සැමට විදු නැන නුවණ – Science Literacy for All

රෝගකාරක එයරසෝල පිටුපස ඇති විද්‍යාව

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

රෝග කාරක එයරසෝල පිටුපස ඇති විද්‍යාව

මේ මොහොතේ ඔබට එළිපහළියට යන්න පුළුවන් කමක් තියනවා නම් ඔබට පෙනේවි මුව ආවරණ පැළඳ ගත්ත මිනිස්සු. ඒ වගේම සමාජ දුරස්ථභාවය රකින මිනිස්සු. මේ අය කරන මේ ක්‍රියාකාරකම්වලින් වැඩියෙන්ම අදහස් කරන්නේ මිනිස්සු එයරසොල (වාතිලන) පැතිරවීම හෝ ඒවා ආශ්වාස කිරීම වැළැක්වීමටයි. එයරසොල් යනු   ඉතා කුඩා වායු අංශුයි. මීදුම එයරොසොල්වලට එක උදාහරණයක්. එයරොසොල්  (aerosol) ක්‍රියා කරන්නේ කෙසේද කියලා මිනිස්සු වැඩිවැඩියෙන් දැනගත්තොත් කොරෝනා වෛරසය (Corona virus) අපට බෝවෙන එක හෝ අප එය බෝකරන එක වළක්වා ගන්න වඩාත් හොඳින් පුළුවන් වේවි යැයි එයරසෝල සහ වායුදූෂණය ගැන අධ්‍යයනයේ යෙදී සිටින කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික විද්‍යා පරිසරවේදීය ඉංජිනේරු මහාචාර්යවරිය වන ෂෙලී මිලර් පෙන්වා දෙයි.

එයරසෝල හදුනාගනිමු 

වාතයට එක්වී සැම තැන පැතිරෙන එයර්සෝලයක් යනු වාතයේ පාවෙන කුඩා දියර(ජල) හෝ ඝන අංශුයි. ඒවා අප අවට පරිසරයේ ඕනෑම තැනක තිබිය හැකියි. පාවෙන්නට තරම් කුඩා දුම්, ජලය හෝ කොරෝනා වෛරසය රැගෙන යන කෙළ බිඳිති වැනි ඕනෑම දෙයකින් ඒවා සෑදෙන්න පුළුවන්. යම් අයෙකු කහින විට කතා කරන විට හෝ ප්‍රාශ්වාස කරන විට ඔවුන්ගේ මුවින් ජල අංශු 900 සිට 300,000 ක ප්‍රමාණයක් එළියට දමනවා. මෙම අංශුවල ප්‍රමාණය ගතහොත් අන්වීක්ෂීය(microscopic අන්වීක්ෂණයකින් පමණක් දැකිය හැකි)) ඒ කියන්නේ හිසකෙසක පළලින් දාහෙන් පංගුවක් සිට මුහුදු වෙරළක ඉතා සියුම් වැලිකැටයක් දක්වා වේ.

කැස්සක් මගින් මේවා පැයට හැතැප්ම 60ක(60 mph) වේගයෙන් පිටකර යැවිය හැකියි. (මෙලෙස පිට කරන) අංශුවේ ප්‍රමාණය සහ වාත ප්‍රවාහයන් තමයි එයරසෝලයක් කොපමණ වෙලා වාතයේ රැඳී පවතිනවා යන්න කෙරෙහි බලපෑම් ඇති කරන්නේ. නිසල කාමරයක නම් දුම් වැනි වාසරව (airborne = ගුවන්ගතව) පැය 8ක් දක්වා කාලයක් පැවතිය හැකිය. වඩාත් විශාල අංශු වාතයෙන් ඉක්මනින් හැලෙන අතර විනාඩි කිහිපයකදී පෘෂ්ඨමතට වැටෙයි. ඔබ පුද්ගලයෙකු අසල සිටීම හේතුකොටගෙනම,  එම පුද්ගලයන්ගේ මුවින් පිටවන එසර්සෝල සමග නිරතුරුව ගැටෙයි. සාමාන්‍ය අවස්ථාවලදී මෙන් නොව ගෝලීය මහා වසංගතයකදී මෙය වඩාත් ගැටලුකාරිය.

හැබැයි මෙතැන දී වැදගත් ප්‍රශ්නය වන්නේ ප්‍රාශ්වාස කළ(පුද්ගලයෙකු පිට කළ)  එයරසෝල් වාතයේ පවතීද යන්නට වඩා ඒවා කොපමණ බෝවෙන සුළු හෙවත් රෝගකාරක ද යන්නයි.

වෛරසය බෙදාහරින පද්ධතියක් ලෙස එයරසෝල

නව කොරෝනා වෛරසය එනම් SARS-CoV-2 ඉතාම කුඩාය. මයික්‍රෝන 0.1ක් පමණය. එනම් විෂ්කම්භය වශයෙන් ගත් කල, දළ වශයෙන් අඟලකින් මිලියන 4කින් පංගුවක් පමණය. මිනිසුන් හුස්ම ගැනීමේ (ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී) හෝ කතා කිරීමේදී හෝ කහින විට දී සාමාන්‍යෙයන් නිපදවන අංශු මයික්‍රෝ 0.7 සිට මයික්‍රෝන 10 පමණ දක්වා වේ. මේවා කිසිසේත් පියවි ඇසට නොපෙණෙන අතර වාතයේ පහසුවෙන් පාවීමට පුළුවන. මෙකී අංශු බොහෝ කොට පුද්ගලයන්ගේ මුවින් සහ පෙණහලුවලින් පිටවන ජෛවවිද්‍යාත්මක තරලය.  එමෙන්ම ඒවායේ වෛරස ප්‍රවේණිමය ද්‍රව්‍ය කුඩා කොටස් අඩංගු විය හැකිය.

ආසාදිත පුද්ගලයෙකු කහින විට නිපදවනු ලබන එයරසෝලයක SARS-CoV-2  වෛරසයේ ඒ ඒ කොටස් කොපමණ අඩංගු වේ දැයි පර්යේෂකයෝ තවමත් නොදනිති. එහෙත්, පළ නොකළ(pre-print) අධ්‍යයනයක දී (මින් අදහස් කෙරෙන්නේ වෙනත් විද්‍යාඥයන් විසින් දැනට විමර්ෂණයට ලක් කරමින් සිටින අධ්‍යන වාර්තායි) කාමරයක හිටගෙන කතාකරමින් සිටිනා අයෙකු මුදා හරින ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම සඳහා පර්යේෂකයන් යොදාගත් අකෘතියකින් දැක්වෙන්නේ, කාමරයක හිටගෙන සිටින පුද්ගලයෙකු විසින් පැයක් ඇතුළත ආසාදනකාරක වඩි(infectious doses) 114ක් දක්වා මුදාහැරීමට හැකි බවයි.

(කාමරයක් වෙනුවට) බැංකු, රෙස්ටොරන්ට් (ආපනශාලා) සහ ෆාමසි වැනි මහජනයා එක් වන ගෘහස්ථ අවකාශයන්හිදී මෙය සිදුවන්නේ නම් එයරසෝලගත (වාතයට එක්වූ) කෙළ කුඩා කොටස්වලට පහසුවෙන්ම අනෙකුත් පුද්ගලයන් ආසාදනයට ලක් කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සැලකිල්ල යොමු විය යුතු තවත් කාරණයක් වන්නේ මෙම අංශු කොපමණ පහසුවෙන් ආශ්වාස කළ හැකිද යන්නයි. මෑතක සිදුකෙරුණු පරිගණක ආකෘති අධ්‍යයනයකදී පර්යේෂකයන්ට පෙනී ගිය කාරණයක් වූයේ අඩි 6කට අඩු දුරක් ඈතින් වාඩි වී කතාකරමින් හා කහිමින් සිටින තවත් පුද්ගලයෙකුගෙන් පිටවන  එයරසෝල අනෙක් අයට ආශ්වාස කිරීමට වඩාත් හැකියාවක්  ඇති බවයි. මෙය, (බැලූ බැල්මට) අයහපතක් අත්පත් කර දෙක කාරණාවක් ලෙස පෙනී ගියත් ආසාදනයට නිරාවරණයවීමෙන් ඇතිවෙන  ඇත්තම ක්‍රියාදාමය සංකීර්ණ ගණිතමය ක්‍රීඩාවකි.

එයරසෝලවල දැකිය හැකි වෛරස අංශු බොහෝ විට අබලි ඒවාය.  ඉන්ෆ්ලුවැන්සා වෛරසය ගැන සොයා බැලුණු අධ්‍යයනයකින් පෙනී ගියේ පුද්ගලයෙකු ප්‍රාශ්වාස කළ වෛරසවලින් ඇත්තටම බෝවෙන සුළු වන්නේ 0.1% ක් පමණක් බවයි. කොරෝනා වෛරසයද (මිනිහෙකුගේ) සිරුරකින් එළියට පැමිණියාට පසු හානියට පත්වීම ඇරඹෙන අතර වාතයෙහි  ජීව්‍යව (සක්‍රීයව) පවතින්නේ පැයතුනක් දක්වා කාලයක් තුළය. තවදඇත්ත වශයෙන්ම ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන එයරසෝල සෑම එකක්මත් කොරෝනා වෛරසයන් ගෙන් සමන්විත නොවේ. සම්භාවිතාව ද බෙහෙවින්  මෙයට සම්බන්ධ බව පෙනේ.

කොරෝනා වෛරසයේ ගමන් මග සඳහා ප්‍රමුඛ වන්නේ ඍජු සම්බන්ධතා හා පෘෂ්ඨ හරහා සිදුවන වක්‍ර සම්බන්ධතා ද නැතහොත් එයරසෝල ද යන්න මහජන සෞඛ්‍ය නිලධාරීහු තවමත් නොදනිති. එහෙත් එයරසෝල පිළිබඳ සිය දැනුම් සම්භාරය අනුව හැගීයන්නේ සම්ප්‍රේෂණයේ ප්‍රමුඛ ගමන් මග එයරසෝල බව යයි (එයරසෝල ගැන හදාරණ) ෂොලී මිලර් ඇතුළු විශේෂඥයෝ පවසති. 

එයරසෝල සම්ප්‍රේෂණය පිළිබඳ සාක්ෂි

වෛරස සම්ප්‍රේෂණය යථා කාලයේ(real time) හැදෑරීම කළ නොහැකි තරම්ය. ඒ නිසා, එයරසෝල හරහා කොරෝනා වෛරසය පැතිරීම අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ පරිසරයේ නියැදි පරීක්ෂාව සහ සම්බන්ධතා ගවේෂණයට(contact tracing) යොමුව ඇත. මේ පර්යේෂණ අතිශය වේගවත්ව සිදුවන අතර ඉන් බොහොමයක්  තව තිබෙන්නේ සෙසු  විද්‍යාඥයන් අතරේ සමාලෝචනයට ලක්වෙමින්ය. ඒවායේ සොයා ගැනීම් තවම මූලික මට්ටමේ පැවතියත් මේ පර්යේෂන අතිශය සිත් අළවන සුළුය.

පරිසරයේ පරික්ෂාවන් සඳහා විද්‍යාඥයන් සාමාන්‍යෙයන් සිදුකරන්නේ වාතයේ නියැදි පරීක්ෂාවයි. නෙබ්රස්කාවේ සහ චීනයේ රෝහල් හා සුපිරි වෙළෙඳසැල් ආශ්‍රිතව සිදුකෙරුණු පරීක්ෂණවලදී වාතයේ අඩංගුව පැවති  SARS-CoV-2  වෛරසය සොයා ගනු ලැබීය. එහෙත් වාතාවරණයේ නියැදි මගින්ම එයරසෝල සම්ප්‍රේෂණය සනාථ කළ නොහැකියි. ඒ සඳහා සම්බන්ධතා ගවේෂණය අවශ්‍ය වේ.

චීනයේ ගුවැන්ෂුහි කුඩා ආපණශාලාවක ජනවාරි 23 කුඩා පැතිරීමක් ඇති විය. පර්යේෂකයන් සැක කරන්නේ අලාක්ෂණික මුත්(රෝග ලක්ෂණ නොපෙන්වන නමුත්) මේසයක් අසළ වාඩි වී සිටි එක් ආසාදිතයෙකු ගෙන් වෙනත් මේසවල රැඳී සිටි අයට වෛරසය ආසාදන වන්නට ඇතැයි යනුවෙනි. මෙය සිදුවන්න ඇත්තේ වායු සමීකරණය හේතුවෙන් ආපණශාලාව තුළ සංසරණය වූ වාත ප්‍රවාහයන් මගින් එයරසෝල සෙස්සන් වෙත යාමෙනි.

සමස්තයක් ලෙස ගත් කළ සාක්ෂිවලින් කියැවෙන්නේ එළිමහනේ ගතකරනවාට වඩා ඇතුළත සිටිම වඩාත් අවදානම් බවයි. මෙයට හේතුව වාතය ගැලීම නැතිවීමයි. එයරසෝලයක් සංවාතන පද්ධතියක් මගින් පිටතට ඇද ගැනීමට හෝ විවෘත ජනේලයකින් පිටතට ඇදී යාමට විනාඩි 15 සිට පැය තුනක පමණ කාලයක් ගතවේ.

පළනොකළ තවත් අධ්‍යයනයකින් දැක්වූයේ ඍජු සම්ප්‍රේෂණයකට ඇති අවස්ථාව එළිමහනේදීට වඩා ඇතුළත දී  විසි ගුණයකින් පමණ වැඩි බවයි. රෝග කාරක බවට පත්වීමේ විභවයක් ඇති එයරසෝල පවා පිටතදී විශාල ප්‍රදේශයක පැතිරුණු වාතාවරණය තුළ අතුරුදන් වී යයි. දුවන විට හා පාපැදියෙන් යන විට එයරසෝල සම්ප්‍රේෂණය වීම ගැන යම් සැකයක්, විමතියක් ඇතත් විද්‍යාව මේ ගැන තවමත් සොයා බලමින් සිටියි. මෙකී කාර්යයන් දෙකෙහිදීම පරතරයක් තබා ගැනීම නුවණට හුරුය.

එයරසෝල සම්ප්‍රේෂණය අඩු කරන්නේ කෙසේද?

එයරසෝල නිපදවෙන්නේ කෙසේද? ඒවා චලනය වන්නේ කොයි අන්දමකට ද සහ ගෝලිය වසංගතයේදී එමගින් සිදුවෙන කාර්යභාරය කුමක් ද? ආදිය ගැන ඇති මේ දැනුම ඔස්සේ පැන නගින ප්‍රශ්නයක් ඇත: එනම්, මුව ආවරණ ගැන කිව හැකකේ කුමක්ද?යන්නයි.

සාක්ෂිවලින් සාමාන්‍යෙයන් තහවුරු කෙරෙන්නේ ඒවා භාවිතතය ප්‍රයෝජනවත් බවයි. වාතයේ ඇති  SARS-CoV-2  අඩුකිරීමෙහිලා මුව ආවරණය වඩාත් ඵලදායි බව  පරීක්ෂණ මගින් වැඩිදුරටත් පෙන්නුම් කරමින් පවතී. සමාජ දුරස්ථභාවය නිසි ආකාරයෙන් සුරැකීමට නොහැකි ඕනෑම ජනතාව ගැවසෙන තැනකදී මුහුණු ආවරණයක් පළඳින්නයැයි එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ කේන්ද්‍රයන්(The Centers for Disease Control and Prevention- CDC) නිර්දේශ කරයි. ඔබගේ මුවින් එයරසෝල පිටවීම වැළැක්වීමේදී නිවසේදී සාදාගත් මුඛ ආවරණයක් වුව සාර්ථක කර්යයක් ඉටුකරයි.

මුඛ ආවරණ පාරප්‍රාප්ත නොවුණත් ඒවා ඇත්තවශයෙන්ම කොපමණ ඵලදායී ද යන්න ගැන හැදෑරීම පිණිස වර්තමානයේ තවදුරටත් අධ්‍යනය සිදු කෙරේ. එහෙත් (මුඛ ආවරනයක් පැළඳීමේ) මේ සරල ක්‍රියාව වසංගතයට මන්දගාමී කිරීමට උපකාරී වන බව නම් අමතක කළ යුතු නොවේ.

කොවිඩ් 19 රෝගය සම්ප්‍රේෂණය වන්නේ වාතයේ ගැබ්වුණු අංශු  ආශ්වාස කිරීමෙන් බවට සැලකිය යුතු සාක්ෂි ඇතත්, සමාජ දුරස්ථභාවය, සංවෘත ස්ථානයක බොහෝ දෙනා සිටින තැන්වලින් ඈත්ව සිටීම, අත්සේදීම ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමෙන් පුද්ගලයන්ට වාතයේ ඇති එයරසෝලවලින් එල්ලවන අවදානම අඩුකර ගත හැකිය.

(අවධාරණ අපෙනි – සංස්කාරක)

The Conversation(April 24th) හී පළවූ Coronavirus drifts through the air in microscopic droplets – here’s the science of infectious aerosols යන ලිපිය ඇසුරෙනි  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: