කොරෝනා ගෝලීය වසංගතයට පෙර ඉහළ මට්ටමක වායු දූෂණය පැවැති ප්‍රදේශවල සිටින කොවිඩ් රෝගීන්, රටේ වායු දූෂණය අඩු පළාත්වල සිටින ආසාදිතයන්ට වඩා රෝගයෙන් මිය යාමේ වැඩි හැකියාවක් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ටී.එච්. චාන් මහජන සෞඛ්‍ය පාසලේ පර්යේෂකයන් රට (එක්සත් ජනපදය) පුරා මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ (එක්සත් ජනපදයේ) ප්‍රාන්ත 3080ක දත්ත විශ්ලේෂණය කිරීමෙනි. දිගු කාලයක් වායු දූෂණයට අනාවරණයවීම සහ කොවිඩ් 19 මරණ අනුපාතය අතර පැහැදිලි සම්බන්ධතාවයක් එමගින් ප්‍රථම වතාවට දක්වයි. ඔවුනට පෙනී ගියේ වාතයේ හමුවන PM 2.5 හැටියට දක්වන අන්තරායකාර අංශු කොවිඩ් 19 රෝගයෙන් සිදුවන මරන අනුපාතය ඉහල යාමට සම්බන්ධ බවයි.
කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණ හෝ බරපතළ රෝග තත්ත්වයන් හා දූෂණය වූ වාතයත් අතර සම්බන්ධය ඇතැයි මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් අනුමාන කරනු ලබන්නේ සති ගණනක් තිස්සේ ය. දෙක අතර සංඛ්‍යාලේඛනය සම්බන්ධයක් පෙන්නුම් කරන රට පුරා සිදු කෙරුණු ප්‍රථම අධ්‍යනය මෙකී හාවර්ඩ් විශ්වවිද්‍යාලයීය විශ්ලේෂණයයි. “වායු දූෂණයට දිගුකාලයක් නිරාවරණය වීමෙන් ඉතාමත් බරපතළ කොවිඩ් 19 තත්ත්වයන්ට බඳුන් වීමේ අවදානම ඉහළ නැංවෙන බව මෙකී අධ්‍යන වාර්තා ප්‍රතිඵලවලින් දැක්වෙනවා” යයි අධ්‍යනයේ කතුවරු කියා සිටිති. ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හී ඊසාන දිග වාණිජ නගරයක් වන මෑන්හැටන්වල පසුගිය වසර 20 ඇතුළත අංශුමය ද්‍රව්‍ය (particulate matter නැතිනම් PM ලෙස දැක්වේ.) සාමාන්‍යනය හුදු ඒකක එකකින් පමණක් හෝ එක ඝන මීටරයකට එක් මයික්‍රෝ ග්‍රෑමයක් අඩු කළේ නම්, මේ පේරුව (borough) තුළ වසංගතය හටගෙන කොවිඩ් 19 පැතිරීම ආරම්භ වී මේ වන තුරු (අප්‍රියෙල් 7 දා වනවිට) මරණ 248 වත් අඩු කරගත හැකිව තිබුණු බව මෙම අධ්‍යයනය ආවරණය කරයි.
සමස්තයක් වශයෙන් ගත් කල කොරෝනා වෛරසය පැතිර යද්දී සංවාතක (ventilators) සහ ශ්වාසක (respirators ) වැනි සම්පත් වෙන් කිරීමේදී අධ්‍යනයේ සොයාගැනීම් මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සැලකිය යුතු ප්‍රයෝජනයක් වන්නට තිබුණි. අධ්‍යන වාර්තාව සමපදස්ථකයන්ගේ සමාලෝචනයෙන් පසුව New England Journal of Medicine හි පළ කිරීම සඳහා යොමු කර තිබේ. දුම් පානය කිරීමේ අනුපාතයන් සහ ජානගත ඝනත්වය වැනි අනෙකුත් සාධක සඳහා යම් ඉඩකඩක් අත්හැරීයේ වී නමුදු වායු දූෂණයට දීර්ඝ කාලයක් නිරාවරණයවීමේ හුදු සුළු ඉහළ යාමක් පවා කොවිඩ් 19 සම්බන්ධ රෝගී තත්ත්වයන් කෙරෙහි බරපතළ ප්‍රතිඵල ගෙන ආ හැකි බව වාර්තාවක් පෙන්වා දෙනු ලැබේ. “වායු දූෂණය වඩාත් අධික රටවල කොවිඩ් 19 මරණ ඉහළ යාමේ ඉහළ අවදානමක් අත්දකිනු ඇති බවට අධ්‍යයනයෙන් සාක්ෂි සපයනව” යනුවෙන් අධ්‍යයනය මෙහෙයවූ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව-සංඛ්‍යාලේඛන, ජනගහන සහ දත්ත විද්‍යා මහාචාර්යවරිය ප්‍රැන්සිස්කා ඩොමිනිචි පෙන්වා දෙයි. මෙම අධ්‍යයනය තවමත් වැඩි කොට යුරෝපයෙන් පිටතට සීමා වූ කුඩා, එහෙත් ක්‍රමයෙන් වර්ධනය වන පර්යේෂණ දේහයක කොටසකි. දීර්ඝ කාලයක් දූෂිත වායු ආශ්වාස කිරීමෙන් ජනතාව (දැනටමත් (අප්‍රියෙල් 14) එක්සත් ජනපදයේ 23,644 ක් සහ ලොව පුරා 119,702 ක් ජීවිත බිලි ගෙන ඇති) කොවිඩ් 19 ට ගොදුරු වීමේ අවදානම වැඩි වීමට ඇති ග්‍රාහීතාව(susceptible = හැකියාව) මෙමගින් පෙන්නුම් කෙරේ.
කෙටි කාලයේදී, කැලිෆෝනියා මධ්‍යම නිම්නය හෝ ඔහයිඕ ප්‍රාන්තයේ කුයාගෝගා වැනි ප්‍රදේශවල ජනයා වඩාත් බරපතළ කොවිඩ් 19 රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු යැයි අධ්‍යයන වාර්තාවේ සොයාගැනීම් හඟවන බව මහාචාර්ය ඩොමිනිචි ඇතුළු අනෙකුත් මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අදහස් කරති.
කෙසේ වෙතත් මෙම විශ්ලේෂණය මඟින් තනි රෝගී පුද්ගලයන්ගේ දත්ත ගැන සොයා බලා නැත. එමෙන්ම අනෙකුත් කොටස් හා සංසන්දනාත්මකව රටේ සමහර කොටස්වල වඩාත් බරපතළ තත්ත්වයන් ඇති වුණේ කෙසේ ද යන්නට පිළිතුරු ද ඉන් නොසැපයේ. අංශුමය ද්‍රව්‍ය දූෂණය කොරෝනා වෛරසය හැසිරීම සම්බන්ධයෙන් යම් භූමිකාවක් ඉටු කරන්නේද යන්න හෝ දීර්ඝ කාලීනව වායු දූෂණයට නිරාවරණය වීම රෝගාතුර වීමේ දී වැඩි අවදානමකට සෘජුව මඟ පාදන්නේ ද යන්න වුවද පැහැදිලි නැත.
මෙම අධ්‍යයනයේ සොයාගැනීම් විශේෂයෙන්ම වැදගත් වන්නේ දුගීන් වසන පළාත් සහ (පොහොසත් සුදුජාතිකයන් වෙසෙන ප්‍රදේශවලට වඩා ඉහළ වායු දූෂණයකින් යුක්ත) කළු ජාතිකයින් සිටින ප්‍රදේශවල රෝහල් වලට යයි ඇමරිකානු පෙණහලු සංගමයේ ප්‍රකාශක සහ සැන්ප්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයකු වන ජෝන්. ආර්. බාම්ස් පවසයි. රෝගීන්ගේ පුද්ගලික ගති ලක්ෂණ ගැන සොයා බලා නැති මෙම අධ්‍යයනය කියාපාන්නේ වායු දූෂණය සහ කොවිඩ් 19 අතර ප්‍රයෝජ්‍ය සම්බන්ධයක් තිබිය හැකි බව පමණක් යයි පෙන්වාදෙන මහාචාර්ය බාම්ස් ප්‍රකාශ කර සිටින්නේ තවත් පර්යේෂණ මගින් අධ්‍යයනයේ සොයාගැනීම් තහවුරු කළ යුතු බවයි. ඊට ඩොමිනිච් ද එකග වන්නීය. කෙසේ වෙතත් “මේවා වැදගත් සොයා ගැනීම්“ යයි බාම්ස් අධ්‍යනය ගැන පොදුවේ සඳහන් කරමින් කියා සිටියි.
New York Times හි පළවූ New Research Links Air Pollution to Higher Coronavirus Death Rates යන ලිපිය ඇසුරෙනි