සැමට විදු නැන නුවණ – Science Literacy for All

කොරෝනා සම්ප්‍රේෂණය නතර කිරීමට ලෝක බැංකු හිටපු ප්‍රධානියාගේ මෙහෙයුම

කොරෝනා සම්ප්‍රේෂණය නතර කිරීමට ලෝක බැංකු හිටපු ප්‍රධානියාගේ මෙහෙයුම

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධානවල මුල්තැන ගෙන ක්‍රියා කළ ජිම් යොන්ග් කිම්, 2012 සිට 2019 දක්වා ලෝක බැංකු ප්‍රධානියා ලෙස කටයුතු කළේය.  හෙතෙම, සිය ධුර කාලය නිම වීමට කලින් 2019 පෙබරවාරියේ  ඉන් ඉවත්වන්නේ මධ්‍යම හා අඩු ආදායම් සහිත රටවල දුප්පත්කම තුරන් කිරීමේ කාර්යභාරය කරට ගෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට ආයෝජන සැලයීමේ ව්‍යාපෘතියක් මෙහෙයවන්නටයි. දැන් ඔහු එම තනතුරෙහි කටයුතු කිරීමෙන්  මදකට ඈත්ව ඇත්තේ නව කොරෝනා ගෝලීය වංසගතයට එරෙහි සටනක් මෙහෙය වන්නයි. (මාර්ගගත) Nature සඟරාව ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු කිහිපයක් අද තතුගෙන එන්නේ ගෝලීය වසංගතයට එරෙහි වෙනත් පෙරමුණකත් මතවාද ඉදිරිපත් කරන්නටයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙහි ගමන්මග අවහිර කිරීමේ දී මූල්‍යමය වශයෙන් වැදගත් වන  තර්කයක් ඔබ ඉදිරිපත් කරනවාද?

මම අවුරුදු හතක් ගත කළේ ලෝක බැංකුවේ. ඉතින් මම අවශ්‍යයෙන්ම මූල්‍ය කටයුතු ගැන උනන්දුව දක්වන්නෙක්. මම තදින්ම කියා සිටින කාරණය මේකයි: (ගෝලීය වසංගතය හේතුවෙන්) මූල්‍යමය අර්බුදය විසදන්න ඩොලර් බිලියන සිය ගණනින් යොදවන්නේ නැතිව උත්තේජක (ආධාර) වැඩ පිළවෙළකට ට්‍රිලියන ගණනින් ඩොලර් යෙදවීම සම්පූර්ණයෙන් නිෂ්ඵල ක්‍රියාවක්. මූල්‍යමය අර්බුදය නතර කළ හැක්කේ වෛරසය (පැතිරීම) පාලනය කිරීම මගිනුයි. කොවිඩ් 19  එරෙහි වැක්සිනයක් අපට බාගදා ලැබෙන්න පුළුවනි. ඒත් ඒ වෙනතුරු අපට ලොක්ඩවුන්වෙලා (අකර්මන්‍යෙවලා) ඉන්න බැහැනේ. (එලෙස සිටියොත් ඇතිවන) මුල්‍යමය බලපෑම කෙතරම් ව්‍යසනකාරී කීවොත් අපට වෙනත් විදිහක් ගැන හිතන්න වෙනවා. මං හිතන්නේ (එක්සත් ජනපදයේ සිටින) අප කරන ලොකුම වැරැද්දක් තමයි (චීනයේ) වූහාන් දත්ත පදනම්ව ආතුරයන්ගේ සංඛ්‍යාවේ රේඛාව ඉතා සීඝ්‍රෙයන් පහළ අතට වැටෙයි කියලා ඇතැමුන් බලාපොරොත්තුවීම.  චීනයේ කළ දේ කරන්න එක්සත් ජනපදය අහළටවත් ළං වෙලා නැහැ.

පහළ සහ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටවලට සිදුවන දෙය ගැන ඔබ පසුවෙන්න් කනස්සල්ලෙන්ද?

මේ මහා පොළොවෙන් වැඩි කොටසකට සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියන එක ගැන මම ඉන්නේ ඉමහත් කම්පාවකින්. සමස්ත මූල්‍ය ලෝකයම උඩු යටිකුරු කරලා, ඔලුවෙන් හිටවලා. මෙය පැහැදිලිවම 2007-2008 ගෝලීය මූල්‍ය  අර්බූදයට  වඩා දරුණු අර්බුදයක්. දැන් එය 1930 ගණන්වලදී ඇතිවුණු ගෝලීය අවපාතයට ළං වෙමින් පවතිනවා. එපමණක් ද නොවෙයි. මේ අර්බුදය තවතවත් නරක අතට යාමට ඉඩ තියෙනවා. පහළ ආදායම් රටවල් ගතහොත් මෙහි තේරුම වන්නේ ජනතාව සාගින්නෙන් මිය යනවා කියන එකයි; මෙහි තේරුම වන්නේ අයවැය මගින් ලැබෙන සහනාධාර මුළුමනින්ම කප්පාදු වේවි කියන එකයි.

බහුපාර්ශ්වීය ආයතනවලට තර්ජනයක් නැතැයි මං හිතනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ප්‍රබල ආයතන. ඒ හන්දා මේ අර්බුදය හමුවේ වුවත් දිගටම ණය සැපයීමට ඒවාට හැකිවේවි කියලා අපේක්ෂා කරනවා. එහෙත් මෙය තනිකරම නුහුරු ක්ෂේත්‍රයක්. එය සංවර්ධනය වන රටවලට බරපතළ ව්‍යසනයක්. (මේක කියන්නවීම ගැන)මට කනගාටුයි, දරාගන්නා අමාරුයි, ව්‍යාකූලයි. ඒ වුණත් “කරන දේ හරියටම කරන්න ඕන” කියලා මම තදින්ම කියා සිටින්නේ ඒකයි.

ජනතාව එක්කෝ මැරෙනතුරු හෝ නැතිනම් ස්වභාවික ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්නාතුරු කොරෝනා වෛරසය ජනගහනය තුළ සංතෘප්ත වන තුරු බලා සිටීමේ අදහස ගැන ඔබ මොකක්ද හිතන්නේ?

අපි හැමෝම ආසාදිත වෙන්න ඉඩ ඇරලා ඔහේ බලා සිටියොත් අප දැනටමත් දකින විෂම මර්ත්‍යතාව(differential mortality = විවිධ ජනකොටස් අතර මරණ අනුපාතය) අඛණ්ඩව ඉදිරියට යාවි. විෂම මර්ත්‍යතාව කීවේ අප්‍රිකානු-අමරිකානු, ලතින් අමරිකානු ප්‍රජාව, දුප්පත් ජනතාව සහ නිවහන් නැතුව ජීවත්වන අය අතර මරණ සංඛ්‍යාවයි. එය තව තවත් වැඩිවේවි. ඒ කියන්නේ විශාල පිරිස් මිය යනවා අපට දකින්නට ලැබේවි.

ඔය අස්සේ සමහරු කියනවා  පිළිගත හැකි මර්ත්‍යතා මට්ටමක් ගැන. මම නම් එහෙම එකක් දන්නේ නෑ. වෙනත් කිසිම විකල්පයක් නැතිනම්, කරකියා ගත හැකි වෙන කිසිම ක්‍රමයක් නැත්නම් ඔය වගේ අදහස් පිළිගත හැකියි. ඒත් විකල්පයක් තියෙනවා. රුවන්ඩාවේ එහෙම විකල්පයක් අනුව වැඩ සිද්ධවෙනවා. කොරියාවේ එතකොට චීනයේ එහෙමයි. ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ එහෙම කෙරෙනවා.මේක මුළුමනින්ම කළ හැකි දෙයක්. එහෙම වෙලත් තවත්  විකල්පයක් ඇති බව දැන දැනම මෙපමණ පිරිසක් දංගෙඩියට දක්කන්නේ ඇයි? ඒක තමයි මම මේ වෛරසයේ සම්ප්‍රේෂණය නතර කරන්නට ඉදිරිපත්වෙලා ඉන්නේ. ඒක තමයි අපේ අවසාන ඉලක්කය. ඒක කිරීම සඳහා  අප සතු හැම මෙවලක්ම භාවිතයට ගන්න ඕන.

ඔබේ ධුරකාලය නිම වෙන්නට කලින් ඇයි ඔබ ලෝක බැංකුවෙන් ඉවත් වුණේ?

ඒ අවස්ථාවේ ලෝකය මුහුණ පෑ ප්‍රධානතම අභියෝගය ලෙස මා දැක්කේ සංවර්ධනය වෙන රටවල අධෝ ව්‍යුහ වඩ වඩාත් ගොඩ නැංවීමයි. ඒ නිසා මම බැංකුවෙන් අස්වෙලා එම කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන් ආයතනයකට එක්වුණා. මං තාමත් හිතන්නේ ඒක ඉතා දැඩි අවශ්‍යතාවක් කියලයි. ඒත් මන් දැන් සියයට සියයක්ම ඉන්නේ කොවිඩ් 19 ට විරුද්ධ සටනේ. මොකද මේ මහජන සෞඛ්‍ය අර්බුදය විසඳන එකයි (මේ මොහොතේ) වඩාත්ම වැදගත් වෙන්නේ.

කොවිඩ් 19 ට එරෙහි එක්සත් ජනපදයේ ප්‍රතිචාරයෙහි ඔබව වඩාත් පුදුමයට පත් කළේ මොන අංශයද?

බෝවෙන රෝග ක්ෂේත්‍රයේ හෝ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  කිසිවෙකුටත් කියන්න බැහැ ගෝලීය වසංගතයක් හේතුවෙන් පුදුමයට පත්වෙනවා කියලා. වොෂින්ටන් ප්‍රාන්තයේ මුල්ම ආතුරයන් ගැන වාර්තා වුණ ගමන් ‘දැන් ඉතින් මැඩ පැවැත්වීමට පරක්කු වුණා වැඩියි’ කියලා සමහරු කියන්න පටන් ගත්ත එක මට අදහා ගන්න බැහැ. වසර සිය ගණනක් තිස්සේ අප අනුගමනය කළ වසංගතවේදී ප්‍රවේශය මෙතරම් ඉක්මනට අප අත හැර දැම්මේ ඇයි කියන එක මට විශ්වාස කරන්නත් අමාරුයි. ජෝන් ස්නෝ ගැනැ කතාව අහල තියෙනවානේ? ලන්ඩනයේ කොලරාව පැතිරිලා මිනිස්සු මැරි මැරි යද්දි ජෝන් ස්නෝ රෝගය වැළදෙන්න හේතුව නගරයේ එක ජල පොම්පයකින් එන ජලය කියලා හොයාගත්තා. ඔහු පොම්පයේ හැඬලය ඉවත් කලා. ආතුරයන් නැතුව ගියා. රෝගය පැතිරීමේ ගමන්මග හොය බලමින් එය හඹා යන්න  ඕන. සම්බන්ධකයන්(contacts) සොයා ගන්න  වැඩසටහනක් ඕන. වසංගතයන් පරාජය කරන්නේ එහෙමයි.

 

ජිම් යොන්ග් කිම් සමග පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේ තෝරා ගත් ප්‍රශ්න පිළිතුරු අප්‍රියෙල් 22 දා Nature වෙබ් පිටුවෙ Why the World Bank ex-chief is on a mission to end coronavirus transmission යන මැයෙන් පළවිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: