කොවිඩ් 19 අස්සේ සෙසු බරපතළ රෝගීන්ගේ ඉරණම
මේ දිනවල ලොව පුරා කාගේත් අවධානයට යොමු වෙලා තියෙන්නේ SARS-CoV-2 වෛරසය සහ කොවිඩ් 19 රෝගීන් ගැනයි. එහෙත් ජීවිත අවදානමට මුහුණපාන අනික් රෝගීන්ට මොකද වෙන්නේ? ගෝලීය වසංගතයෙන් ඇතිවන බලපෑමේ වෙනත් පැතිකඩක් ගැනයි මේ ලිපියෙන් සැලකිල්ල යොමුවෙන්නේ.
43 හැවිරිදි භිෂ්ණු වීරච්චන් නිව්යෝක් ජනපදයේ කුවින්ස් පේරුවේ පදිංචිකාරයෙක්. අප්‍රියෙල් මාසය මුලදී ඔහුගේ පපුවේ වේදනාවක් හටගත්තත් කොරෝනා බිය නිසා හදිසි වාට්ටුව වෙත යාමෙන් ඔහු වැළකුණා. ඒත් දින කිහිපයක් ගත වෙද්දී බිය පරදා වේදනාව වැඩිවීම නිසා හෙතෙම මැන්හැටන්හි Mount Sinai රෝහලට ඇතුල් වුණා. ක්ෂණික පරීක්ෂණයකින් හෙළි වූයේ ඔහුගේ, වම් ප්‍රධාන කිරීට ධමනිය සම්පූර්ණයෙන්ම වාගේ අවහිර වී ඇති බවයි. සැත්කමකින් ඔහුගේ දිවි ගලවා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණත් දැන් ඔහුගේ හදවත දුර්වල වෙලා. ඔහු කොරෝනාවට බියෙන් තව කලක් බලා සිටියා නම් දිවි කෙළවරවීමට පවා තිබූ බවයි වෛද්‍යවරුන්ගේ අදහස.
මෙය හුදෙකලා සිද්ධියක් නොවෙයි. හෘදයාබාද, ආඝාතය(stroke) වැනි දිවි අනතුරට හෙළන රෝගාබාධවලින් පෙලෙන, සාමාන්‍ය දිනවලදී නම් හදිසි වාට්ටු කරා නොපමාව පැමිණෙන උදවිය දැන් කොරෝනා බිය හේතුවෙන් නිවසෙහි රැඳී සිටීමට කල්පනා කරන බව මූලික මට්ටමෙන් සිදු කළ පර්යේෂණයකින් දැක්වේ. නියම වෙලාවට ප්‍රතිකාර නොලැබීමෙන් වීරච්චන් වැනි අය සදාතනික හානියකට පත්වීමේ හෝ මිය යාමේ අවදානමට ලක්වේ.. නාගරික වෛද්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් වාර්තා කරන්නේ හදිසි වාට්ටු කරා එන රෝගීන් අඩකටත් වඩා අඩු වී ඇති අතර හදිසි හෘදයාබාධ හා ආඝාත අංශ මුළුමනින්ම වාගේ හිස්වී ඇති බවයි. ඒ අනුව, කොවිඩ් 19 හේතුවෙන් මිය යනවාට වඩා වැඩි පිරිසක් හදිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි කම නිසාවෙන් මරණයට පත්වේ දැයි ඇතැම් වෛද්‍ය විශේෂඥයෝ සැක පහළ කරති.
හදිසි ප්‍රතිකාර කළ යුතු තදබල හෘදයාබාධවලින් රෝගීන්ගේ පැමිණීම 38%කින් අඩුවී ඇතැයි විශාල වෛද්‍ය මධ්‍යස්ථාන නවයක සේවය කරන හෘදරෝග වෛද්‍යවරුන් පිළියෙළ කළ වාර්තාවක දැක්වේ. ඇඳන් 24කින් සමන්විත ක්ලීව්ලන්ඩ්හි හෘදරෝග සත්කාර ඒකකයේ මෑතක දිනයක සිටියේ රෝගීන් හත් දෙනෙකු පමණය. නිදසුන් ලෙස දක්වන්නේ නම්, ඉන් එක් අයෙකු පපුවේ වේදනාව දැනි දැනී වුවත් රෝහලේදී කොවිඩ් 19 වැළඳේය යන බියෙන් මෙම ඒකකයට පැමිණ ඇත්තේ සතියක් නිවසේ ගත කර රෝගය උත්සන්න වීමෙන් පසුවය. ඒකකයේදී අවදානමක් සහිත ශල්‍යකර්මයකට ලක් කෙරුණු ඔහු අනතුරුව සතියක්ම දැඩි සත්කාර ඒකකයේ පසු වූයේ දින කිහිපයක් සංවාතකයක (ventilator) පිහිට ද ලබමිනි. අද දිවි බේරාගෙන ඇතත් ඒ, පහසුවෙන් ප්‍රතිකාර කළ හැකිව තිබූ හෘදයාබාධයක් ජීවිත කාලය පුරාවට ඉතිරි කරගෙනය.
කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ සාමාන්‍යෙයන් දිනකට අභ්‍යන්තර රෝගීන් 12ක් 15ක් ප්‍රතිකාර ලබති. අප්‍රියෙල් මාසයේ මෑතක දිනයක එහි එකදු රෝගියෙක් නොවීය. මෙය කිසිදිනෙක සිදුවූවක් නොවේ යයි එහි අධ්‍යක්ෂ ග්‍රෙගරි ඇල්බර්ස් කියා සිටියි. නිව්යෝක් මැන්හැටන්හි Mount Sinai රෝහලේ හෘත් කැතීටරයාණ ඒකකයට ඇතුළුවන හදිසි හෘදයාබාධ ඇති වන රෝගීන් සංඛ්‍යාව පෙබරවාරියේ සිටි රෝගින් හත, මාර්තුවේදී තුනකට අඩු විය. (අප්‍රියෙල් 25 දා වන විට) මෙතෙක් වාර්තා වී ඇති සංඛ්‍යාව දෙකකි.
මෙය එක්සත් ජනපදයට සීමා වූවාක් නොවේ. Journal of American College of Cardiology හි කර්තෘ වන වෛද්‍ය වැලන්ටින් ෆස්ටර් දක්වන අන්දමට හදිසි හෘදයාබාද හේතුවෙන් ඇතුල්වන රෝගීන් සංඛ්‍යාව පහළ වැටීම ගැන ලෝකයේ දසතින් කොපමණ නම් වාර්තා වේ දැයි කිවහොත් ඔහුට ඒ සියල්ල පළ කළ නොහැකිය. නිදසුනකට ඉන්දියාවේ ජයිපූර් රෝහලකදී ජනවාරියේ හදිසි හෘදයාබාද රෝගීන් 45 දෙනෙකුට ප්‍රතිකාර කෙරුණු අතර පෙබරවාරියේ 32ක් සහ මාර්තුවේ 12ක් වශයෙන් අඩු විය. අප්‍රියෙල් මේ තාක් හුදු 6ක් පමණි. ඔස්ට්‍රියාවේ පර්යේෂකයන් දක්වන්නේ මදක් වෙනස් කතාවකි. මාර්තු මාසයේ දී Covid19 හේතුවෙන් මිය ගිය 86 දෙනා සමග සසදද්දී ප්‍රතිකාර කිරීමට නොහැකිවීම නිසා හෘදයාබාදවලින් පුරවැසියන් 110ක් මිය ගොස් ඇත. “අප මේ නිර්මාණය කරමින් ඉන්නේ දිගුකාලයේදී සෞඛ්‍ය ප්‍රජාවට අනියත ඵලවිපාක ගෙන එන ප්‍රශ්නයක් කියලා මම විමතියෙන් ඉන්නේ” යනුවෙන් ෆ්ලොරිඩාවේ, Fort Myers හි ලී හෙල්ත් හෘද සහ වාහිනී ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් ඒ. චසාල්ය. හෙතෙම ඇමරිකානු හෘදය රෝග සංගමයේ හිටපු සභාපතිවරයෙකි. (පවතින තත්ත්වය හමුවේ) ඇත්ත වශයෙන්ම වෛද්‍යමය වශයෙන් හදිසි අවස්ථා ඇතිවීම අඩුවී ගොසින්ද? වැඩිදෙනෙකු (ගෙදර පිසූ) හොඳ ආහාරපාන ගන්නා නිසාත්, වැඩියෙන් ව්‍යායාම කරන නිසාත්, ඒ වගේම විශාල පිරිසක් නිවෙස්වල සිටම රාජකාරී ඉටුකරන හෙයින් මානසික පීඩාව අඩු වී ඇති නිසාත්, සමහරවිට ජනතාව වඩාත් සෞඛ්‍යසම්පන්නව සිටිනවා විය හැකි යයි වෛද්‍ය ෆස්ටර් අනුමාන කරයි. තවද, නගරබද පළාත්වල වාතය ද දන් වඩාත් පිරිසිදු වී ඇති සෙයකි.
කෙසේ වෙතත්, ඒ ආකාරයේ හේතු නිසාවෙන් ජනතාව සෞඛ්‍ය සම්පන්නව ඉන්නා බවක් පිළිගත නොහැකි යැයි තවත් සමහර විශේෂඥ පිරිසක් තර්ක කරති. මනා සෞඛ්‍ය පුරුදු මගින් මේ තරම් ඉක්මනට මෙතරම් මට්ටමකින් ඉහල ප්‍රතිඵල ලබා ගත නොහැකි බවයි මේ පිරිසගේ අදහස. “මිනිස්සු පණ බයේ ඉන්නේ” යනුවෙන් ක්ලීවිලන්ඩ් චිකිත්සාරයේ හෘදරෝග විශේෂඥ ස්ටීවන් නිසෙන් කියයි. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි නේ? ඇරත්, සමහරක් දෙනා තමන්ගේ හැසිරීම් රටාවෙනස් කළේ වී නමුත් එය හාදයාබාධ අනුපාතය කෙරෙහි කෙටි කාලීනව බලපාන්නේ කෙසේ දැයි දැනගැනීමට අධ්‍යයන අපොහොසත් වී ඇතැයි වෛද්‍ය නිසෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
යේල් විශ්විද්‍යාලයේ වෛද්‍ය හාර්ලන් ක්‍රම්හෝල්ශ් කියන්නේ හදිසි රෝග වාට්ටුවලට කවුද නොඑන්නේ (නො එනවා නම්) එසේ නොඑන්නේ මන්ද යන්න කීම මේ මොහොතේ ඉතා අසීරු කාර්යයක් බවයි. එහෙත් ප්‍රතිකාර ගැනීම සඳහා කල් පමා වී රෝහල් ගත වෙන රෝගීන්ගෙන් (ඇත්ත) කතාව පැහැදිලි කරගත හැකි වීමට පුළුවන. කොරෝනා බිය නිසා ඔවුන් බොහෝ දෙනෙකු නිසි වේලාවට හදිසි ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වීම අඩුය.
ආඝාතයේ රෝග ලක්ෂණ සහිතව පුද්ගලයෙක් අප්‍රියෙල් 15 දා ක්ලීව්ලන්ඩ් චිකිත්සාගාරයට ඇතුළත් කෙරිණ. එහෙත්, ඔහු එහි පැමින ඇත්තේ කොරෝනාවට බයේ දින දෙකක් නිවසේම ගෙවා දමමින් යයි හදිවාට්ටු වෛද්‍යවරයෙකු වනතෝමස් වෝටර්ස් පවසයි. ” (ඔහුට) කල් පවතින මොළ හානියක් සිදුවීම වළක්වා ගැනීමට කළ හැකි කිසිවක් වෛද්‍යවරුන්ට තිබුණේ නැහැ” වෝටර්ස් පෙන්වාදෙයි.
මෙවැනි නිදසුන් තවත් ඇත. ඒත් ඉන් කියැවෙන්නේ එකම කතාවකි: SARS-CoV-2 වෛරසය, Covid-19 රෝගය මගින් පමනක් නොව වෙනත් ආකාරයෙන් ද ජීවිත වනසන බවයි.
The New York Times හී පළවී ඇති Amid the Coronavirus Crisis, Heart and Stroke Patients Go Missing යන ලිපිය ඇසුරෙනි