හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
අද thathu.com ඔබට ගෙන එන්නේ නව කොරෝනා වෛරසය පිළිබඳව ජ්‍යාතන්තර වේදිකාවේ පළවී ඇති වඩාත්ම පරිපූර්ණ සහ කාලීන තොරතුරු අන්තර්ගත ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. ප්‍රශ්න 100කට සපයා ඇති පිළිතුරු කොටස් තුනකින් පළවේ. අද 2 කොටස.
පිලිතුරු සපයන්නේ ස්වස්ථතාව සහ නිවර්තන රෝග පිළිබඳ ලන්ඩන් ආයතනයේ අධ්‍යක්ෂ පීටර් පියොට් ය.
100 Questions answered by Peter Piot, London School of Hygiene & Tropical Medicine[LSHTM] Director
- කෙනෙකුට දියවැඩියාව වැනි අනෙකුත් සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු තියෙනවා නම් අවදානම් තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩි වන්නේ ඇයි?
හේතුව තමයි කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඕනෑම ආසාදනමය(බෝවෙනසුළු)වෛරසයක් හමුවේ විශේෂයෙන්ම මේ නව වෛරසයට ප්‍රතිචාර දක්වන්නේ දුර්වල අන්දමට වීමයි.
- සාමාන්‍යයෙන් සමාජයේ මතයක් පවතිනවා ළමුන් හා තරුණයින් මේ වෛරසයෙන් ආසාදනය වන්නේ මද වශයෙන් කියලා. මෙම මතය ඇත්තක් ද?
බොහෝ විට අපට පෙනෙන්නට ඇත්තේ එයයි. එහෙත් COVID-19 සම්බන්ධ තවත් නොයෙකුත් කාරණා වගේ මෙම කාරණාවත් සනාථ කළ යුතුව තිබෙනවා.
- ඉතින් ඔය කිව්ව කාරණාව ඇත්ත නම්SARS-CoV-2 වෛරසය තරුණයින්ට සහ ළමයින්ට නැතිව වැඩිහිටියන්ට වැඩි වශයෙන් බලපාන්නේ ඇයි?
ඇත්තටම ඒ ගැන නම් අපි දන්නේ නැහැ. ඒක තෝරා බේරා ගන්න තව ටික කලක් යාවි.
- මේ සම්බන්ධයෙන් වෙනත් අසාමාන්‍ය යමක් තිබෙනවාද?
ඔබ කිසිදු රෝග ලක්ෂණයක් නො පෙන්වා ඒ කියන්නේ අලාක්ෂණිකව හොඳින් සිටියත් මෙම වෛරසය ඔබෙන් තවකෙකුට බෝ වෙන්න පුළුවන්. මෙය HIV ආසාදනය සම්බන්ධයෙන් ද මෙසේ ම සිදු විය හැකි නමුත් ඇත්තටම ඉතින් මෙය අසාමාන්‍යයි තමයි.
- අපිට නිතරම අසන්නට ලැබෙනවා මෙම නව කොරෝනා වෛරසය වාරිකව හිස ඔසවන ඉන්ෆ්ලුවැන්සාව(flu කියලා කියන්නේ) සමග සැසඳීමකට ලක් කළ හැකියි කියලා. මෙම රෝග වර්ග දෙක නිවැරදිව සසඳන්නේ කොහොමද? නිදසුනක් ලෙස දක්වනවා නම් මෙම රෝග දෙකම එක හා සමානව භයානක ද?
අප ෆ්ලූ(flu) යනුවෙන් කෙටියෙන් දක්වන සෘතුමය හෙවත් වාරික ඉන්ෆ්ලුවැන්සාව ඇමෙරිකා එක්සත් ජනපදයේ වසරකට මිලියන 30 ක පමණ ජනතාවකට වැළඳෙන අතර ඉන් ආසාදිතයින් 1% ක පිරිසකගෙන් දහයෙන් එකක් ට මදක් අඩුවෙන් මිය යනවා. මෙයත් විශාල සංඛ්‍යාවක්. සාමාන්‍ය වසරක දී ලොව පුරා මුලු වශයෙන් 300,000 ක් මෙම රෝගය නිසා මිය යනවා. සාමාන්‍ය පදනමකින් ගත් විට මෙම නව කොරෝනා වෛරසය 10 – 20 ගුණයකින් මාරාන්තිකයි. අනික, වාරිකව එන ඉන්ෆ්ලුවැන්සාවෙන් මෙන් නොව නව කොරෝනා වෛරසයෙන් එන්නතක් මගින් ආරක්ෂා වීමටත් අපට අවස්ථාවක් තාමත් නැහැනෙ.
- නව කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවැන්සා සෙම්ප්‍රතිශ්‍යාව තරම් පහසුවෙන් ම වේගයෙන් පැතිරෙනවා ද?
ඔව්. එය ඒ තරම්ම වේගයෙන් පැතිරෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ
- කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවැන්සාව සමග සැසඳීම තවදුරටත් සිදු කරනවා නම් මේවා ඇතිවීමට බලපාන හේතු කුමක් ද? මේ ඉන්ෆ්ලුවැන්සාව හැදෙන්නෙත් වෛරසයක් නිසාම ද?
ඔව්. ඉන්ෆ්ලුවැන්සාව හෙවත් වාරික සෙම්ප්‍රතිශ්‍යා රෝගය හට ගන්නේ ඉන්ෆ්ලුවැන්සා වෛරසය නිසායි. එත් කොරෝනා වෛරසයත්, ඉන්ෆ්ලුවැන්සා වෛරසයත් යන දෙක එකිනෙකට බෙහෙවින් වෙනස් වූ වෛරස් වර්ග දෙකක්. ඉන්ෆ්ලූවෙන්සාවට දෙන එන්නත නව කොරෝනා වෛරසයෙන් ගැලවීමට මග පාදන්නේ නැති නමුත්, වාරිකව හැදෙන ඉන්ෆ්ලුවැන්සාව රෝගයට ගොදුරු වීමේ අවදානම බොහෝ සේ අඩු කරනවා. ඒ වුණත් කිසිදු එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැති සාමාන්‍ය හෙම්බිරිස්සා රෝගය බොහෝ විට රයිනො වෛරස් නම් කුඩා වෛරසයක් නිසාවෙනුත් ඉඳහිට තවත් කොරෝනා වෛරසයකිනුත් හට ගන්නවා.
- නව කොරෝනා වෛරසය ඔබගේ ශරීරයට ඇතුළු වූ පසු එය වර්ධනය වන්නේ කොහොමද කියලා විස්තර කළොත්?
එය සාමාන්‍යයෙන් පටන් ගන්නේ කැස්සකින්. ඉන් පසුව මද උණ ගතියක් ඇතිවෙනවා. මද උණ ඉතා තද උණක් දක්වා වර්ධනය වෙනවා. ඉන් පසුව හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවෙනවා.
- යහපත් සෞඛ්‍ය සත්කාරය රෝගියෙකුගේ ජීවිතයත් මරණයත් තීරණය කරන්නේ කුමන අවස්ථාවේ දී ද?
සාමාන්‍යයෙන් නම් රෝගියාගේ උණ ඉතා ඉහළ මට්ටමකින් පවතිද්දී සහ පෙණහලු වල ක්‍රියාකාරිත්වය අඩපණ වී හුස්ම ගැනීමට අපහසු වන අවස්ථා වලදී හෝ හුස්ම ගැනීම සඳහා කෙනෙකුට (පිටස්තර උපකරණයක)උපකාරයක් අවශ්‍ය වන අවස්ථාවල දීයි.
- නව කොරෝනා වෛරසය සරම්ප, පැපොල හා කම්මුල්ගාය වැනි (වෛරස් මගින් බෝ වන) රෝගයකින් වෙනස් වන්නේ කොහොමද?
SARS – CoV-2 වෛරසය ගත්තොත් (ඔය කියූ අනෙකුත් රෝග) ආසාදනයවිම හා අන්තරාය බෙහෙවින් අඩුයි. එහෙත්SARS – CoV-2 ගැන අප නො දන්න දේ බොහෝයි. ඉහත සඳහන් අනෙකුත් රෝග පිළිබඳව අපි මනා අවබෝධයකින් පසු වෙනවා.
- නව කොරෝනා වෛරසය අනෙකුත් වෛරස වලට වඩා භයානක නොවේ නම් බොහෝ මිනිසුන් මෙම වෛරසයට බියක් ඇති කරගන්නේ ඇයි?
එයට හේතුව තමයි ලෝකයේ අලුතින් සෑදෙන වෛරස් ආදිය මිනිස් ජීවිත ඉතා විශාල ප්‍රමාණ වලින් බිලි ගැනීමට හෝ රෝගී කිරීමට හැකි බවට මිනිසුන් තුළ පවතින අනියත බිය. නමුත් මිනිසුන්ට නිවැරදි දැනුම තිබෙනවා නම් එලෙස බියක් ඇති කර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ හන්දා ඇමරිකාවේ නම් එරට රෝග පාලනය හා වළක්වා ගැනීම සඳහා වන කෙන්ද්‍රයන්ගේ(CDC) වෙබ් පිටුවට සහ වෙනත් රටවල නම් එම රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෙබ් පිටුවලට අවතීර්ණ වී ඒවායේ පළවන තොරතුරු සොයා බැලීම කළ හැකියි.
- මිනිසුන් සාමාන්‍යයෙන් කොපමණ වතාවකට සැරයක් රෝග පාලනය හා වළක්වා ගැනීම සඳහා වන කෙන්ද්‍රයන්ගේ(CDC) වෙබ් පිටුව හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ(WHO) සහ තම රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් පිටු පරිශීලනය කළ යුතුද?
නව වෛරසය පිළිබඳව නව තොරතුරු නිතර අලුත් වන නිසා අපගේ දැනුම යාවත්කාලීන කරගැනීමට නිතර නිතර මෙම වෙබ් පිටු පරිශීලනය කිරීම සුදුසුයි.
- මිනිසා කවදා හෝ වෛරසයක් මුළු ලෝකයෙන් සහමුලින්ම අතු ගා දමා තිබෙනවාද?
ඔව්. උදාහරණ විදිහට, මිලියන ගණන් ජීවිත බිලි ගත් වසූරිය දක්වන්න පුළුවන්. ඒවගේම, බිල් ගේට්ස් පදනමට සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ලොව පුරා රජයන්වලට පින් සිද්ධ වෙන්නට පෝලියෝ වසංගතයත් ලෝකයෙන් තුරන් කර දමන්නට ආසන්නයි. අපට අතීතයේ තිබූ අති භයානක මහමාරිය වසංගතය අමතක කරන්නත් බැහැ.
- නව වෛරසය ලොව පුරා අලුත් ස්ථාන කරා පැතිරී යන්නේ කොහොමද?
මහ මාර්ගයෙන්, ගුවනින් සහ මුහුදෙන් කියලා කියන්න පුළුවන්. උදාහරණයකට දැන් කාලේ වෛරස ගමන් කරන්නේ අහස් යානාවලින්. ඒ මොකද කීවොත් ඒවායේ යන සමහර ගුවන් මගීන් SARS – CoV-2 වෛරසය අර ගෙන යනවා විය හැකියි.
- අද වන විට සෑම ජාත්‍යන්තර ගුවන්තොටුපොළක්ම මෙම වෛරසය පිළිගැනීමට එලූ රතු පලසක් වෙලා තිබෙනවා නේද ?
යථාර්ථය නම්, අද වන විට එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් වල මෙන් ම ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපලකට ඈතින් පිහිටි තැන්වලත් SARS – CoV-2 වෛරසය ව්‍යාප්ත වී මුල් බැස ගෙන තිබෙනවා.
- මෙම කොරෝනා වෛරසය චීනයෙන් ආරම්භ වූ නිසා චීනයේ සිට පැමිණෙන අමුත්තන් ද වෛරසය එක්සත් ජනපදයට රැගෙන ඒමේ ලොකු ම අන්තරාය දරන්නේ?
2019 දී චීනයෙන් මෙම වෛරසය ඉස්මතු වූ දා සිට ලෝකයේ සෑම තැනකින් ම පාහේ ජනතාව මිලියන 20 පමණ එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා. සති 4 කට පෙර සිට(මාර්තු මුල වාගේ සිට) ඇමෙරිකාව විසින් චීනයේ සිට සෘජුව පැමිණෙන සියලු ම ගුවන් ගමන් නවත්වණු ලැබ තිබුණත් වයිරසය ඇමෙරිකාවට ඇතුළු වීම නවතන්නට නොහැකි වී තිබෙනවා. දැනට චීනයේ වෛරසය පැතිරීම පාලනය වී අඩු වෙමින් යන බව දක්නට ලැබෙනවා. දැන් චීනයට වයිරසය රැගෙන එන්නේ වෙනත් රටවල සිට චීනයට එන COVID-19 ආසාදිත පුද්ගලයින්ගෙන්.
- තව විදියකින් කියනවා නම් ඕනෑම රටකට වෛරසය ඇතුළු වී මාස තුනක් වැනි කෙටි කාල සීමාවක් ඇතුළත රට පුරාම ව්‍යාප්ත වෙන්න ප්‍රධාන ගුවන්තොටුපොළවල් තිබුනහම ඇතියි කියන එක ද?
ඔව්, ඉංග්‍රීසියෙන් අපට ආපු කතවක් තියෙන්නේ “අශ්වයා පැනලා ගියාට පස්සේ අශ්ව ගාලේ දොරවහනවා කියලා”. නමුත් සියලු ම ගුවන් ගමන් අවලංගු කරන්න මේක හේතුවක් නෙවෙයි.
- ජපානය වගේ රටක් පාසල් වසා දමන්න පෙලඹුණේ ඇයි?
ඉතාලිය සහ ප්‍රංශය වැනි රටවල් පවා ඒ පියවර ගත්තා. මොකද රෝග වාහක දරුවන් රෝග ව්‍යාප්තියේ වේගය වැඩි කරන්න කොයි තරම් දුරට දායක වෙන වාද කියලා විද්‍යාඥයන්ටත් පැහැදිලි අදහසක් නැහැ. ජපානය රෝග ව්‍යාප්තිය පාලනය කරන්න විශාල වෙහෙසක් දරනවා. සාමාන්‍යයෙන් පොඩි දරුවෝ හරිහැටි අත් සෝදන්න, පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගෙන යන්න එතරම් මහන්සි නොවන නිසාම ඒ අය වෛරසය සීඝ්‍ර වශයෙන් පැතිරීමට දායක වෙනවා. සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවැන්සාව ව්‍යාප්තියට ඔවුන් විශාල වශයෙන් දායක වෙනවා. රෝගය පැතිරුණු ප්‍රදේශවල පාසල් වසා දමන්න බොහෝ රටවල් කටයුතු කළේ ඒ නිසයි.
- මේ රෝගය මට ආසාදනය වුණත්, මේ වෛරසයේ බලපෑම අවම කරන්න, නැතිනම් වෛරසය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න පුළුවන් ඖෂධ වර්ග තිබෙනවාද?
ප්‍රතිකාර ක්‍රමයක් හැටියට හෝ වෛද්‍යවරු කියන විදිහට ‘චිකිත්සාවක්’ විය හැකි කිසිම ඖෂධයක් දැනට සාර්ථක බව තහවුරු කරලා නැහැ. මේ අවස්ථාව වන විටත් ඖෂධ වර්ග කිහිපයක් ම සායනිකව පරීක්ෂාවට ලක් වෙනවා. ඒ නිසා අපට ඉක්මනින් ම යහපත් ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්න පුළුවන්.
- අපිට නව චිකිත්සක ඖෂධයක් සොයා ගන්න හැකියාවක් තිබෙනවාද? ඊට තව කොපමණ කාලයක් ගත වේවිද?
COVID-19 ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේ දී, දැනට යම් රෝග සඳහා නියම කරන ඇතැම් ඖෂධ දැනට අනුමත කර නැති භාවිතයන් සඳහා යොදා ගැනීම හෙවත් දොස්තරවරු කියන හැටියට ‘අනුමතයෙන් පිටස්තර’ (off-label) භාවිතයට යොදා ගැනීම ගැන තව මාස කිහිපයක් ඇතුළත දැනුවත් වෙන්න ලැබේවි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. වෙන වචනවලින් කියනවා නම් HIV වැනි වෙනත් වෛරස් ආසාදන සඳහා දැනට භාවිතයේ පවතින ඖෂධ වර්ග නව අරමුණක් සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ බව නිශ්චිතව ම තහවුරු කරන්න නම් දිග කාල සීමාවකුත්, සායනික පර්යේෂණ ගණනාවකුත් අවශ්‍ය වේවි. චීනයේ වගේ ම අනිත් රටවල් තුළත් විවිධ ඖෂධ වර්ග සායනික පර්යේෂණවලට ලක් වෙමින් තිබෙනවා. ඒවායින් සාර්ථක ප්‍රතිඵලයක් අපේක්ෂා කරන්න පුළුවන්.
- එතකොට ප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන මොකද හිතන්නෙ? සාමාන්‍යයෙන් අර්බුදයක දී කවුරුත් පෙලඹෙන්නේ ප්‍රතිජීවක භාවිතා කරන්න.
මේක නව වෛරසයක් මිස බැක්ටීරියාවක් නෙවෙයි. ප්‍රතිජීවක බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කළාට වෛරසවලට එරෙහිව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. රෝහලක ප්‍රතිකාර ගනිද්දි බැක්ටීරියා මගින් ඇති විය හැකි ද්විතීයික ආසාදනවල දී ප්‍රතිජීවක භාවිතයෙන් සහනයක් ලබාගන්න පුළුවන්. නමුත් මේ නව වෛරසයට එරෙහිව ප්‍රතිජීවක වල කිසිදු බලපෑමක් නැහැ.
- මේ වෛරසයට එරෙහි නව ප්‍රතිකාර ක්‍රම ගැන අන්තර්ජාලයේ නොඑකකුත් විවිධ සුවපත් කිරීම් සහ චිකිත්සා සහ ප්‍රතිකාර ගැන විස්තර පළ වෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?
මේ ගැන අසත්‍ය කියා පෑම් පළ වීම නම් සීමාවකින් තොරව සිද්ධ වෙනවා. මේ පළ වෙන කරුණු පිටුපස විද්‍යාත්මක පැත්තක් තියනවා කියලා විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ එකම තොරතුරු වෙබ් අඩවි ගණනාවක පළ වෙලා තිබෙනවා නම් විතරයි. ඒත් ඒ පිළිබඳව අහන්නට ලැබෙන දේවල් අතරින් බහුතරයක් ම මුළුමනින් ම මනස්ගාත. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව ඉන්න. ඒ වගේම ඔබත් පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු කරලා නැති කටකතා පතුරවන්න එපා.
- මුහුණු ආවරණ ගැන ඔබේ ස්ථාවරය මොකක්ද? සාමාන්‍යයෙන් ශල්‍යාගාරවල භාවිතා කරන නිල් පාට මුහුණු ආවරණයක් ද එහෙමත් නැත්නම්N95 වර්ගයේ මුහුණු ආවරණයක් ද භාවිතා කිරීම ප‍්‍රයෝජනවත් වෙන්නේ?
මුහුණු ආවරණයක් ප‍්‍රයෝජනවත් වෙන්නේ විශේෂ තත්වයන් කිහිපයක දී විතරයි. උදාහරණයක් විදියට දක්වනවා නම් භාවිත කරන N95 මුහුණු ආවරණයේ වර්ගය අනුව ඇතුළතින් එන වෛරස් අංශුවලින් 50%ක් පමණ ආවරණය කරන්න පිහිට වෙන්න පුළුවන්, නමුත් (කෙළ සහ සොටු) බිඳිති වලින් වෛරස බෝවීම අඩු කරන්න ඒවාට පුළුවන්.
- මුහුණු ආවරණයක් නිවැරදිව භාවිතා කිරීමේ වාසි මොනවාද? මුහුණු ආවරණ අනිවාර්යයෙන් ම භාවිතා කළ යුත්තේ කවුද?
උපරිම ප්‍රමිතියේ මුහුණු ආවරණයක් නිවැරදිව භාවිතා කළොත් රෝගීන්ගේ කැස්ස නිසා රෝගය පැතිරීම අඩු කරගන්න පුළුවන්. මේ මුහුණු ආවරණයෙන් කෙරෙන්නේ අන්‍යයන්ගෙන් ඔබ ව ආරක්ෂා කරන එක නෙවෙයි; ඔබෙන් අන් අයව ආරක්ෂා කරන එකයි. ඔබට කැස්සක් හැදිලා නම්, හෙම්බිරිස්සාවක් හැදී ගෙන එනවා වගේ දැනෙනවා නම් අනුන්ගේ යහපත ගැන හිතලා මුහුණු ආවරණයක් පලඳින්න. මුහුණු ආවරණ පැලඳීමේ අමතර වාසියකුත් තිබෙනවා. මුහුණු ආවරණය නිසා ඔබට ඔබේ මුඛය ආදිය ස්පර්ශ කිරීම සීමා වෙනවා, ඒ නිසා ඔබේ අත්වල වෛරසය තැවරී තිබුණත් එය ශරීරගත වීමේ අවදානම අඩු වෙනවා.
මුහුණු ආවරණ භාවිතය සෞඛ්‍ය සේවකයන්ට ප‍්‍රයෝජනවත්. ඔබ සෞඛ්‍ය සේවය හා සම්බන්ධ නම්, නැතිනම් වැඩිහිටි නිවාසයක සේවය කරනවා නම්, මුහුණු ආවරණයක් පැලඳීම අනිවාර්යයි.
- ලෝකය පුරාම ශීඝ්‍රයෙන් පැතිරෙන මේ වසංගතයෙන් ගැලවෙන්න අපිට මොනවද කරන්න පුළුවන් ද?
නිරන්තරයෙන් අත් සේදීමෙන්, මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකීමෙන්, කහින කොට හෝ කිවිසුම් අරින කොට වැළමිටෙන් හෝ ටිෂු කඩදහියකින් මුහුණ ආවරණය කර ගැනීමෙන්, අතට අත දීමෙන් සහ වැළඳ ගැනීමෙන් වැළකී සිටීමෙන් රෝගයට ගොදුරු වීමේ අවදානම අවම කරගන්න පුළුවන්. ඔබ අසනීපයෙන් නම් නිවසේ ම රැඳෙන්න. වෛද්‍යවරයෙකුට දුරකථන ඇමතුමක් දීලා ඊළඟට ගන්න ඕන පියවර ගැන උපදෙස් ගන්න. පිටස්තර අය හමු වෙද්දී මුහුණු ආවරණයක් පලඳින්න.
- ‘ප්‍රශමනය’ (mitigation) යන්නෙහි තේරුම කුමක් ද? මේ වචනය විද්‍යාඥයන් නිතර භාවිත කරනවා දැකලා තියෙනවා.
‘ප්‍රශමනය’ කියන්නේ වෛරසය පැතිරීම මන්දගාමී කිරීම මෙන් ම මහජන සෞඛ්‍ය සේවාවන්, ජන ජීවිතය සහ ආර්ථිකය මත එහි(වෛරසයේ) බලපෑම සීමා කිරීමයි. සුදුසු එන්නතක් සොයා ගන්නා තුරු අපට කළ හැක්කේ එහි පැතිරීම අඩාල කරන එකයි. මේ කාරණාව හරි වැදගත්.
- මේ වෛරසයේ ව්‍යාප්තිය අඩාල කරන්න අපිට තව මොනවද කරන්න පුළුවන්?
යහපත් ස්වස්ථතාව නැතිනම් සනීපාරක්ෂාවක් පවත්වා ගෙන යාමත්, අන් අයට රෝගය බෝ නොවන ආකාරයෙන් කටයුතු කිරීමත් මගින් ව්‍යාප්තිය අවම කරගන්න පුළුවන්. ඊට අමතරව රැකියාවට නො ගිහින් නිවසේ සිට රාජකාරි කිරීම, ගුවන් ගමන් අවලංගු කිරීම, පාසල් වසා තැබීම, මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීම වැනි “සමාජ දුරස්ථකරන” ක්‍රමෝපායන් හරහා SARS-CoV-2 ව්‍යාප්තිය මැඩ පවත්වන්න පුළුවන්.
- සමහර වෛරස වර්ග අනිත් වර්ගවලට වඩා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා ද?
ඔව්. එයින් නරකම ආසාදනය තමයි සරම්ප. ආසාදිතයෙක් රැඳී හිටපු කාමරයකට ආසාදිතයා එතැනින් පිටවෙලා පැය දෙකකට පසුව ගියත් ඔබට රෝගය බෝ වෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණ එන්නත් දීම අඩු වීමත් සමග සරම්ප රෝගය ව්‍යාප්තියේ වැඩි වීමක් දකින්නට ලැබෙන්නේ ඒකයි. ඒක මැඩ පවත්වන්න දුෂ්කර රෝගයක්. සෙම්ප්‍රතිශ්‍යාවත් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. HIV ආසාදනය සාපේක්ෂව ඒ තරම් පහසුවෙන් ව්‍යාප්ත වෙන්නෙ නෑ, නමුත් එයින් වාර්තා වෙලා තිබෙන මරණ සංඛ්‍යාව මිලියන 32ක්.
- මේ නව කොරෝනා වෛරසය මැඩපවත්වන්න කළ යුත්තේ මොනවද?
ඒ ගැන කාටවත් ම නිශ්චිතවම මුකුත් කියන්න බැහැ, නමුත් රෝග ව්‍යාප්තිය සාර්ථකව මැඩ පවත්වන්න පුළුවන් බව චීනය ඔප්පු කර පෙන්නුවා. SARS-CoV-2 මුලිනුපුටා දමන්න නම් එන්නතක් අවශ්‍ය වෙයි.
- එක්සත් ජනපදයේ සමස්ත ජනගහණය තරමට විශාල පිරිසක් අතර මේ නව වෛරසය ව්‍යාප්ත වෙන්න කොයි තරම් කාලයක් ගත වෙයි ද?
යහපත් සෞඛ්‍ය පුරුදු සාමාන්‍ය මට්ටමෙන් පවත්වා ගෙන ගියත්, SARS-CoV-2 ආසාදිතයන්ගේ ප්‍රමාණය සෑම සතියක් පාසා ම දෙගුණ වෙන බවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ආසාදිතයන් 50කින් සති 14කින් පමන ඇතුළත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යා හැකියි. රෝගය බෝවීම ගැන සරල අංක ගණිතයෙන් දක්වන්න පුළුවන් එහෙමයි. හැබැයි ඉතින් ඒ ව්‍යාප්තිය මන්දගාමී කරන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
- කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මන්දගාමී කිරීමේ දී යහපත් සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීම කොයි තරම් දුරට ඵලදායී ද? ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් පහළ බසීවි ද?
ආසාදිතයන් සංඛ්‍යාව තීන්දු වෙන්නේ මිනිසුන්ගේ සැලකිලිමත් භාවය මතයි. සෞඛ්‍ය සේවයට අනවශ්‍ය බරක් නොවෙන්න පුංචිම පුංචි වෙනසක් පවා වැදගත්.
- අපේ සමස්ත ජනගහණය අතර රෝගීන් දෙ තුන්දහසක් වාර්තා නොවී සැඟව තිබීමට ඉඩක් පවතිනවාද? වෙනවා නම් ඒක වෙන්න පුළුවන් වන්නේ කොහොමද?
ඕනෑම වසරක දී ඉන්ෆ්ලුවැන්සා රෝගීන් මිලියන ගණනින් වාර්තා වීම සාමාන්‍ය දෙයක්. මේ වසරේ දී ඒ ආසාදිතයන් අතරින් කිහිප දෙනෙක් COVID-19 ආසාදිතයන්. ඊට අමතරව, ආසාදිතයන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නො පෙන්වන නිසා, නැත්නම් රෝග ලක්ෂණ පෙන්වන්නේ යාන්තමින් නිසා, අපට නොපෙනුනාට ඔවුන් ඇස්පනාපිටම සැඟවී ඉන්නවා වෙන්නත් පුළුවන්.
- පරීක්ෂණයක “ප්‍රතිඵලය ධන අගයක් ගන්නවා”(positive) කියන එකේ අදහස මොකක්ද?
එයින් කියවෙන්නේ සියුම් පරීක්ෂාවකින් පසු ඒ පුද්ගලයාගේ ශරීර තරල වල වෛරසය අඩංගු යයි හඳුනා ගත් බව.
- හැමෝම හැකි ඉක්මනින් ම පරීක්ෂාවට ලක් වීම අත්‍යවශ්‍ය ද?
මේ ආසාදනය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂා කරගන්න තියෙන අවස්ථා මීට වඩා පුළුල් වෙන්න ඕන. මොකද අපි ආසාදිතයා කවුද, වෛරසය ප්‍රජාව අතර ව්‍යාප්ත වෙන්නෙ කොහොමද කියලා ප්‍රමාණවත් තරම් දැනුවත් වෙලා නැහැ. වැදගත් දත්ත ගැන දැනගන්න විශාල නියැදි ප්‍රමාණයක් අවශ්‍යයි.
- දකුණු කොරියාව “drive-through” testing (පරීක්ෂණ කලාපයක් හරහා රථය ධාවනය කරන්න) පහසුකම් සලසලා තියෙනවා. එහෙම තීරණයක් ගත්තේ ඇයි?
දකුණු කොරියාව “drive-through” testing හඳුන්වා දුන්නේ හැම ආසාදිතයෙකු ම ඉක්මනින් ම හඳුනා ගැනීම හරහා මේ වසංගත ව්‍යාප්තිය හැකි තාක් මන්දගාමී කරන්නටයි.
ප්‍රශ්න 100 ඉතිරිය(69 සිට 100) හෙට. නොවැරදී තතු කියවන්න
පරිවර්තන දායකත්වය:
අරුන්දි ජයසෙකර සමග කුසල් සෙනරත්බණ්ඩාර