සැමට විදු නැන නුවණ – Science Literacy for All

කොරෝනාවේ අර්බුදය: අපට ප්‍රබුද්ධ ඉවත්වීමේ ක්‍රමෝපායක් (Exit Strategy) අවශ්‍යයි

කොරෝනාවේ අර්බුදය: අපට ප්‍රබුද්ධ ඉවත්වීමේ ක්‍රමෝපායක් අවශ්‍යයි

අප ජීවත්වන මේ ලෝකය බරපතළ ලෙස සහ ඇතැම්විට සදහටමත් වෙනස් කිරීමට ලක් කළ හැකි මින් පෙර නොවූ විරූ අර්බුදයක් කොවිඩ් 19 යනුවෙන් අප බහුලව හඳුන්වනු ලබන  SARS-CoV-2 මගින් නිර්මාණය වී තිබේ. එය මින් පෙර පැතිරීගිය ගෝලීය වසංගතයක් වන දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) සහ මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය(MERS) යන වෛරසවලට වඩා බියකරු බවක් පෙනේ.  කොවිඩ්-19 ආකාර රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සෑම වසරකම හිස ඔසවද්දී මිනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනී. එහෙත් ලෝකය මේ වෛරස හඳුනතත් කොරෝනා වෛරසය අලුත්ය. එහෙයින් රටවල් කොරෝනා ආසාදන වේගය මන්දගාමී කිරීමට ක්ෂණිකව ක්‍රියා කිරීම තේරුම් ගත හැකිය.

ආර්ථික හෝ වෙනත් කරුණු කාරණාවලට පෙර ශිෂ්ට සමාජයේ ප්‍රමුඛත්වයක් මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට හිමි වන්නේ යයි සැලකිය හැකිය. එසේ වුවද දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය මට්ටමින් මනුෂ්‍යයන්ගේ පෞද්ගලික ජීවිතවලට මේ ආකාරයෙන් දැඩි සීමා කිරීම් පැනවීමට වෙනත් කිසිම අර්බුදයකින් නොකෙරෙනු අන්දමට නව කොරෝනා වෛරසය සමත්වී ඇති අතර මේ දැඩි පියවර ඉක්මනින් නිමාවට පත් වී යළිත් මනුෂ්‍යයන් ලෙස පීඩාවට හෝ බියට පත් නොවී දිවිගෙවීමට මඟ සළසනු ඇති යන්න අප කවුරුත් අපේක්ෂා කරන තත්ත්වයයි.

අදාළ රූපය

විවිධ ක්ෂේත්‍ර හරහා පැතිරෙන හානිය

ලෝකයේ රටවල් 200කට අධික සංඛ්‍යාවක නව කොරෝනා වෛරසය පැතිර යද්දී හානියට පත්වන්නේ හුදු සෞඛ්‍යයම  පමණක් නොවේ. ඉහළ උසාවි පහල උසාවි — මේ සියල්ල වසා දමා අධිකරණ පද්ධතියම අකර්මණ්‍ය වන පසුබිමක් තුළ රටක නීතියේ ආධිපත්‍ය(rule of law) පසු බසී. එක්රැස් වීම වැනි මූලික සිවිල් අයිතිවාසිකම් වසංගතයේ නාමයෙන් තාවකාලිකව යටපත් කර ඇත. මෙය හංගේරියාවේ සිදුවූ ආකාරයට අර්ධ අධිකාරිවාදී රාජ්‍යයන්ට සිය බලය පුළුල් කර ගැනීම සඳහා සැලසී ඇති අනගි අවස්ථාවකි. පුද්ගලික දුරකතන කතාබහ, පණිවිඩ රහසේ හඹා යාම වැනි මෙයට සති කිහිපයකට පෙර සිතා ගන්නටත් බැරි තරමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි හැඟෙන සුළු පියවරවල් යුරෝපා සංගමයේ සාමාජික රටවල් අනුගමනය කරන්නේ නමුත් ඊට මහජන විරෝධයක් නැති තරම්ය. වෛරසය පැතිරයාම හමුවේ ලෝකයේ රටවල් ක්‍රියාවට නැංවූ අත් සේදීම ඇතුළු යහපත් සනීපාරක්ෂක පියවර සහ සමාජ දුරස්ථභාවය වැනි ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල යයි, සාධාරණ යයි කිව හැකි නමුත් වෛරසය මර්ධනය සදහා ගත් සෙසු පියවර සමහරක් ඒවායේ හොඳම අවස්ථාවේ වුව අකාර්යක්ෂමවන අතර නරකම අවස්ථාවේදී අපේක්ෂිත ප්‍රතිපලයට විරුද්ධ ප්‍රතිඵල අත්පත් කර දෙන සුළුය. නිදසුනක් ලෙස රටවල් ඒවාට ඇතුළුවීම හා පිටවීම අවහිර කළ විට සැපයුම් දාමය බිඳ වැටිණ.

ගෝලිය අර්බුදය හමුවේ ජාතිකවාදී චින්තනය යළි යුරෝපයට රිංගමින් සිටී. සමහරක් රටවල් අසල්වැසි රටකින් රෝගීන් ඇතුල් කරගැනීමට තරම් කාරුණික වන අවස්ථා වාර්තා වුණ ද ඉතාලිය බලා චීනයෙන් පිටත්කර යැවු ජීවිතාරක්ෂක උපකරණ චෙක් රාජ්‍යය සහ පෝලන්තය මගින් පැහැරගත් බවට චෝදනා එල්ල වී තිබේ.

කොරෝනාව නිසා ඇතිවන කොවිඩ්-19 රෝගයෙන් සෘජුව ඇතිවන බලපෑමට අමතරව එහි අතුරු ඵල ද සාකච්ඡාවට ගතයුතු වේ. මනෝවිද්‍යාත්මක සහ සමාජයීය හානිය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, සියදිවිනසාගැනීම්, පෞද්ගලික සබඳතා බිඳවැටීම්, ව්‍යාපාර හා වෙළදාම කඩාවැටීම ඉහළ නැගීම ඉන් කිහිපයකි.  අනික, රෝගය පාලනයකින් තොරව පැතිරෙමින් දස දහස් ගණන් ජනයා මිය යද්දී අනියත බියකින් බිරාන්තව සිටින සමාජයකට සමස්තයක් ලෙස පැමිණ ඇති හානිය කොපමණ ද? මෙතෙක් කල් සුහදව ඇසුරු කළ අසල්වැසි නිවසේ හෙදියට “මෙහෙන් පිටවෙලා ගිහින් වෙනත් තැනක ජීවත් වෙයල්ලා“ යැයි දැන්වූ බවට ප්‍රංශයෙන් වාර්තා වූ සිද්ධීන් වැනි අතාර්කික චර්යාවන්ට පෙළඹෙන්නේ කුමක් නිසාවෙන් ද?

Suppression vs Mitigation of the COVID 19 Pandemic - YouTube

යටපත් කිරීමටද?ප්‍රශමනයද?

තවත් වසරකින් හෝ ඊටත් වැඩි කාලයක් ඇවෑමෙන් ඵලදායි වැක්සීනයක් සොයාගන්නා තුරු කළ යුත්තේ අතිශය දැඩි සීමා කිරීම් මගින් කොවිඩ්-19 යටපත් කර තබා ගැනීමේ ක්‍රමෝපාය(suppression) ක්‍රියාවට නැංවීම බව වර්තමානයේ බහුලව උපුටා දැක්වෙන ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියෙහි අධ්‍යයන වාර්තාවක දැක්වේ. ඒ අනුව බොහෝ රටවලට ගැළපෙන විකල්ප වශයෙන් සැලකිය හැක්කේ ප්‍රශමනයයි(mitigation). මින් දැක්වෙන්නේ ආසාදනය නතර කිරීම වෙනුවට එය පැතිරෙන වේගය මන්දගාමී කරමින් ජනතාවන්ට ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමට ඉඩ හැරීමයි. සිය රට සම්පූර්ණයෙන්ම වසා දමන්නේ නැතිව ස්වීඩනය මේ අන්දමේ විකල්පයකට යොමු වෙද්දී අසල්වැසි ඩෙන්මාර්කය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් දැඩි සීමා කිරීම් පැනවීමට පෙළඹී ඇත. ඇත්ත වශයෙන්ම සීමා කිරීම් ඉවත් කළ යුත්තේ කවදාද එමෙන්ම කොතරම් ප්‍රමාණයකින් ද යන්න තීරණය කිරීමේ දී ඕනෑම රටක ඕනෑම අවස්ථාවකට හරියන ‘කෝකටත් තෛල’ විසඳුම්  නැත. කෙසේ වෙතත් දිගු කාලයක දී සාධාරණ විකල්පය වන්නේ වෛරසයේ බලපෑම ප්‍රශමනය කරන අතර අවදානම්ග්‍රාහි කණ්ඩායම් ආරක්ෂා කරමින් ජනගහනයෙන් ඉතිරි පිරිසට සිය වෘත්තිය හා සමාජයීය කටයුතු යළි පණ ගැන්වීමට හැකි වන පරිදි ක්‍රම ක්‍රමයෙන් ඉඩ සලසා දීමය.

පැහැදිලි සන්නිවේදනය අත්‍යවශ්‍යයි 

කොවිඩ්-19 සති කිහිපයක් ඇතුළත ඓශ්චර්යයක් සිදුවූ ආකාරයෙන් අතුරුදහන් වී යනු ඇතැයි ඇදහීම විද්‍යාත්මක සාක්ෂි වලින් තොරව සිදු කරන නිෂ්ඵල ක්‍රියාවක් පමණක් නොව අන්තරායකාරී ලෙස නොමඟ යවන සුළු වන්නක් ද වේ. පරීක්ෂණ කිරීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම පිණිස රෙගුලාසි යම් පමණකින් ලිහිල් කළ නමුත් වැක්සීනයක් සොයා ගන්නා තුරු වර්තමාන වසා තැබීම් දිගටම පවත්වාගෙන යාම සමාජයකට දැරිය නොහැක්කක් බව පැහැදිලිව සන්නිවේදනය කළ යුතු වේ. වගකීමකින් යුතුව හා පරිස්සමින් යළි යථා තත්ත්වයට ගෙන ඒම පිණිස ආණ්ඩුවලට මුළුමනින්ම නිර්යාණ ක්‍රමෝපායක්(exit strategy) අවශ්‍ය වේ.  සෑම අංශයක් කෙරෙහිම සැලකිලිමත් වීම එලෙසම වැදගත්ය.

මිනිස් ජීවිතත්,  රටක ආර්ථිකයත් යන දෙක එකම තරාදියක දමා කිරා බැලීම සදාචාරාත්මක වශයෙන් අසීරුය. කෙසේවෙතත්, අත්‍යවශ්‍ය වන්නේ  අසීරු ප්‍රශ්න වලින් වැළකී සිටීම නොව ඒවාට මුහුණ දීමයි. ආර්ථිකය කඩා වැටීමට පෙර රජයේ ආධාර පැකේජ මගින් සිය රටවල ආර්ථිකයන් ස්ථාවර කිරීමට කොපමණ කලක් ගතවේද? මිනිසුන් වීථි බැස උද්ඝෝෂණය නොකර සිටින තරමට කොපමණ කලක් ඔවුන් නිරෝධායනය කර තබාගත හැකිද? කොරෝනා වෛරසය  මගින්  සිදුවන හානිය සහ ජීවිත අන්තරාව ඉක්මවා  යන හානියන් වසා දැමීම මගින් සිදුවීම සැළැක්වීමට නම් එය සිදු කළයුතු සුදුසුම අවස්ථාව කුමක් වන්නේද?   වෙන වචනවලින් කීවොත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනතාව කරන කැප කිරීම් හමුවේ කොරෝනා මර්දන පියවර කොතරම් ඵල දරා ඇත්ද? කලින් ද කියූ පරිදි මේවා රජයක්, සමාජයක් හැටියට මුහුණපාන අසීරු ප්‍රශ්නය.

වර්තමානයේ තීරණ ගැනීමේ ක්‍රියාදාමයේ පෙරමුණ ගෙන සිටින්නේ වෛරස විද්‍යාඥයන් වසංගත රෝග විද්‍යාඥයන් සහ වෛද්‍යය වෘත්තිකයන්ය. ඔවුන්ගේ විශේෂඥ දැනුම අනිවාර්යෙන්ම අවශ්‍ය වන අතරම ආර්ථික විද්‍යාඥයන් මනෝ විද්‍යාඥයන් සහ වෙනත් ක්ෂේත්‍රවල විශේෂඥයන්ද මේ සම්බන්ධ කතිකාවට සහ ඉදිරි මාසවලදී රජය මුහුණපාන අවදානම්කාරී පියවර සහ ඒවායේ වාසි අවාසි ඇගයීමට ලක් කිරීමට  එකතු කරගත යුතුය.

අදාළ රූපය

සිවිල් සමාජය නගන හඬ ද මෙහිලා වැදගත් ය. එහිදී තීරණාත්මක සාධකය විය යුත්තේ  සෞඛ්‍ය අර්බුදය හමුවේ ඇතිවන බිය නොවේ. ගත යුතු ක්‍රියාමාර්ග ඒ අන්දමට  බිය මඟින්  පාලනය වෙමින් පූර්ණ වසා දැමීමක් ඉල්ලා සිටීමට පෙළඹීම වෙනුවට සිවිල් සමාජය ඉල්ලා සිටිය යුත්තේ වඩාත් යෝග්‍ය හා ඵලදායි පියවර ගන්නා ලෙසය; සන්ත්‍රාසයට පත් වනු වෙනුවට අධිතක්සේරුව හෝ අවතක්සේරුවට යොමු නොවී මෙය සිදුකළ යුතුය. සමාජය කාර්යක්ෂමව ක්‍රියාකාරී වෙමින් ජනතාව සුරක්ෂිතව තබා ගත හැකි නිර්යාණ ක්‍රමෝපායක් සැකසීමට තීරණ ගන්නා ඇත්තන්  උත්සුක විය යුතුය.

 

Eyes on Europe වෙබ් අඩවියේ පලවන Opinion: Corona-Crisis – We need an exit strategy!  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: