සත්ව වෛරස මිනිසාට වැළදීම, වන හානියේ ප්‍රතිඵලයක්

Posted by

සත්ව වෛරස මිනිසාට වැළදීම, වන හානියේ ප්‍රතිඵලයක්

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවකට අනුව, ලෝකයේ ඇති වනාන්තර විනාශ වී කුඩා කැබලිවලට  බෙදී යාම  නිසා  වන සතුන්ට ආසාදනය වෙන වෛරස් හා අනෙකුත් රෝග කාරක බොහෝමයක්  මිනිසුන් වෙතටද බෝ වීමේ සම්භාවිතාව වැඩි වී තිබෙනවා. මෙම වාර්තාව අප්‍රියෙල් 9 දා ප්‍රකාශයට පත් වුවකි.

බටහිර උගන්ඩාව ආශ්‍රිතව වාසය කරන මිනිසුන් සහ ප්‍රිමාටේස් හෙවත් මිනිස්  පරපුරේ ආදීතමයින්, (ගෝරිල්ලන්, චිම්පන්සින් වැනි ප්‍රභේද ) අතර සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කළ මෙම පර්යේෂණය, කොරෝනා  වෛරස් රෝගයෙන් දැඩිව පීඩා විඳින, එමෙන්ම  ඉදිරියේ දී   පැමිණිය හැකි ගෝලීය වසංගත වැළැක්වීම සඳහා උපාය මාර්ග සෙවීමේ යෙදී සිටින ලෝකයා වෙනුවෙන්  අපූර්ව පාඩම් රැසක් කියා දෙයි.

“වසංගතයක් ආරම්භ වීමෙන් පසු එය පාලනය කිරීම ඉතා අපහසු බව කොරෝනා වසංගතය  අපට උගන්වා තිබේ” යයි ස්ටැන්ෆර්ඩ් හි ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන ලෝරා බ්ලූම්ෆීල්ඩ් පවසනවා. මිනිසුන්ට වන සතුන් සමඟ සම්බන්ධ වීමේ හැකියාව අඩු කර ගත හැකි නම්, එය පුනරාවර්තීව නොහොත් නැවත නැවතත් වසංගත ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමේ එක් ක්‍රමයක් බවත් ඇය වැඩි දුරටත් පවසා සිටිනවා.

උගන්ඩාවේ, සීග්‍රයෙන්  වර්ධනය වන ජනගහනයත් සමගම ඉන් වැඩි පිරිසක් තම පවුල් පෝෂණය කිරීම සඳහා වනාන්තර එළි පෙහෙලි කර ඉඩම් කැබලි  කොට පරිහරණය කිරීමට පෙළඹී සිටිනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා මිනිසුන් දැනටමත් පෘථිවියේ භූමියෙන් තුනෙන් එකකට වඩා ප්‍රයෝජනයට ගෙන අවසන්. සෑම වසරකම නිවර්තන වනාන්තර වාර්තාගත මට්ටමකින්  හෝ වාර්තාගත අගයකට ආසන්න මට්ටමකින් විනාශ වෙමින් පවතිනවා. නිදසුනක් ලෙස ඇමසන් හා ඉන්දුනීසියානු කලාපයේ ව්‍යාප්තව පවතින ඉතාමත් සරුසාරව වැඩුණු ප්‍රාථමික වැසි වනාන්තර සෝයා, කටු පොල්(palm oil )සහ ගව පාලනය  වැනි කෘෂිකාර්මික හා ගොවිතැන් කටයුතු කරගෙන යාම උදෙසා  පුළුස්සා දමනු ලබනවා.  බ්‍රසීලියානු ජනාධිපති  ජෙයාර් බොල්සොනාරෝ ගේ රජය යටතේ මෑතකදී ඇමෙසන් වැසි වනාන්තරයේ විනාශය තියුනු ලෙස ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පෘථිවි පද්ධති විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු සහ මෙම අධ්‍යයනයේ සම කර්තෘවරයකු වන එරික් ලැම්බින් පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදයට ඔවුන්ගේ රටින්ම මේ හා සම්බන්ධ නිදසුන් කීපයක්ම සොයාගත හැකිවන බවයි. ඇමෙරිකාවේ උපනගර සහ ගම්බද ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ ආසන්නයේ  තැන තැන පිහිටි වන ලැහැබ ආශ්‍රිත    වනසතුන්ගෙන්  හට ගන්නා කිනිතුල්ලන් මාර්ගයෙන්  මිනිසුන්ටබෝවන රෝගයක් වන ‘ලයිම්’ රෝගය(Lyme disease = Lyme borreliosis) නිදසුන් හැටියට දැක්විය හැකියි.

“මෙම උදාහරණය දෙස බලන අපට හැගෙන්නේ වන සතුන් අප වෙත පැමින ඔවුන්ගේ වෛරස් අපට ආසාදනය කරවන බවක්ය. නමුත් මෙම අධ්‍යයනයෙන් සහ අනෙකුත් අධ්‍යයනයන්  වලින් ලැබෙන දත්ත ආශ්‍රිතව ඉස්මතුවෙන චිත්‍රයෙන්  පෙනී යන්නේ සැබවින්ම එම සතුන් වෙත යන්නේ මිනිසාම බවය”යි මහාචාර්ය ලැම්බින් පවසා සිටිනවා. “ඇත්තටම සිද්ධ වන්නේ මිනිසුන් සතුන්ගේ වාසස්ථාන ආක්‍රමණය කරමින් ඒවාට ඇතුල් වීම මිසක් සතුන් පැමිණ අපට මෙම රෝග බෝ කිරීම නොවේ.”

scattered forests

උගන්ඩාවේ, “කිබාලේ” ජාතික වනෝද්‍යානය අසල වාසය කරන 900 කට අධික පිරිසක් සම්බන්ධයෙන් චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන්  මෙන්ම මුහුණට මුහුණ සිදු කළ  සමීක්ෂණ මගින් ලබාගත් දත්ත,  මිනිසුන් සහ වනගත ප්‍රිමාටේස්  අතර ශාරීරික වශයෙන් අන්තර්ක්‍රියා වැඩි කිරීමට හේතු වූ භූගෝලීය සාධක සහ චර්යාත්මක ගති ලක්ෂණ විශ්ලේෂණය කිරීම සඳහා පර්යේෂකයන් විසින් යොදා ගනු ලැබ තියෙනවා.

මෙම පරීක්ෂණයට අදාළව වාර්තා වුනු මිනිස් හා “ප්‍රිමාටේස්”  සම්බන්ධතා අතර:

  • තම පවුලේ ගෙවත්තේ පොළව කොටමින් සිටින පිරිමි ළමයෙකුට “කළු-සුදු කොලොබස්” වඳුරෙකු සපා කා තිබීම.
  • වනාන්තරයේ දර සෙවීම පිණිස ගිය තරුණයෙක් තම බල්ලා කටඉන් ඩැහැගෙන සිටි “එල් හෝස්ට්” වඳුරෙකු නිදහස් කිරීමට උත්සාහ කිරීම.
  • කාන්තාවක් ඇගේ බඩ ඉරිඟු වගාව අතරේ මිය ගොස් සිටි  “වර්ට්” වඳුරෙකු සොයාගනු ලැබීමෙන් පසුව  සිරුර ඉවත් කර තිබීම.

යන අන්තර්ක්‍රියා උදාහරණ ලෙස ගැනීමට පුළුවන්. ඉහත සදහන් කරන මෙම සෑම අන්තර්ක්‍රියාකාරී අවස්ථාවක දී ම, (සතුන්ට සීමා වී තිබෙන) වෛරසයන් “ප්‍රිමාටේස්” සත්වයින් හරහා මිනිසුන්ට පහසුවෙන් ආසාදනය වීමේ අවස්ථාවන් උදා වෙනවා.

“ප්‍රිමාටේස්” සත්වයන්ගේ වඩාත්ම ජනප්‍රිය සුපුරුදු  වාසස්ථාන හා  ගහණ ඝනත්වය ඉහළ වාසස්ථාන අසල වඩාත් ඉහල  මිනිස් හා සත්ව සම්බන්ධතා සොයා ගනු හැකි වෙතැයි පර්යේෂකයන් අපේක්ෂා කළත්, ඔවුන්ට දැකගත හැකිව  තියෙන්නේ  ඊට හාත්පසින්ම  විරුද්ධ දෙයක්. තැනින් තැන හුදකලාව ඉතිරිව තිබෙන වනලැහැබ ක්‍රමයෙන් ක්ෂය වී යන විට ඉතිරි වී සිටි සුළු ප්‍රිමාටේස්  සතුන්  හා වනාන්තර අත්පත් කරගත් මිනිසුන් අතර වැඩි අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇති වී තිබෙන බව පර්යේෂමයන්ට  නිරීක්ෂණය වී තිබෙනවා.

Allotment Is A Small Plot Of Land You Rent And Then Cultivate ...

ඉදිකිරීම් කටයුතු සදහා දැව සොයමින් හෝ ආහාර සොයමින්  මිනිසුන් වනාන්තර තුලට පිවිසෙද්දී මිනිසුන් විසින්  වගා කරන ලද බෝග භුක්ති විඳීමට වඳුරන් සහ චිම්පන්සියන් වනාන්තර වලින් එළියට පමිණමත් පර්යේෂකයන් නිරීක්ෂනය කර  තිබෙනවා.

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ  අධ්‍යයනයට සහභාගී නොවූ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය භූගෝල විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන සාඩි ජේ. රයන් මෙම අධ්‍යයනය පිළිබඳව  පැවසුවේ පර්යේෂකයන් අදාල කාරණා සවිස්තරව සොයා බලා අධ්‍යයනය කිරීමට  ලක් කර ඇති බවයි.

එමෙන්ම වනසතුන් සඳහා හොඳින් වර්ධනය වන, එමෙන්ම ජනතව සමග සම්බන්ධ විය හැකි මායිම් හිඟ, විවිධත්වය බහුල  වාසස්තානත් ඒසමග යැපුම් කෘෂිකරමාන්තය සඳහා වන ඉඩම් අත්පත් කර ගැනීම අවශ්‍ය නොවන පරිදි පවුල්වල ආර්ථික දියුණුවට මග පෑදීමත් මෙයට පිළියම් වශයෙන් පර්යේශකයෝ දක්වනවා.

Proceedings of the Royal Society B හි ප්‍රකාශයට පත් කරන ලද  තවත් අධ්‍යයනයක් මගින්, සතුන්ගෙන් බෝවෙන  රෝග පිළිබඳව පුළුල් ලෙස සොයා බලා ඇති අතර “බොහෝ රෝග මිනිස් වර්ගයා තුළ පැතිරීමේ දී මිනිසුන්  සහ සතුන් අතර  අන්තර්ක්‍රියාකාරිත්වයන්  අදාළ වීමේ සම්භාවිතාවක් පවතී” යන අදහස එම අධ්‍යයනයෙන් ද පැහැදිලි වෙයි.

බෝවන රෝග නිසා  දිගු කලක් තිස්සේ දුප්පත් සහ ආන්තික ජනතාව පීඩාවට සහ හිරිහැරයට ලක් කරමින් පවතින නමුත් ” ඒ ගැන සැලකිල්ල යොමු වීම සඳහා කොවිඩ් 19  වැනි මෙතරම් භයානක රෝගයක්ම එනතුරු බලා සිටීමට සිදුවීම  ලැජ්ජා සහගත කාරණයක්” බව බ්ලූම්ෆීල්ඩ්  තවදුරටත් පවසා සිටිනවා.

 

පරිවර්තනය: කුසල් සෙනරත් බංඩාර. 

New York Times හි පල වූ   Animal Viruses Are Jumping to Humans. Forest Loss Makes It Easier යන ලිපිය ඇසුරෙන් සැකසිණ.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.