම නව වෛරසය මිනිස් ප්‍රතිදේහ මගින් මීට පෙර හඳුනා ගෙන නොමැති නිසා ඊට එරෙහිව ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගැනීමට කිසිදු අවස්ථාවක් මිනිස් අපට ලැබී නැහැ. ආන්න ඒ ආකාරයට අපේ ආවේණික ප්‍රතිශක්තිය අවම වීම මෙන් ම  මෙම නව වෛරසයට ඉතා ඉක්මනින් පැතිරී යාමට ඇති හැකියාව හා මාරක ගතිය යන කරුණු එකට එක් වීමෙන් SARS-CoV-2අප අතරට පැමිණීම මහා ව්‍යසනයක් බවට පත් ව තිබෙනවා. .

  1. කොතරම් කාලයකට වතාවක් මේ වගේ නව වෛරස මතු වීම ද අපේ අවධානය යොමු විය යුතු වෙන්නේ?

එහෙම  සිදු වෙන්නේ කලාතුරකින්…හැබැයි ඉතින් එහෙම සිද්ධ වෙනවා. උදාහරණ ලෙස HIV, SARS, MERS සහ තවත් සුළු සංඛ්‍යාවක් රෝග ඇති කරවන  වෛරස දක්වන්න පුළුවන්.  මෙවැනි වෛරස මතු වීම නැවත නැවතත් සිදුවිය හැකියි. මිනිසුන් අතර ඉතා දරුණු ලෙස පැතිරී ගොස් ඉතා  භයානක ප්‍රතිඵල ගෙන ඒමට සමත් නම්  මෙවැනි වෛරස මතු වීම ඉතා විශාල ප්‍රශ්නයක් තමයි.

  1. මෙම වෛරසය කෙතරම් ඉක්මනින් පැතිරෙන්නේ ද?

SARS-CoV-2 වෛරසය මිනිසාගෙන් මිනිසාට පහසුවෙන් ම පැතිර යනවා. එය කැස්ස, කිවිසුම් හා ස්පර්ශයෙන් බෝ විය හැකියි. මෙය “ශ්වසන පද්ධති සම්ප්‍රේෂිත” ( “respiratory transmitted”) වෛරසයක්.

  1. මීට අමතරව මෙම වෛරසය බෝවිය හැකි ආකාර තිබෙනවාද?

මෑතක වාර්තා අඟවන ආකාරයට මෙම වෛරසය මල හා මුත්‍රා අපවිත්‍ර කරණය මගින් ද බෝ විය හැකි බව පෙනී ගියත් එය මෙතෙක් නිසැකව ම තහවුරු කර නැහැ.

  1. මෙම නව කොරෝනා වෛරසය වනSARS-CoV-2 අනෙකුත් කොරෝනා පවුලේ වෛරස වන SARS  හා MERS වලින් වෙනස් වන්නේ කෙසේ ද?

SARS-CoV-2වෛරසය තීරණාත්මක ආකාර 4 කින් වෙනස්කම් පෙන්වනවා.

  • පළමුවෙන් ම, මෙම වෛරසය ආසාදනය වූවන් බොහොමයකට දින කිහිපයක් ගත වෙන තෙක් ම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එබැවින් වෙන් කළ යුතු පුද්ගලයන් කවුරුන්දැ’යි හඳුනා ගැනීම අපහසු නිසා එම පුද්ගලයන් හරහා නොදැනුවත්ව ම වුණත් වෙනත් පුද්ගලයින්ට ද බෝ විය හැකියි. SARS-CoV-2 වෛරසය සීඝ්‍රයෙන් බෝවෙන බැවින් මෙය ඉතාමත්කණගාටුදායක කාරණයක් වෙනවා.
  • එතරම් දරුණු නැති මෙම COVID-19 වෛරසය ආසාදනය වූ පසු 80% අවස්ථාවල, හට ගන්නේ සුළු හෙම්බිරිස්සාවක් හෝ මද කැස්සක් පමණයි. ඒ නිසා ආසාදිතයන් ස්වයං නිරෝධායනය නොවී අන් අයටත් බෝ කිරීමේ හැකියාවක් පවතිනවා.
  • මෙම වෛරසයේ රෝග ලක්ෂණත් ඉන්ෆ්ලුවැන්සා උණ හෙම්බිරිස්සාව සමග එන රෝග ලක්ෂණත් පහසුවෙන් පැටලීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ පිරිස් සිතන්නේ තමන්ට සෑදී ඇත්තේ හෙම්බිරිස්සාවක් කියායි. ඒ නිසා ඔවුන් අනෙකුත් රෝග  පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ.
  • මෙම වෛරසය පහසුවෙන් බෝ වන්නේ මිනිසාගෙන් මිනිසාට වීම අනෙක් කාරණයයි. බාග දා මෙය තමයි වඩාත් ම වැදගත්. මන්ද, රෝගයේ මුල් අවධියේ දී වෛරසය ඒකරාශී වන්නේ උගුරේ ඉහළ ප්‍රදේශ වලයි. උගුර වෛරස් අංශු වලින් පිරී පවතිනවා. කිවිසුම් යාමක දී හෝ කැස්සක් මගින් කුඩා වෛරස් අංශු බිලියන ගණනක් පිට වන නිසා අවට සිටින අනෙක් පුද්ගලයින්ට (සතෙකුගෙන් බෝවෙනවාට වඩා) ඉතා පහසුවෙන් වෛරසය සම්ප්‍රේශණය විමේ (බෝ වීමේ) අවදානමක් පවතිනවා.

 

  1. මම සිතුවේ වෛරසය මගින් කෙළින්ම නිව්මෝනියාවට මගපාදනවා කියලා. කොහොමද උගුර සම්බන්ධ වෙන්නේ?

මේ ආසාදනය බොහෝ විට මුලින් ම හට ගන්නේ උගුරේ.(පරීක්ෂණවල දී බොහෝ විට උගුරු මාත්තුවක්[throat swab] ලබාගන්නේ ඒ නිසයි) ඉන් පසුව එය ක්‍රමයෙන් පෙණහලු කරා පැතිරිලා ශ්වසන මාර්ගයේ පහළ පෙදෙස දක්වා ව්‍යාප්ත වී ආසාදනය වෙනවා.

  1. නව කොරෝනා වෛරසය ගැන කතා කරද්දී බොහෝ විට “අලාක්ෂණික” (“asymptomatic”) යන වචනය යෙදෙනවා. ඉන් අදහස් කෙරෙන්නේ කුමක්ද?

ඉන් කියවෙන්නේ හුදෙක් ‘රෝග ලක්ෂණ නො පෙන්වන’ කියන එකයි.  (ඉහත 18 සහ පහත 21 ප්‍රශ්නවලට දි ඇති පිළිතුරුවලින් මෙය තවත් පැහැදිලි කරගන්න පුළුවනි).

  1. ඔබ පවසන ආකාරයට යම්කිසි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබුණත් රෝග ලක්ෂණ මතු නොවී තිබිය හැකි ද?

අවාසනාවකට ඔව්. බොහොමයක් ආසාදිතයන් මුල් දින කිහිපය තුළ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ටික දිනකින් ඔවුන් වියළි කැස්සක් හෝ හෙම්බිරිස්සා ලක්ෂණ පෙන්වනවා. මෙය මීට කලින් තිබූ SARS වෛරසයේ ලක්ෂණයන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූ ලක්ෂණයන්.

  1. ඔබට රෝගී ලක්ෂණ නොමැතිව වුණත් අනෙක් පුද්ගලයින්ට ඔබ මගින් වෛරසය බෝවිය හැකි ද?

අවාසනාවකට ඔව්.  වෛරසය පැතිරීම පාලනය කිරීම මෙතරම් අපහසු වෙන්න එය හේතු වෙනවා.

  1. මෙම වෛරසය ආසාදනය වීම වැළැක්වීමට විද්‍යාඥයන්ට නව එන්නතක් නිපදවීමට හැකියාවක් පවතිනවාද?

හුඟක් දුරට පුළුවන් වේවි. නමුත් අපට තහවුරු කරලා කියන්නට අපහසුයි එන්නතක් නිපදවන්න පුළුවන්වේද කියලාවත්.  උදාහරණයක් විදිහට අපි අවුරුදු 35 ක් පමණ HIV වෛරසය සඳහා එන්නතක් නිපදවීමට කටයුතු කළත් අපිට තවම ඒ සඳහා එන්නතක් නිපදවීමට හැකි වෙලා නැහැ. නමුත් SARS–CoV-2 සඳහා එන්නතක් නිපදවීම ගැන අපට සුභවාදී බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් එම සාදනු ලබන එන්නත් වල සඵලත්වය හා ආරක්ෂිත බව පිළිබඳව පුළුල් ව සොයා බලන්න වෙනවා. පරීක්ෂණ සඳහා මානව සම්පත් හා කාලය ඉතා විශාල වශයෙන් වැය වෙනවා.

  1. මෙම නව කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට හැකියාවක් තිබේ යයි ද එමෙන්ම හා නව එන්නතක් නිපදවීමට සැලකිය යුතු ඉක්මනින් නිපදවීමට හැකි වෙතැයි ද උපකල්පනය කළොත් මිනිසුන් මිලියන ගණනකට එම එන්නත ශරීරගත කිරීමට හැකි වෙන දවසක් එන්න තව කොපමණ කලක් යාවි ද?

“අපේක්ෂක එන්නත්”(ඒ කියන්නේ යෝග්‍ය වීමට ඉඩඇති එන්නත්) වර්ග කිහිපයක් ම ඉදිරි මාසයක්  දෙකක් ඇතුළත කල එළි බසීවි. නමුත් ඉන් මිනිසුන්ට කෙතරම් ආරක්ෂාවක් සැලසෙතැ’යි ද එමෙන්ම එය කෙතරම් ආරක්ෂා සහගත ද යන්න  පරික්ෂා කළ යුතුව ඇති හෙයින්  එන්නතක් සොයා ගත්තත් එය ප්‍රමුඛ  නියාමන නියෝජිතායතනයක් හරහා අනුමත කරනු ලැබීමෙන් පසුව මිනිසුන් සඳහා ලබා දීමට අවම වශයෙන් තව අවුරුද්දක් වත් ගත වෙනවා. එසේ එන්නත් භාවිතයට ගත හැකි මට්ටමක තිබුණා වුනත්, මිලියන ගණන් විශාල ප්‍රමාණවලින් එන්නත් නිපදවා ලබා දෙන්න  මාස 18 ත් 24 ත් අතර කාලයක් යනවා යි කියලා තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකත් පවා ඉතින් සර්ව සුභවාදී බලාපොරොත්තුවක්.

  1. මෙවැනි හදිස්සි වාතාවරණයක දී පවා එවැනි එන්නතක් වැඩි දියුණු කිරීමට මෙතරම් දිගු කාලයක් වැය වන්නේ ඇයි?

එන්නතක් සොයා ගැනීමට එතරම් කාලයක් වැය වීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් එන්නත යෝග්‍ය තත්ත්වයේ තිබෙනවාදැ’යි පරීක්ෂණාගාරවල පරීක්ෂා කර බැලීමෙන් පසුව  ක්ෂේත්‍රයේ හෙවත් සායන පරීක්ෂණ රාශියකට භාජනය කර බලනවා. සාමාන්‍යයෙන් එන්නතක් පළමු ව අත්හදා බලන්නේ සතුන්ටයි. එය සාර්ථක වූ පසුයි විශාල මිනිස් කණ්ඩායමකට ලබා දී වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

  1. අපි මෙම නව කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමේ ක්‍රියාවලියේ දී දියුණුවක් අත්පත් කර ගෙන තිබෙනවාද?

සතුටුදායක කාරණය වන්නේ  SARS-CoV-2 වෛරසය 2020 ජනවාරි මුල් සතියේ දී ම හඳුනා ගෙන වෙන් කර දැක්වීමට හැකි වීමෙන් පසුව සති කිහිපයක් පමණක් ගත වෙනවාත් එක්කම එන්නත් වැඩිදියුණු කිරීමේ ක්‍රියා පිළිවෙත් ආරම්භ වීමයි. බොහෝ රජයන් හා බොහෝ සමාගම්  මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ අරමුදල් වෙන් කොට තිබෙනවා. මුලු ලෝකය පුරාම  විද්‍යාඥයින්,  පර්යේෂකයින් ඒ සඳහා ඉතා කඩිනමින් කටයුතු කරමින් පසු වෙනවා.

  1. විවිධ රටවල් වල සිටින විද්‍යාඥයින් මෙම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ තරගකාරී බවකින් දනැතිනම් සහයෝගයෙන් ද?

ඔය කියූ කාරණා දෙකම දකින්නට පුළුවනි. ඔය ආකාර දෙකෙන් ම කටයුතු කිරීම වරදක් නැහැ. නමුත් මෙම වෛරසය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතාව සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තිබෙනවා. එය ධෛර්ය උපදවන සුළුයි.

  1. අපිට මෙම වෛරසය සදහා සුදුසු එන්නතක් නිර්මාණය කිරීම වේගවත් කරන්නටබැරිද?

අවාසනාවකට මේ සඳහා කෙටි මං භාවිතා කරන්නට බැහැ. මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා සංකීර්ණයි. එමෙන්ම අනාවැකි පළ කළ නොහැකියි. වෛරසයක් විකෘති වීම වෙන්න පුළුවන්. මෙම එන්නත් සඳහා ළමුන් ප්‍රතිචාර දක්වන ආකාරය වැඩිහිටියන්ගෙන් බොහෝ සෙයින් වෙනස් වෙන්ට පුළුවන්. එමෙන්ම ස්ත්‍රී පාර්ශවය දක්වන ප්‍රතිචාර පිරිමි පාර්ශවයෙන් බොහෝ සේ වෙනස් වෙන්නට පුළුවන්. එම නිසා මෙවැනි අවස්ථාවක දී එන්නත් භාවිතා කළ හැක්කේ ඕනෑම අයෙක් සඳහා 100% ක් එම එන්නත් සෞඛ්‍යාරක්ෂිත යැයි ඔප්පු වූවායින් පසු පමණයි. මේ සඳහා ස්වේච්ඡාවෙන් පරීක්ෂණ වලට ඉදිරිපත් වූ සෞඛ්‍ය සම්පන්න අයවලුන්ට පරෙස්සමින් පාලනය කළ  තත්වයන් සහ විවිධ මාත්‍රා මට්ටම් යටතේ එන්නත් හා ඖෂධ අත්හදා බලන්න වෙනවා.

  1. නව කොරෝනා වෛරසය කෙතරම් මාරාන්තික විය හැකි ද?

බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ලොව පුරා ආසාදනය වූවන් ගෙන් 1%ක්,  2% ක්  මිය යා හැකි බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව 3% ක ප්‍රතිශතයක් මිය යා හැකි බව පෙන්වා දෙන නමුත් තව වාර්තා නොවූ ආසාදිත සංඛ්‍යාවන් හෝ මද වශයෙන් රෝගී වූ සංඛ්‍යාවන් හමුවේ මෙම මට්ටම පහත වැටීමේ හැකියාවක් පවතිනවා. ආසාදනය වූවන් අතරින් වයස්ගත පුද්ගලයින් සහ යම් රෝගී තත්ත්වයන් ගෙන් පෙළුණු අය අතරේ  මරණ සංඛ්‍යාව ඉහළ අගයක් පෙන්නුම් කරනවා.

  1. සාමාන්‍ය මරණ අනුපාතිකය මෙම රෝගය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීම සඳහා අවධානය දැක්විය යුතු සාධකයක් ද?

ඇත්තෙන්ම නැහැ. නිදසුනක් මගින් පැහැදිලි කරගන්නවා නම් යම් දිය කඳක ගැඹුරෙහි ‘සාමාන්‍යය’(average) අඟල් 3ක් වුවත් සමහරවිට එහිම ඇතැම් තැනකදී කෙනෙකු ගිලෙන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් තේරුම් ගත හැකි හොඳම ක්‍රමය වන්නේත් සමහර නිශ්චිත මිනිස් කණ්ඩායම් සඳහා එය වඩාත් මාරාන්තික බවත් ඇතැම් කණ්ඩායම් සඳහා එම අවදානම අඩු බවත් යනුවෙන් හඳුනා ගැනීම තමයි.

  1. මෙම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු විශේෂ වැදගත් කරුණු හා සංඛ්‍යා ලේඛනමය දත්ත මොනවාද?

මෙම වෛරසය නිසා 80%ම අවස්ථාවල ඇතිවෙන්නේ ඉතා සියුම් නැතිනම් මද රෝගී තත්වයන් නමුත් 20% ක් ඉතා දරුණු ලෙස රෝගී වන්නේ වඩාත් දරුණු අවස්ථා වලදී අධික උණ සහ හුස්ම ගැනීමට නොහැකි ව හුස්ම හිර වීම පෙන්නුම් කරමිනි.  මෙහි ප්‍රතිඵලයක් ලෙස සමහර පුද්ගලයින් රෝහල්ගත කිරීමට අවශ්‍ය වන අතර ඉන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ පෙණහලු විශාල වශයෙන් ආසාදනය වී ඇති තීරණාත්මක දිනවල දී දිවි ගලවා දීම පිණිස දැඩි සත්කාර ඒකක වල සහය අවශ්‍ය වෙනවා.

‍32.  මෙහි වඩාත් ම අවදානමට ලක්ව ඇත්තේ කුමන කණ්ඩායම් ද?

පළමුවෙන් ම මා වැනි වැඩිහිටි අයයි. මට වයස අවුරුදු 71 වෙනවා. ඔබ වයසින් වැඩි වන විට ඔබේ අවදානම වැඩි වෙනවා. එසේම මීට අමතරව දියවැඩියාව හෝ නිදන්ගත අවරෝධක පුප්ඵුස රෝගය(obstructive lung disease = පෙණහලු අවහිර වීමේ රෝගය) හෝ පුප්ඵුසීය රෝග හෝ හදවත් ආශ්‍රිත රෝග හෝ ශ්වසන රෝග ආදියෙන් පෙළෙන්නන් හෝ ප්‍රතිශක්තිය හීන පුද්ගලයින් වැඩිපුර අවදානමට ලක් වී සිටිනවා.

  1. මෙම අධි අවදානම් කණ්ඩායම් වල සිටින පුද්ගලයින් කොපමණ නම් අනතුරකට මුහුණ පා සිටිනවා ද?

මෙම කණ්ඩායම් වලට අදාළ මරණ අනුපාතිකය 10% හෝ 15% පවා තරම් ඉහළ විය හැකියි. කෙනෙකුට තවත්  සෞඛ්‍යය ගැට‍ළු තිබෙන විට මෙම  අවදානම් තත්ත්වය ද ඉහළ යා හැකියි. මේ සම්බන්ධ වෙබ් අඩවි වල සියලු  විද්‍යාත්මක දත්ත නිතිපතා  යාවත්කාලීන කරනවා.

 හෙට තව කොටසක්

පරිවර්තන දායකත්වය:
අරුන්දි ජයසෙකර සමග කුසල් සෙනරත්බණ්ඩාර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.