සැමට විදු නැන නුවණ – Science Literacy for All

SARS-CoV-2 වෛරසය මිනිසුන්ට මරණය ගෙන එන්නේ කෙසේද?

SARS-CoV-2 වෛරසය මිනිසුන්ට මරණය ගෙන එන්නේ කෙසේද?

ගෝලීය වශයෙන්  කොරෝනා වෛරස ආසාදිත බවට සනාථව ඇති සංඛ්‍යාව මිලියන තුනට ළඟා වෙද්දී මරණ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවද්දී   කොවිඩ් 19  ශරීරය පුරා දිව යමින් සිදුකෙරෙන හානිය අවබෝධකරගැනීමේ ප්‍රයත්නයක ශායනික වෛද්‍යවරු හා ව්‍යාධිවේදීහු නිමග්නව සිටිති. (මෙම කොවිඩ් 19) “රෝගයට ශරීරය තුළ ඕනෑම අවයවයකට ව්‍යසනකාරී ප්‍රතිඵල ගෙන එමින් ප්‍රහාර එල්ල කරන්න පුළුවනි” යයි  යේල් විශ්වවිද්යාලයේ හෘද රෝග විශේෂඥ හාලන් ක්‍රම්හෝල්ට්ස් කියා සිටියි. කොවිඩ් 19 සිදුකරන  මේ දරුණු හානිය අවබෝධ කරගැනීම ආසාදිතවන පුද්ගලයන් අතුරෙන් දැඩි ලෙස එමෙන්ම ඇතැම් විට අභිරහස් ලෙස රෝගාතුරවන කොටසට ප්‍රතිකාර කිරීමේදී පෙරමුණේ සිටින වෛද්‍යවරුන්ට උපකාර වනු ඇත.

අප මෙහි ඉදිරිපත් කරන්නේ SARS-CoV-2 වෛරසය අපේ සිරුර පුරා සෛල වෙත ප්‍රහාර එල්ල කරන අන්දම විශේෂයෙන්ම දැඩි සේ රෝගාතුරවන 5%ක ජනතාවගේ සිරුර පුරා සෛලවලට ප්‍රහාර එල්ල කරන ආකාරය ගැන ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අවබෝධයෙහි මේ මොහොතේ දරශනය වන තත්ත්වයයි.

යම් ආසාදිත  පුද්ගලයකු වෛරස අඩංගු බිඳිති පිට කිරීමෙන් පසුව වෙනත් අයෙකු ඒවා ආශ්වාස කිරීමෙන් පසුව නව කොරේනා වෛරසය වන SARS-CoV-2 නාසයට හා උගුරට ඇතුල්වෙයි. එසේ ඇතුල්වන වෛරසයට හිතකර නිවහනක් නාසයෙ අභ්‍ය න්තරය තුළ හිමිවේ. එහි සෛල, angiotensin-converting enzyme 2 (ACE2) යනුවෙන්  දැක්වෙන සෛල පෘෂ්ඨ ප්‍රතිග්‍රහකයන් ගෙන් පිරී ඇතැයි පළ නොකළ වාර්තාවක් මගින්  Wellcome Sanger  ආයතනයේ සහ වෙනත් ආයතනවල විද්යාඥයෝ පෙන්වා දෙති. ACE2   සාමාන්යෙයන් සිදු කරන්නේ රුධිර පීඩනය පාලනයට උදව් දීමයි. සිරුර පුරා ACE2  ප්‍රතිග්‍රහකය පැතිරී තිබීමෙන් ආසානදයට ගොදුරු විය හැකි පටක පිළිබඳ ඉඟියක් නැතිනම් සංඥාවක්  සැපයේ. මන්ද සෛලයකට ඇතුල්වීම සඳහා වෛරසයට එම ප්‍රතිග්‍රහකය අවශ්‍ය වීමයි. වෛරසය ගුණනය වෙද්දී ආසාදිත පුද්ගලයෙකු ඒවා අතිවිශාල ප්‍රමාණයක් (විශේෂයෙන්ම (ආසාදිත වී) මුල් සතියේදී) පමණ ඉවතට යවන්න පුළුවනි. මේ අවස්ථාවේදී රෝග ලක්ෂන නොමැති වන්නට පුළුවනි. එහෙම නැතිනම් වෛසරයේ නව ගොදුරු බවට පත් එම පුද්ගලයා හට උණ, වියළි කැස්ස, උගුර වණවීම, ගඳ සුවඳ මෙන්ම රස නොදැනීයාම සහ හිස රුදාව හා සිරුරේ කැක්කුම් ඇති විය හැකිය. මේ ආරම්භක අධියරයේදී (ශරීරයේ) ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මර්දනය කිරීමට අපොහොසත් වුවහොත් ACE2 ස්වසනනාලය දිගේ පහළට ගමන් කර පෙනහලුවලට ප්‍රහාර එල්ල කරයි. මේ අවස්ථාව වන විට එය මාරාන්තික විය හැකිය. පෙණහල්ලේ ශ්වසන රුකෙහි තුනී ශාඛා අවසන් වන්නේ ගර්තය හෙවත් ග්‍රන්ථි කුහරය (alveoli) යනුවෙන් දුක්වෙන කුඩා වාත කෝෂවලිනි. සාමාන්‍යයෙන් සිදුවන්නේ වාතකෝෂ (ගර්ත) අසළ ඇති කේශ නාලිකා වෙත ගර්ත හරහා ඔක්සිජන් පැන ගැනීමයි. එවිට ඔක්සිජන් සිරුරේ සෙසු කොටස් වෙත ගෙන යනු ලැබේ. එහෙත් (ශරීරයේ) ප්‍රතිශක්ති පද්ධතිය, ආක්‍රමණිකයා හා සමග සටනක පැටලී සිටියි. එම  සටනමත්,  පෙර කී සුගම ඔක්සිජන් හුවමාරුවට බාධා පමුණුවයි.  පෙරමුණේ ශ්වේතාණු (සුදු රුධිර සෛල) කෙමොකීන(chemokines) නම් ප්‍රදාහ අණු මුදුහරියි. එමගින් ඊළඟට සිදුවන්නේ වෛරස් ආසාදිත සෛල ඉලක්ක කර ඒවා මරදමන ප්‍රතිශක්ති සෛල වැඩියෙන් කැඳවීමයි. මින් අනතුරුව ඉතිරිවන්නේ තරල සහ මළ සෛල — එනම් පුස් ඉස්ටුවකි. මේ තමයි නියුමෝනියාවට පාදක වන ව්‍යාධිවේදය(pathology of pneumonia). මෙහි අනුරූප රෝග ලක්ෂණ වන්නේ: කැස්ස, උණ හා වේගයෙන් සිදු කෙරෙන නොගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයයි. නාසා දැති මගින් ආශ්වාස කරනු ලබන ඔක්සිජන් හැරුණු කොට වෙන උපකාරයක් නොමැතිව සමහරක් කොවිඩ් 19  ආතුරයෝ සුවපත් වෙති.

එහෙත් අනෙකුත් අයගේ තත්ත්වය පරිහානියට පත්වන්නේය. එසේ වන්නේ බොහෝ විට උග්‍ර ශ්වසන ආපදා සින්ඩ්රෝමය නම් තත්ත්වය වර්ධනය වෙමිනි. (acute respiratory distress syndrome (ARDS). රුධිරයේ ඔක්සිජන් මට්ටම හිටිඅඩියේ පල්ලම් බහින අතර ඔවුන්ට හුස්ම ගැනීම එන්ට එන්ටම අසීරු වේ. මෙවැනි රෝගින් වැඩිකොටම සංවාතකවල(ventilators)  පිහිට පැතීමට සිදුවේ. අවසානයේ බහුතරය මිය යති. ඔවුන්ගේ ගර්ත (වාත කෝෂ) තරල, සුදු රුධිර සෛල, ශ්ලේෂ්මල සහ විනාශව ගිය පෙනහලු  සෛල කැටකැබිලිතිවලින් පිරී ඇති බව මරණ පරීක්ෂණ පෙන්නුම් කරයි.

SARS-CoV-2  වෛරසය පෙණහලු තුළට රිංගා එහිදී විශාල හානියක් කළ හැකියි. එහෙත් එම වෛරසය හෝ ඊට ශරීරය දක්වන ප්‍රතිචාරය, තවත් අවයව ගණනාවකටම හානි ගෙන ආ හැකිය. එම හානියේ පරිමාව සහ ස්වරූපය ගැන ගවේෂනය කිරීම විද්‍යාඥයන් දැන් ආරම්භ කලා පමණි. සමහරක් කොවිඩ් 19 රෝගීහු ආඝාතය (stroke), ග්‍රස්ථය (වලිප්පුව) මානසික ව්‍යාකූලතාව සහ මොළයේ ප්‍රදාහය යන ආබාධවලින් පෙළති. මෙයින් වෛරසය මගින් ඍජුව හේතුවන්නේ කුමන ඒවාටද යන්න අවබෝධ කර ගැනීමට වෛද්‍යවරු වෙහෙසෙති.

බරපතළ ලෙස රෝගාතුරවූවන්ගේ සීග්‍ර පල්ලම් බැසීමට ප්‍රධාන ලෙස බලපාන්නේ ‘සයිටොක්සීන කුණාටුව'( “cytokine storm”) ලෙස දැක්වෙන අපේ ප්‍රතිශක්ති පද්ධතිය වුවමනාවට වඩා ප්‍රතිචාර දැක්වීම යයි ඇතැම් ශායනික වෛද්‍යවරු දක්වති.  අනෙකුත් වෛරස ආසාදන එවැනි සයිටොක්සීන කුණාටුවලට මුල පුරයි.  සයිටොක්සීන යනු මනා ප්‍රතිශක්ති ප්‍රතිචාරයන් සඳහා මගපෙන්වන රසායනික සංඥා නිකුත් කරන අණුය.  එහෙත් සයිටොනික කුණාටුවකදී ඇතැම් සයිටොනිකවල මට්ටම අවශ්‍ය ප්‍රමාණය බෙහෙවින් ඉක්මවා ඉහළට යයි. එවිට ප්‍රතිශත්ති සෛල සෞඛ්‍ය සම්පන්න පටකවලට ප්‍රහාර එල්ල කරයි. රුධිර වාහිනී කාන්දුවෙයි.  රුධිර පීඩනය පහළ වැටෙයි. ලේ කැටි සෑදෙයි. එමෙන්ම ප්‍රතිවිපාක හැටියට විපත්තිදායකව, අවයව ඇනහිටීම සිදු වේ.

රෝහල්ගත කෙරුණු කොවිඩ් 19  රෝගීන්ගේ රුධිරයෙහි  ප්‍රදාහය දිරිගන්වන සයිටොක්සීන ඉහළමට්ටම් දක්නට ලැබෙන බව ඇතැම් අධ්‍යයන දක්වයි. එහෙත් තවත් සමහර විද්යාඥයෝ මෙයට විරුද්ධ වෙති. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ ඵුප්ඵුසීය වෛද්‍ය විශේෂඥ ජෝසප් ලෙවිට් ඉන් එක් අයෙකි.

“(එම) කාරණාව තමයි සිද්ධවෙන්නේ කියන්න මම නම් පිළිගත හැකි දත්ත දැක්කේ නැහැ” යයි ඔහු කියා සිටියි.  මේ අතරතුර, කොවිඩ් 19  රෝගීන්ගේ තත්ත්වය සීග්‍රයෙන් පහත හෙළන්නට දායකවන වෙනත් අවයව හානි ගැන වෙනත් විද්‍යාඥයෝ අවධානය යොමු කරති. ඉතාලියේ පළාත් බද රෝහලකට ඇතුල් කෙරුණු 53 හැවිරිදි කතකගේ කතාව නිදසුන් ලෙස දැක්වේ. හෘදයාබාධයක සම්භාවිත ලක්ෂණ සියල්ලම පාහේ ඇගෙන් දිස් විනි. අවශ්‍ය ප්‍රමාණයෙන් 1/3ක් වත් රුධිර පොම්ප කිරීමට නොහැකි තරමට වම් කෝෂිකාව (ventricle) අවහිර වී තිබුණි. එහෙත් පර්යේෂණවලින් පෙනී ගියේ   පුදුමයකට මෙන් කිරීට ධමනි (coronary arteries) අවහිර වී නොතිබූ බවයි. වෙනත් පරීක්ෂණයකින් කාරණාව හෙලි විණ:එම කාන්තාවට කොවිඩ් 19 වැළදී ඇත.

අදාළ රූපය

කෙසේ වෙතෙත්, වෛරසය හෘදය වස්තුවට හා රුධිරවාහිනිවලට ප්‍රහාර එල්ල කරන්නේ කෙසේද යන්න අභිරහසකි. එහෙත් මෙවන්  හානි සුලබ බව (පළ කළ හා නොකළ) පර්යේෂණ වාර්තා  පෙන්නුම් කරයි. මෙය සිදුවීමට වැඩිකොටම හේතුවන්නේ ලේ කැටි ගැසීම යයි අධ්‍යයන ගණනාවක් හඟවයි. Covid 19න් හානි පැමිණිය හැකි තවත් අවයවයක් වන්නේ මොළයයි. ධමනිවලින් එන ලේ කැටි මොළයේ තැන්පත් විය හැකිය.

අදාළ රූපය

19 ආසාදනය රුධිරවාහිනි අවහිරවීමටද මග පාදයි. අත් සහ පා ඇගිලිවල ඉස්කීමියාව (ischemia ) හෙවත් මන්ද රුධිර සැපයුම ගැන වාර්තාද ලැබෙමින් පවතී. මෙලෙස ලේ රුධිර ප්‍රවාහය හීන වීම නිසා ඇඟිලි වේදනාකාරී ලෙස ඉදිමිම සහ පටක හානියට මහපෑදිය හැකිය. පෙනහළු අක්‍රියවීම හේතුවෙන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී අවශ්‍ය සංවාතක හිඟය ගැන ලොව පුරා  බියක් පවතී.

“මෙම (කොවිඩ් 19) රෝගීන් එක්කෝ පෙනහලු අකර්මණ්‍යවීම නිසා මිය යනවා. නැතිනම් නම් මිය යන්නේ වකුගඩු නරක්වීමෙන්” යයි නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ලැන්ගෝන් වෛද්‍ය කේන්ද්‍රයේ ස්නාසාවේදී ජෙනිෆර් ෆ්‍රොන්ට්ටෙරා පවසයි. මෙම කේන්ද්‍ර මගින් දහස් ගණන් 19 රෝගීන්ට ප්‍රතිකාර කර ඇත. කොවිඩ් 19 රෝගීන් අතෙරේ රෝග ලක්ෂණ මගින් පෙන්වන්නේ මොළය සහ මධ්යම ස්නායු පද්ධති හානි ගැනය. සමහරක් 19 රෝගීන් සුළු වේලාවකට සිහිය නැති වේ. සමහරු ආඝාතය ඇතිවේ. බොහෝ දෙනෙකු සුවඳ දැනීම නැතිව යන බවට පැමිණිලි කරයි.

ප්‍රොන්ටේරා සහ තවත් අය අදහස් කරන්නේ සමහර විට ආසාදනය, ඔක්සිජන් හිඟය හඳුනාගන්නා  මොළයේ පියවි ප්‍රතීක පහත හෙළනවා විය හැකිය යනුවෙනි. තවද එන්ට එන්ටම වැඩිවන සාක්ෂි සම්භාරයකින් දැක්වෙන්නේ, සහෝදර SARS වෛරසය මෙන් නව කොරෝනා වෛරසයද පහළ ජීරණ පථයේ ආස්තරය ආසාදනය කළ හැකි බවයි. “මට හිතෙන්නේ එය (වෛරසය) සමහරවිට ආමාශයාන්ත්‍රික මාර්ගයේදී ප්‍රතිචලිත වෙනවා” යයි බේලර් වෛද්‍යවිද්‍යාලයේ වෛරසවේද විද්‍යාඥ මේරි එස්ටෙස් කියයි. මෙලෙස වෛරසය ආහාරමාර්ගයේ   තිබීමෙන් අසූචි මගින් වෛරසය පැතිරවීමේ අවදානම පවතී. “ඒත් මෙතෙක් එහෙම දෙයකට සාක්ෂි නෑ” යයි විශේෂඥයෝ වාර්තා කරති.

මෙලෙස  මිනිස් සිරුරට කොවිඩ් 19 සිදුවන අනේකවිධ හානි ගැන අපේ අවබෝධය පුළුල්කරනු වස් තවදුරටත් පර්යේෂණ හා අධ්‍යයන සිදු කළ යුතු බව පැහැදිලිය. එය ලොව හෙල්වූ භයානක වෛරසයක් පැරදවීමට උපකාරවන ප්‍රතිකාර සඳහා මග පාදනු ඇත.

 

AAAS Science සඟරාවෙහි පළවන How does coronavirus kill? Clinicians trace a ferocious rampage through the body, from brain to toes   යන ලිපිය ඇසුරෙන් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: